
පක්ෂ දහහතක් ඒකරාශි වෙලා ගොඩනඟන ලද පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපති මැතිවරණ ප්රචාරක කටයුතු කෙබඳු ද?
පොදු ජන පෙරමුණ පක්ෂයේ මැතිවරණ කටයුතු ඉතා සාර්ථක ව කෙරීගෙන යනවා. අපිට පේනවා රටේ හැමතැනම උද්යෝගයක් තියෙනවා; හැමතැනම පිබිදීමක් තියෙනවා. රටේ ආත්ම ගෞරවය, රටේ අනාගතය, ජාතික ආරක්ෂාව නැතිවෙලා ගිහින් තියන රටක එය නැවත ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන් අපේ අපේක්ෂකයා වටා සියලු පාර්ශ්වයන් පෙළ ගැසී ඉන්න ආකාරයක් දක්නට ලැබෙනවා.
මේ අය රටේ අනාගතය සම්බන්ධයෙන් බලපාන ගිවිසුම් අස්සන් කරනවා මේ අවසාන සති දෙකේ. ජනතාවවත් පාර්ලිමේන්තුවත් දන්නේ නැහැ; මෙහි අන්තර්ගතය සම්බන්ධයෙන්. ලහි ලහියේ මේ දේ කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් අවිස්වාසයක් ඇතිවෙලා තියෙනවා. නැවුම් රජයකට තමයි මේ කාර්යය කරන්නට පුළුවන්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ අභිමතය විමසන්නේ නැතුව මේ දෙවල් කරනවා. මේ විදිහට රටේ සම්පත් විකුණනකොට මොනවාද ඉතුරු වෙන්නේ.
යම් රටක ප්‍රබල විරෝධයක් මතු වෙනකොට රටේ මොනවා හරි විකුණනවා. විදේශිය රටවල් තෘප්තියට පත් කිරීමට මේ රටේ මොනවා හරි විකුණා දැමීම කිරීමයි මේ අය කරන්නේ. අන්සතු කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ අය මේතාක් කළේ. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ රටේ කිසිදු අපේක්ෂකයකු ලබා නොගත් ඡන්ද ප්‍රතිශතයක් මෙවර ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. ජාතිවාමක ජාති හිතෛෂි හැඟීමක් මේ අයට නැහැ.
මේ ආකාරයට විදේශ රටවලට මේ රටේ සම්පත් විකිණීමෙන් වෙන්නේ පසුව ආපහු ලබා ගැනීම ඉතා අසීරු විමයි. මේ අන්තිම දින කිහිපයේදීත් කරන්නට උත්සාහ කරන්නේ එයයි. ඉදිරි වැඩපිළිවෙළ ආපසු හැරවීමට මෙය අවස්ථාවක් කරගැනීමට විශාල උද්යෝගයක් තියනවා. මේ අවස්ථාවේදි දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ප්‍රබල හැඟීමක් තියනවා. මැතිවරණයට ද්‍රවිඩ සන්ධානය පමණක් මේ රජය සමඟ එකතු වෙලා තියෙනවා. ඒ පළාත් වල ජනතාව අහනවා මොනවද ඒ ජනතාව වෙනුවෙන් මේ අය කරන්නේ කියලා. ඒ ජනතාව දන්නවා මහින්ද රාජපක්ෂ රජය කාලයේ පමණයි ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළේ කියලා.
මහාචාර්යතුමනි, ඔබ මේ රජයට අන්තවාදීන් සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වුවා කියලා කිව්වත්, මේ අන්තවාදින් පසුගිය රජය සමයේ ආරක්ෂක ලේකම්තුමා යටතේ පඩි ලබාගත්තා කියලා චෝදනා තියෙනවා නේද?
සහරාන්ලාට පඩි ගෙව්වෙත් නැහැ; සහරාන්ලා සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ. ඒ අය මර්දනය කිරීමට රජයේ යන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමයි කළේ.
මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ඉතා කාර්යක්ෂම ව කෙරුණා. සිඅයිඩී බුද්ධි අංශ ක්‍රියාත්මක වුණේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. නමුත් ඒ සියල්ල කණපිට හැරෙව්වා මේ ආණ්ඩුව; ඒ යන්ත්‍රණ සියල්ල අඩපණ වුණා. බුද්ධි අංශ නිලධාරීන්ගේ ධෛර්යය අඩපණ කළා. සියලු ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කළේ එදිරිවාදීන්ගෙන් පළිගැනිම් වලටයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පිටරටවල පුහුණුව ලබපු ආරක්ෂක අංශ නිලධාරීන් ඒ තනතුරු වලින් ඉවත් කරලා පිටරටවල යැව්වා. සමහර අය අභූත චෝදනා කරලා නීතිමය රැහැනට හසු කළා. බෝම්බ අටක් ඉතා සුළු වෙලාවකදී රට පුරා පිපිරුණා.
එය කරන්න සැලැසුමක් ඇති වැඩක්. එයින් පේනවා, මේ රටේ ආරක්ෂාව ඉතාමත් බිඳ වැටිලා කියලා. විදේශීය ආරංචි මාර්ගවලින් රජයට තොරතුරු ලැබිලා තියෙද්දිත්; මේ දේට සම්බන්ධ පුද්ගලයන් දුරකතන අංක ස්ථාන රජය සතුව තිබුණත්; මේ රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඒ වැනි රජයකින් මොන ආරක්ෂාවක් ද? මේ රටේ ජනතාව දන්නවා, ඒ ආරක්ෂාව ලබාදිය හැකි එක ම අපේක්ෂකයා ගෝඨාභය මහතා බව.
ගෝඨාභය මහතා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළත් මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආදිපත්‍යයක් ඇති කිරීමට උත්සාහ කිරීමක් කියලා සමහරු අදහස් කරනවා?
මිලිටරි ආධිපත්‍යයක් ගොඩනැඟීමට කිසිදු අපේක්ෂාවක් නැහැ. පාතාලේ මිනිසුන් කුඩුකාරයන් ත්රස්තවාදීන් තමයි එතුමාට බය වෙන්නට ඕන.
යූඑන්පීය ගැන කළකිරීමෙන් සිටි ඇතැම් පාර්ශ්වයන් මේ වන විට සජිත් ප්‍රේමදාස වටා; එතුමාගේ රැස්වීම තුළ විශාල ජන බලවේගයක් වශයෙන් ඒකරාශිවෙලා ඉන්නවා. ඒ වගේම වෙනස් ආකාරයෙන් ප්‍රචාරණ කටයුතු කරගෙන යන අනුර කුමාර දිසානායක මහතා මහේෂ් සේනානායක මහතා වැනි ඇතැම් අපෙක්ෂකයන් වටාත් ජනතා බලවේගයක් ගොඩනැඟී තිබෙනවා. එය ගෝඨාභය මහතාට ප්‍රබල අභියෝගයක් නේද?
කිසිදු අභියෝගයක් නැහැ. ජනාධිපති මැතිවරණයකදි ජනතාව ඡන්දය දෙන්නේ දිනන්නට පුළුවන් අපේක්ෂකයකුට. කිසියම් මැතිවරණයකදී යම් කිසි කණ්ඩායමක් සිටිනවා නම්; පාර්ලිමේන්තුවේ ශක්තියක් තියනවා නම් ආසන කිහිපයක් තියනවා නම්; දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ජනාධිපති මැතිවරණයකදී මේ කියන අපේක්ෂකයන්ට ඡන්දය දීමට ජනතාව උත්සුක වන්නේ නැහැ.
ජනතාව ඡන්දය නාස්ති කරන්න කැමැති ජයග්‍රහණය කිරීමේ සක්‍යතාවක් ඇති නායකයකුටයි. පෞද්ගලික හැඳුනුම්කම් වලට ඉතා සුළු පිරිසක් ඒ අයට ඡන්දය ලබා දෙයි.
දිර්ඝ සාකච්ජාවලින් පසුව ශ්‍රීලංනිප පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර එකඟතා මත සන්ධානගත වුවත් තවමත් ගම්මට්ටමින්, බිම්මට්ටමින් සිටින ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් පොදුජන පෙරමුණ වටා ඒක රාශිවෙලා නැහැ කියලයි ඇතැමුන්ගේ මතය වෙලා තියෙන්නේ?
මේ ඡන්දයේදී පිල් දෙකක් තියෙනවා. මූලික තීරණය වන්නේ යහපාලන රජය මේ වසර හතරාමරක් පුරා ගෙනගිය වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සහය දෙනවා ද කියන කාරණාවත්; ඒ ප්‍රතිපත්ති මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් වෙනත් මාර්ගයක් ඔස්සේ රට ගෙන යා යුතුයි කියන ස්ථාවයේ ඉන්න පිරිසක් ඉන්නවා.
අපේ අවශ්‍යතාව වන්නේ එජාප විරෝධි බලවේගක් පක්ෂ දාහතක් තමයි අපි වටා ඒකරාශී වෙලා තියෙන්නේ. වසර හතරහමාරක් දැකපු දේට අපි සෑහිමකට පත්වෙනවා ද කියන කාරණාව; අපේ ආදායම, වියදම රැකීරක්ෂාව, අධ්‍යාපන, සංවර්ධනය, නිතිය, සාමය ජාතික ආරක්ෂාව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් සෑහිමට පත්වෙනවා නම් තමයි නැවත වරක් හංසයාට ඡන්දය ලබාදෙන්නේ.
ඒවා ගැන තෘප්තියක් නැති අය අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙයි; මෙයයි සරල සිද්ධාන්තය.
පොහොර සහනාධාරය නොමිලේ ලබා දීම සහ බදු ඉවත් කීරීම් ඇතුළු සහන රැසක් ගැන කතා කළත් දළ දේශිය නිෂ්පාදිතය අමරිකානු ඩොලර් බිලියන අනුවක් වෙන මේ රටේ එ් පොරොන්දු ඉටු කිරීමේ ඇති හැකියාව පිළිබඳ ව ගැටලුවක් තියනවා නේද? ඉපැයුම් මාර්ග පිළිබඳව කිසිදු අවස්ථාවක කතා නොකරන තතත්වයක් යටතේ මේ දේවල් කරන්නේ කොහොමද කියලත් ඇතැමුන් තර්ක කරනවා.?
සමස්ත වැඩ පිළිවෙළක අන්තර්ගත කරුනු ලෙසයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ මැතිවරණ පොරොන්දු ලෙස ලඝුකොට සැලකිය යුතු නැහැ. උපයන මාර්ගයන් රජයකට ඒ පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම් ආයෝජකයන් ගෙන්වා ගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවෙයි.
මේ වසරේ මහ භාණ්ඩාගාරයේ සුරුකුම්පත් බිල්පත් ඇමරිකානු ඩොලර් බිලියන දෙදහස් හත්සියයක් මේ රටෙන් ඉවත් කරගෙන ගිහින් තියනවා.
මේ මාස දහය ඇතුළතයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. එයට හේතුව ආයෝජකයන්ට කිසිදු විස්වාසයක් නැති වීමයි මේ රජය සම්බන්ධයෙන්; විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික ධාරිතාවය සියයට අටයි දසම හයේ තිබුණා. අද ආර්ථික ධාරිතාව සියයට දෙකකට අඩුවෙලා. එයයි අද තත්ත්වය. බංග්ලාදේශය සියයට අටකින් ඉහළ ගිහින් තියනවා.
සියලුම ක්ෂේත්රවල කාර්මික කෘෂිකර්මය ඇතුළු සියලු අංශ වල අලුත් රැකියා උත්පාදනය කරන්න පුළුවන්. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනයක් ඇතිවීමත් මුදල් සංචරණය වැඩි වීමක් සිදු වීමත් සමඟ මේ තුළින් ව්‍යාපාර ආරම්භ කරන්නට හැකියාවක් තියෙනවා.
මේ රටේ ව්‍යාපාර බිඳ වැටිලා. ඒ තත්ත්වය මත ක්‍රියාත්මක කරන්නට සුදානම් වන සමස්ත රාමුවේ වැඩපිළිවෙළ තුළ මේ සියල්ල යථාර්ථයක් බවට පත් කරගැනීමට හැකියාව තියෙනවා.