උපන් දින පාටියෙන් පසු ඇල්ල කැලේ ගිනි ලෑ කොල්ලෝ | Page 4 | සිළුමිණ

උපන් දින පාටියෙන් පසු ඇල්ල කැලේ ගිනි ලෑ කොල්ලෝ

ඌව පළාතේ ඇල්ල සංචාරක පුරවරයේ රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි ඇල්ල රොක් කඳු වැටිය දේශීය විදේශීය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ සොබා දහම මෙරටට දායාද කළ වටිනා සම්පතකි.

අති මනස්කාන්ත පළාත් කීපයක්ම දිස්වෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිනපතාම පැමිනෙන මෙම 'ඇල්ල රොක්' කඳු රක්ෂිතයට බදුල්ල නගරයේ ප්‍රධාන පෙළේ පාසලක අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 16ක් මිතුරකුගේ උපන්දින සාදයක් පැවැත්වීමට පැමිණ ඊට ගිනි තබා මහ විනාශයක් සිදු කළේ දෙස් විදෙස් සංචාරකයන්ගේ හදවත් කම්පනයට පත් කරමිනි. මෙම අපරාධය සිදුකර පලා යාමට තැත් කළ සිසුන් පිරිසක් ප්‍රදේශ වාසින් විසින් ක්ෂණිකව අල්ලාගෙන ඇල්ල පොලිසියට බාර දුන්නේය. එහිදී අත්අඩංගුවට පත් සිසුන් 16දෙනා ඇල්ල පොලිසිය මඟින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් අමිල රණතුංග මේ සිසුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව එක් සිසුවෙකු පැළ 10ක් බැගින් ඇල්ල ප්‍රදේශයේ සිටුවන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. බදුල්ල, අසේලපුර, පස්සර පාර, 3 කණුව, ග්ලේන්පින්වත්ත, බෝගහමඩිත්ත, බදුලු සිරිගම, එළදලුව පාර, හාලිඇළ උණගොල්ල වත්ත ආදි ප්‍රදේශවල පදිංචි 16 හැවිරිදි වියේ පසුවෙන සිසුන් පිරිසකට මෙසේ ඇප නියම කැරිණි.

බණ්ඩාරවෙල නගරයේ උපකාරක පංතියකට යන බව සිය දෙමව්පියන්ට පවසා එදින පංති නොගිය මේ සිසුන් පිරිස බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක නැඟ ඇල්ලට පැමිණ පසුව මෙසේ ඇල්ල රොක් කඳු මුදුනට පැමිණි සිසුන් පිරිස සිය මිතුරාගේ උපන් දින සාදය එහිදී පැවත්වීමට ගොස් තිබේ.

මෙම පිරිස සිදු කළ මේ අපරාධය පරිසරයට මෙන්ම ඇල්ල සංචාරක පුරවරයට ආදරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වී තිබේ . ඇල්ල රාවණා ඇල්ල වන රක්ෂිතයේ පිහිටි මෙම ඇල්ල රොක් කඳු මුදුනේ ඇති වූ ගින්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය, ඇල්ල පොලිසිය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ නිලධාරීන් සහ බදුල්ල එලදලුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්වී මහත් පරිශ්‍රමයක් දරා කොළ අතු යොදා ගනිමින් පැය හතරක පමණ වෙහෙසකර කාලයකට පසුව නිවා දමන ලදි.

ඒ වන විටත් රක්ෂිතයේ අක්කර 15ක පමණ භූමියේ තිබූ වටිනා දැව වර්ග, දුර්ලභ ගණයේ ශාක, ඖෂධ වර්ග මෙන්ම වන සතුන් රැසක් විනාශ වී හමාරය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ නුවරඑළිය, බණ්ඩාරවෙල, තිස්ස, කතරගම, හම්බන්තොට, මාතර, ගාල්ල, හික්කඩුව ආදි සංචාරක කලාප වලට යාමේදී ප්‍රධානම නගරයක් වන්නේ මෙම ඇල්ල නගරයයි.

ඇල්ල සංචාරක පුරවරයේ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පහසුකම් රැසක් රජය, සංචාරක අමාත්‍යාංශය මෙන්ම ඇල්ල ප්‍රාදේශීය සභාව මඟින් මේ වන විට ඇති කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර, “මේ සිදු වීම ඉතාමත් කනගාටු දෙයක්. සෑම වසරකම බදුල්ල දිස්ත්‍රික්කයේ වියළි දේශගුණික තත්ත්වය පවතින අවස්ථාවේ විවිධ අය පළාතේ තිබෙන සුන්දර වන රක්ෂිතවලට පතන්, ළඳු කැලෑවන්ට ගිනිතබා විනාශ කරනවා. මේ ඉතාමත් ශෝචනීය තත්ත්වයක්. බොහෝ උදවිය මත්පැන් පානය කර වෙරි මරගාතේ විනෝදයට, වන සතුන් දඩයම් කිරීමට, සතුන්ට අලුතින් තෘණ ඇති කිරීමට මෙසේ වියළි දේශගුණික තත්ත්වය පවතින සමයේ ඉවක්බවක් නැතිව ගිනි තැබීම් කරනවා. නමුත් එම ජනතාව මෙහි තිබෙන බරපතළ බව අනාගතයේ ඇති වන ප්‍රතිවිපාක දන්නෙ නෑ.

මේ නිසා ජල රක්ෂිත.විනාශ වී ජල උල්පත් සිඳී යනවා. වර්ෂාවත් සමඟ නාය යාම ඇති වෙනවා. ගිනි තැබීම් නිසා කඳු මුදුනේ, බෑවුම්වල තිබෙන විශාල ගල් පර්වත බුරුල් වෙලා වර්ෂාවත් සමඟ ඒවා කඩා වැටෙනවා මාර්ගයට. අපි මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අනන්තවත් දැනුවත් කර තිබෙනවා. පෙරහුරු වැඩසටහන් රැසක් ද කළා. වන රක්ෂිතය, කැලෑ, ළඳු කැලෑ පතන් ගිනි තබන පුද්ගලයන් අල්ලා දෙන්න... ඒ අය ගැන තොරතුරු දෙන්න කියා ජනතාව දැනුවත් කළා. එම තොරතුරු දෙන අයගේ රහස් බව ආරක්ෂා කර තෑගි දෙනවා කීවා. නමුත් කියන්න කනගාටුයි අපට මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන සහයෝගය මදි.“ මෙම 'ඇල්ල රොක්' කඳු මුදුනේ ඇතිවූ ගින්න නිවා දැමීමට ක්ෂණිකව ඇප කැපවී මහත් වෙහෙසක් දැරූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මාලක ප්‍රභාත් මෙසේ කීය. “මේ විනාශ කළේ අපේ රටේ ජාතික වස්තුවකට. ඇත්ත වශයෙන්ම මේ සිසුන් පිරිසක් කළ මේ අපරාධය දේශීය විදේශීය සංචාරකයන් රැසක් සිය දෙනෙතින් දැක කම්පාවට පත් වුණා.

දේශිය විදේශීය සංචාරකයන් ඇල්ල සංචාරක පුරවරයට බොහොම ආශාවක් ඇල්මක් කැමැත්තක් දක්වනවා. අපි ඇල්ල ප්‍රාදේශීය සභාව හැටියට මෙම සංචාරකයන් වෙනුවෙන් විශාල කැපවීමකින් පහසුකම් රැසක් ඇති කර තිබෙනවා“ යැයි හෙතෙම සඳහන් කළේය.

 

 

 

Comments