
අපේ රටේ මුලින් ම බිහි වූ දේශපාලන පක්ෂය එජාපයයි. ඒ දැවැන්ත එජාපය අද මුහුණ දී සිටින ඉරණම ගැන මොනවද හිතන්නෙ?
එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී සිටින්නේ එදා 1952 දී මුහුණ දුන් ඉරණම වැනි සිද්ධියකටයි. එදා එජාපය සමඟ සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එජාපය අත හැර එජාපයට එරෙහිව ශ්රීලනිපය ගොඩ නැඟුවා. ඒ වුණාට එජාපය විනාශ වුණා ද? එජාපයේ සිටි සමහර උදවිය විටින් විට එජාප මතවාදය යටපත් කරන්න උත්සාහ කරලා එහෙම කර ගන්න බැරි වුණාම පක්ෂය දාලා ගිහින් තිබෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එජාපයේ පදනම කාටවත් වෙනස් කරන්න බෑ. එජාපයේ පදනම තමයි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියන මේ සියලු ජාතීන්ට අයිති දේශපාලන පක්ෂයක් කියන එක. ඒ පදනම නිසා මේ පක්ෂය කාටවත් අල්ලන්න හෝ යටපත් කර ගන්න බෑ.
එජාපයේ තියෙන ඒ ජාතික පදනම නිසාද ඔබලා හැමවිටම උතුර වෙන් කරන්න හදන‍්නෙ?
නෑ. ඒක වැරදි අර්ථකථනයක්. ඒ ජාතික පදනම තුළ එජාපයේ ස්ථාවරය තමයි බේදයකින් තොරව සියලු ජාතීන්ට සමාන අවස්ථා තියෙන්න ඕනෑ කියන කාරණය. අනෙක අපිට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියකුත් තිබෙනවා. මේ සියල්ලම එකට ගත්තාම වෙනත් කිසිම බලවේගයකට එජාපය යටත් කර ගන්න බෑ. අපේ දැන් ප්‍රමුඛ අරමුණ මේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමයි. මේ මහ මැතිවරණයෙන් අප ජනතාවගෙන් ඉල්ලන්නෙ ඒ සඳහා අපිට බලය දෙන්න කියලයි.
ඔබලා හැමදාම කියන්නෙ රටේ ආර්ථිකය කඩා වැටිලා කියලා. 2015 ඔබලාට රට බාර දෙන විට ආර්ථික වර්ධන වේගය 7.4%ක් වුවත් 2019 වන විට එය 2.8% දක්වා පහත වැටුණේ ඔබලාගේ පාලනයකින් නොවේද?
ඔබ මතු කළේ වැදගත් ප්‍රශ්නයක්. 2014 වන විට ඔබ ඔය කියන ආර්ථික වර්ධන වේගයක් තිබෙන්න ඇති. එහෙමනම් කිසි දේකට බිය විය යුතු නෑ. නමුත් එදා ඒ අය නියමිත දිනට කලින් මැතිවරණය ප්‍රකාශයට පත් කළේ රටේ අනාගත ආර්ථික තත්ත්වය හොඳ නැති බව දැනගෙනයි. එදා ජනතාව රට අපට බාර දුන් නිසා විවිධ හේතු නිසාවෙන් කඩා වැටෙන ආර්ථිකයකට අපිට මුහුණදෙන්න වුණා. මම නැවතත් කියන්නේ එජාපය සතු ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග නිසා රටේ ආර්ථික වර්ධනය 2.8%කට අඩු වුවත් අද තිබෙන තත්ත්වයට පත් වුණේ නෑ. අපි ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත් කරගෙන ආවා. ලෝකයේ බංකොළොත් වෙන්න තිබුණ රටක් අපි නිවැරැදි ආර්ථික කළමනාකරණයකින් රට බේරා ගත්තා.
ඔබලා මැතිවරණ කල් දැමීම නිසා ඇතිව තිබෙන කළු පැල්ලම වහ ගන්නද මේ හදන්නෙ?
නියමිත කාලයට පෙර මැතිවරණ තියන්නෙ ඇයි? එහෙම නම් අප්‍රේල් මාසයට නියමිත සිංහල හින්දු අලුත් අවුරුද්දත් පෙබරවාරියට ගන්න පුළුවන්නෙ. ප්රජාතන්ත්රවාදය කියන්නේ ජනතාව ලබා දුන් බලයෙන් ජනතා ප්‍රශ්න විසඳීමට ක්‍රියා කිරීම මිස මැතිවරණ කලින් පැවැත්වීම නොවෙයි. මැතිවරණය කලින් පැවැත්වීමේ අරමුණ ඉදිරියේ මුහුණ දීමට ඇති ආර්ථික අභියෝග ජනතාවගෙන් හංගලා එක්කෝ නැවත බලය ගැනීම නැත්නම් කාටහරි ඒ අභියෝග බාර දීලා ඉවත් වීම. වසර දෙකකට කලින් මැතිවරණ පවත්වන්න ඇත්ත හේතුව ඒකයි. එහෙම කරලා උජාරුවට කියනවා අපි ප්රජාතන්ත්රවාදියි කියලා. වැරදිලාවත් දිනුවා නම් මේ රටේ මිනිස්සුන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නත් ඉඩ තිබුණා.
ඔබ ඔය චෝදනාව කරන රජයේ ප්‍රබල ඇමැති ධුරයක් දැරූ මෛත්‍රිපාල සිරිසේන ඔබලා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ මේවා නොදැන ගෙනද?
ඇත්තට ම සිරිසේන මහත්තයා ඒ රජයෙන් ඉවත් වෙන්න තීරණය කළේම ඒ රජයේ ආර්ථික ප්‍රතිපත්ති හොඳ නෑ කියලනේ. ඒ වෙලාවේ රටේ පැවැති දේශපාලන වාතාවරණය තුළ ඔහු පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න එජාපය ගත් දේශපාලන තීන්දුව වැරදුණේ නෑ. අපි ජයග්‍රහණය කළා.
ඔබ කියන ආකාරයට එජාපයට තිබෙන ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිය නිසාද 2015 ආණ්ඩුව බාර ගෙන මාස දෙකක් ගත වන්නටත් පෙර මහ බැංකුව කොල්ල කන්නෙ?
අපේ විරුද්ධවාදින් ගේ දේශපාලන සටන් පාඨයක් ඔබ ප්‍රශ්නයක් විදියට මට යොමු කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ගනුදෙනු පිළිබද රහස්‍ය තොරතුරු පිටවීම නිසා මේ ප්‍රශ්නය ගොඩනැගී ඇතත් මෙහිදී කිසිම වැරදි දෙයක් සිදුවෙලා කියල මේ දක්වා ඔප්පු වෙලා නෑ. ලෝකයේ දියුණු වෙළඳ රටාව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව යාවත්කාලීන කිරීමට ගත් තීන්දු නිසා ව්‍යාපාරික ලෝකයේ ඇතිවන ලාභ අලාභ දේශපාලන කෝණයෙන් බලා චෝදනා එල්ල කිරීම යුක්ති සහගත නෑ. දැනට මේ පිළිබඳව කරන පරීක්ෂණවලින්ද මේ දක්වා දේශපාලන අධිකාරියට ඍජුව චෝදනා ඉදිරිපත් වී නෑ. කෙසේ නමුත් මේ සිද්ධිය දේශපාලන සටන් පාඨයක් ලෙස ව්‍යාප්ත වුවත් මේ සිද්ධියට දේශපාලනය වැරැදිකරු නොවුවත් රහස් තොරතුරු හෙළි කිරීමේ වරදට නිලධාරින් දඬුවම් ලැබීමට ඉඩ තිබෙනවා.
ඔබ සඳහන් කරලා තිබුණා දිනුවත් දිනුම් පැරදුණත් දිනුම් ජාතික ආණ්ඩු සංකල්පයෙන් ආණ්ඩු හදනවා කියලා. එයින් අදහස් කරන්නේ ආණ්ඩු හදන්න පොහොට්ටුවට එකතු වෙනවා කියන එකද?
නෑ. මම හිතන විදියට එජාපය පොහොට්ටුව හෝ දුරකථනය සමඟ ජාතික ආණ්ඩු හදන්නෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් පෙන්වා දී තිබෙනවා ජාතික ආණ්ඩු සංකල්පය. ඒ අනුව ජාතික ආණ්ඩු හදන්න රාජපක්ෂවරු හෝ සජිත්ලා අවශ්‍ය වෙන්නෙ නෑ. 2015 අගෝස්තු මැතිවරණයෙන් එජාපය තනි පක්ෂයක් ලෙස පරාජය වුණත් සෙසු පක්ෂවල සහය ලබාගෙන අපි රජයක් පිහිටුවා ගත්තා. මේ විදියටම ඉදිරි වසර තුළදී එජාපයට ආණ්ඩුවක් හදන්න පුළුවන්. මතක තියා ගන්න එදා මැතිවරණයේදී අපිට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණත් මොළේ පාවිච්චි කරලා තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේදී පෙන්වන්න අපිට පුළුවන් වුණා.