
- බෑගයේ කැමරාවෙන් ගාල්ලේ භික්ෂුවක වීඩියෝ කර ලක්ෂ 5ක් කප්පම් ඉල්ලලා
- රැඳී සිටියේ කුලී නිවෙසක
- කප්පම් සිද්ධි රැසක සැකකරුවෙක්
පරිගණකය, ජංගම දුරකතනයෙ සහ අධි තාක්ෂණ කැමරාව නවීන විද්‍යාවේ විශිෂ්ටතම නිර්මාණයන් වේ. මෙම නවීන විද්‍යාත්මක මෙවලම් සමාජයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍යම භාණ්ඩ බවට පත්ව ඇත. මේ උපකරණ මඟින් සිදු කරන ක්‍රියාකාරකම් විවිධ වුවද ඒවායේ අගය කියා නිම කළ නොහැකි තරම්ය.
මේ අතර මේ උපකරණ සමාජයේ යහපතට මෙන්ම අයහපතටද හේතු වූ අවස්ථා බොහෝය. මාංචු පුවත්පතින්ද අද දිග හරින්නට යන්නේ අධි තාක්ෂණික කැමරාවක් නිසා සිදු වූ බරපතළ හානියකි.
මාතලේ ප්‍රදේශයේදී උපත ලැබු 'රංජිත්' ඉගෙනීමට දක්ෂ සිසුවෙකි. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා කටයුතුවලදීද දස්කම් දැක්වූ රංජිත් පාසලේ කැපී පෙනෙන සිසුවෙකු විය. එමෙන්ම පාසල් සමයේ සිටම මොහු පරිගණකය පිළිබඳ හොඳ අත්දැකීම් ඇති අයෙකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි රංජිත් විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබා ගන්නේ මේ අතරය.
පාසල් අධ්‍යාපනයෙන් පසුව රංජිත් රැකියාවක් කිරීමට තීරණය කළේය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළේය. ඒ සඳහා පැවති සම්මුඛ පරික්ෂණයෙන් සමත්වූ රංජිත් යුද හමුදාවට බඳවා ගනු ලැබීය. යුද හමුදාවේ නිත්‍ය සේවයට ඇතුළුවීමෙන් පසුව ඔහු යුද හමුදාව ඇතුළත ද කැපී පෙනෙන සෙබළෙකු වූයේය. 2009 වසරේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගත් නන්දිකඩාල් මෙහෙයුමටද රංජිත් සහභාගී විය.
පසුව වසර කීපයක් සේවය කරමින් සිටින විට රංජිත් මෙරට හිටපු ප්‍රභූවරයෙකුගේ ආරක්ෂක අංශයට තෝරා ගනු ලැබීය.
යුද හමුදාවේ රැකියාව ලැබීමෙන් පසුව රංජිත් ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ විය. එම විවාහයෙන් රංජිත්ගේ බිරිය දරුවෙකු ප්‍රසූත කළාය. එහෙත් වැඩි කලක් යන්නට පෙර රංජිත් තම විවාහක බිරිය සහ දරුවා අතහැර දැමීය. මේ අතර රංජිත් එම ප්‍රභූවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටින විට කොළඹදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට රංජිත්ද සම්බන්ධ බවට සැක කොට රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මේ හේතුව නිසා රංජිත්ට ප්‍රභුවරයාගේ ආරක්ෂක අංශයෙන් පමණක් නොව යුද හමුදාවෙන්ද ඉවත් වීමට සිදු විය.
පසුව රංජිත්ට හමුදා රැකියාව අහිමි විය. ඉන් අනතුරුව ඔහු පරිගණකය උපයෝගී කරගෙන කිසියම් දෙයක් සිදු කිරීමට තීරණය කළේය. ඒ අනුව රංජිත් මුහුණු පොත පරිහරණය කර පූජ්‍ය පක්ෂයේ කීප දෙනෙක් තම මිතුරන් බවට පත් කර ගන්නේ දින කිහිපයක් ඇතුළතදීය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් මවුලවිවරුන්ද ඔවුන් අතර විය. එම පූජකවරුන් මුහුණු පොතේ මිතුරන් බවට පත්වූ පසුව ඔවුන්ගේ මුහුණු පොත ගිණුම්වලට ගොස් එම පූජකවරුන්ගේ පෞද්ගලික තොරතුරු ගැඹුරින් සොයා බැලීය. ඒ අනුව එම පූජකවරුන්ගේ දුර්වලතා, ඔවුන්ගේ රුචි අරුචිකම් සහ වෙනත් දුර්වල තැන් සොයා ගැනීමට ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත.
ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ මැදි වියේ පසුවන එක්තරා භික්ෂුවක් සමඟ රංජිත් මුහුණු පොත හරහා කුළුපග විය. ඊට පසුව එම භික්ෂුවගේ ජීවිතයේ දුර්වල තැන් ඔහු පහසුවෙන් සොයා ගත්තේය. අනතුරුව මේ භික්ෂුව බැහැදැකීමට කැමති බව රංජිත් උන්වහන්සේට දැන්වීය. ඊට පසුව ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණෙන ලෙස මෙම භික්ෂූන් වහන්සේ රංජිත්ට පැවසූහ. දෙදෙනාගේ කැමැත්ත පරිදි හමු වීමට දිනයක් නියම කර ගත්හ. ඒ අනුව නියමිත දිනයේ රංජිත් ගාල්ලට පැමිණියේය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බස් නැවතුම් පොළට පැමිණි රංජිත් පසුව භික්ෂුව කී මාර්ගය ඔස්සේ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානය සොයා ගියේය.
මීට පෙර කිසි දිනක නුදුටු තම මිතුරා භික්ෂුව විසින් මහත් ළෙන්ගතුව පිළිගන්නා ලදී. විහාරස්ථානයේ ආලින්දයේ සිට රංජිත්ගේ ආගිය තොරතුරු විමසූ භික්ෂුව පසුව රංජිත් තම කාමරයට කැඳවා ගෙන ගියහ. කාමරයට ඇතුළු වූ වහාම රංජිත් තම උර හිසේ එල්ලා ගෙන පැමිණි බෑගය කාමරයේ එක්තරා ස්ථානයක තැබීය. එම බෑගය කුඩා වුවද එය නවීන පන්නයේ බෑගයක් විය. අනතුරුව හිමියන් විසින් තම නවක මිතුරාට ඇපල් මිදි ආදී පලතුරුවලින් සංග්‍රහ කළහ. ඊට පසුව මේ දෙදෙනාම පැය කීපයක් සමීපව ගත කළහ. ඉන්පසුව යහනෙන් බිමට බැස ගත් රංජිත් කාමරයේ මේසයක් මත තබා තිබූ බෑගය අතට ගත්තේය. අනතුරුව එම බෑගයේ ඉදිරිපස සවි කර තිබූ අලංකාර බොත්තම් තුනෙන් මැද බොත්තම ක්‍රියාත්මක කළේය. එහි සවි කර තිබුණේ අධි තාක්ෂණයෙන් යුතු ඉතා කුඩා කැමරාවකි. පසුව එම කැමරාව ක්‍රියාත්මක කළ රංජිත් එහි දර්ශන නරඹන ලෙස හිමියන්ට ආරාධනා කළේය.
එහි දර්ශන පෙළ නරඹන විට මේ හිමියන්ට දෙලොව රත් විය. මීට සුළු වේලාවකට පෙර රංජිත් සමඟ සමීපව සිටින අයුරු එම අධි තාක්ෂණික කැමරාවේ රූගත වී තිබුණි.
“හාමුදුරුවනේ මට දැන් රුපියල් ලක්ෂ පහක් ඕන... එහෙම නැත්නම් මම මේවා ඉන්ටර්නෙට් එකට දානවා“ යයි රංජිත් භික්ෂුවට තර්ජනය කළේය. රංජිත් හමුවේ තමා ඉතා අසරණවී ඇති බව භික්ෂුවට දැනුණි.
“හොඳයි රංජිත් මම ලක්ෂ පහක් අදම දෙන්නම්. හැබැයි මේවා කාටවත් එළි කරන්න එපා“ යයි භික්ෂුව රංජිත්ට කීහ. තමාගේ අරමුණ සාර්ථක වී ඇති බව රංජිත් දැන ගත්තේය. ඊට පසුව එම මොහොතේම රංජිත් සමඟ බැංකු ශාඛාවක් වෙත ගිය හිමියෝ තම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ පහක් ගෙන එම මුදල රංජිත්ගේ අතට දී මෙම සිද්ධිය එළි නොකරන ලෙස භික්ෂුව ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. තමාට මුදල් ලැබුණ නිසා මෙම සිද්ධිය කාටවත් හෙළි නොකර ඉතා රහසිගතව තබා ගන්නා බවට රංජිත් භික්ෂුවට පොරොන්දු විය.
මෙම සිද්ධිය නිසා භික්ෂුව දැඩි ලෙස කම්පාවට පත් වූහ. පසුව මේ සිද්ධිය පිළිබඳ භික්ෂුව පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබූහ. ඒ අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් පරික්ෂණයක් ආරම්භ කෙරිණි. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ ගාල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. එල් නාරංගොඩගේ මෙහෙයවීම මත පරීක්ෂණ ආරම්භ කෙරුණි.
ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තරංග ඇතුළු පිරිසක් මෙම සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ වන විට මෙම සැකකරු පිළිබඳ කිසිම තොරතුරක් පොලිසිය සතුව නොතිබුණි. දිගින් දිගටම විමර්ශන සිදු කළ නුවන් තරංග ඇතුළු පිරිසට ටිකෙන් ටික මෙම සැකකරු පිළිබඳ තොරතුරු ලැබෙමින් පැවතිණි. ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ කුලී නිවසක මේ සැකකරු සිටින බවට තොරතුරක් ලැබුණි. පසුව මුළු රැයක් පුරා කඩුවෙල ප්‍රදේශයේ රැක සිටි පොලිස් කණ්ඩායම පසු දින උදේ සැකකරු නතර වී සිටි කුලී නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන් කීප දෙනෙකු සමීපව ඇසුරු කර එම පූජකවරුන් බිය ගන්වා මුදල් ලබා ගෙන ඇති බවය. මෙම සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එස් දීයගහගේ - දකුණු පළාත් සංචාරක