
එළඹෙන ජනාධිපතිවරණය හා එහිදී අප සැලකිල්ල යොමු කළ යුතු කාරණා පිළිබඳ එක්සත් වාමාශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිළුමිණ හා සංවාදයට එක් වෙමින් පළ කළ අදහස් මෙසේය
ජාතික ජනබලවේගයට එකතු වූ ඔබ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ හංසයා ලකුණින් තරග කරන අපේක්ෂකයාට උදව් කරන්න ඕනෑ කියලා තීරණය කළේ ඇයි?
අවුරුදු එකහමාරක් විතර අප ජනතා විමුත්ති පෙරමුණ සමඟ වැඩ කළා. මැතිවරණ ප්‍රකාශන දිහා බලපුවාම ඔවුන්ගේ මැතිවරණ ප්රකාශනය බොහෝම අකර්ෂණීය මැතිවරණ ප්රකාශනයක්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නුමුත් අද ඉතාම භයානක සත්ත්වයෙක් දත් විලිස්සාගෙන අපේ දොරකඩට ඇවිත් සිටිනවා. 2015දී නව රජය බලයට පත් කරගෙන වඩා ප්රජාතන්ත්රවාදී අවකාශයක් අප නිර්මාණය කරගත්තා. එසේ අත් කරගත් ප්රජාතන්ත්රවාදී අවකාශය අහිමි වීම පිළිබඳ සැබෑ අවදානමක් තිබෙනවා.
අප සම්මත කරගත් යෝජනාවේදී අප ප්‍රකාශ කළා, ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ගෝඨාභය රාජපක්ෂගෙන් හා ඔහු පිටුපස සිටින අන්තවාදීන්ගෙන් පැහැදිලි අනතුරක් තිබෙන බව. ඒක මේ වෙනත් අය කියනවා වගේ එයා ආවොත් මෙහෙම වෙන්න පුළුවන් වගේ අපැහැදිලි එකක් නෙමෙයි. සත්‍ය ලෙසම වෙන්න පුළුවන් සහ දැනටමත් වෙමින් පවතින අනතුරක්. ඒ අනතුර ඈත තියෙන එකක් නෙමෙයි දොර ළඟමයි තියෙන්නේ. යක්ෂයා දොර ළඟම ඉන්න නිසා අපට නැකත් හද හදා ගණන් බල බලා ඉන්න පුළුවන් කමක් නැහැ. එය කෙසේ හෝ පරාජය කළ යුතුමයි. ඒ අනුව ඇති වෙමින් තිබෙන තත්ත්වය ගැන වඩාත් බැරෑරුම්ව කල්පනා කරලා පක්ෂය අපෙන් කළ ඉල්ලීමක් අනුව හංසයා ලකුණ යටතේ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට ඡන්දය දෙන්න ඕනෑ කියලා අපි තීරණය කළා.
●ඔය කියන බරපතළ අවදානම මොකක්ද?
සමහර අය මේ බරපතළකම නොතේරෙනවා වගේ හිටියට හොඳටම තේරෙනවා. නමුත් ඔවුන් පක්ෂයකට හෝ යම් පුද්ගයකුට තිබෙන කැමැත්ත මත එය නොසලකා හරිමින් තිබෙනවා. ඔහුගේ අතීතය මොකක්ද කියලා අපි මෙතැනදි කල්පනාවට ගන්න ඕනෑ. සුදු වෑන් සංස්කෘතිය, රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තැබූ ආකාරය, කටුනායක වෙඩි තැබීම, හලාවත ධීවරයන්ට පහරදීම, මාධ්‍යවේදීන් අතරුදහන් කිරීම, ක්‍රෑර ලෙස පහරදීම හා ඝාතනය කිරීම, ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය ව්‍යවස්ථා විරෝධීව හා ශ්‍රේඨාධිකරණය නීති විරෝධී බව කියද්දි ධුරයෙන් ඉවත් කළා. මේ වගේ දිග ලැයිස්තුවක් තියෙනවා.
රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න බලවේග ඉතාම අන්තවාදී හා වෛරී අදහස් තියෙන උදවිය. හොඳම උදාහරණය තමයි ගෝඨාභය මහතා නායකත්වය දෙන වියත් මඟ සම්මේලනයේදී මේජර් ජනරාල් කමල් ගුණරත්න කියනවා නව ව්‍යවස්ථාවක් සඳහා උදව් කරන ඕනෑම කෙනෙක් එල්ලලා මරන්න ඕනෑ. මරලා දණ හිසින් උඩට මිනියවත් උස්සන්න දෙන්න හොඳ නැහැ කියලා. ඒ වගේම හිටපු මන්ත්‍රී සහ නාවික හමුදාවේ උසස් නිලධාරියෙකු වන සරත් වීරසේකර ඔහුත් කියා සිටියා නව ව්‍යවස්ථාවකට සහාය දෙන අය රාජ්‍යද්‍රෝහීන් හැටියට සලකලා එල්ලුම්ගස් යවන්න ඕනෑ කියලා. එයින් පේන්නේ ඔවුන්ගේ පාලනයක් ආවොත් මේ රටේ පුරවැසියන්ට මුහුණ දෙන්න වෙන තත්ත්වය. මේ වෙද්දි ඒ අය කටවල් වහගෙන ඉන්නේ සුළු ජාතික ප්‍රජාවගේ ඡන්ද ගන්න ඕන නිසා.
●ඔබලාගේ සමසමාජ ව්‍යාපාරය සමඟ දේශපාලනය ආරම්භ කළ නලින් ද සිල්වාත් එතැන සිටිනවා නේද?
කියන්න කනගාටුයි ඔහු තමයි අද මේ සිංහල ජාතිවාදී කොටස්වලට නායකත්වය දෙන න්යාචාර්යවරයා. එතුමා ගෝඨාභය නම් කරන්න කලින් කිව්වා.“ ගෝඨාභය නම් කරන්න දෙයක් නැහැ. මේ රටේ ජාතිකවාදී බලවේග ඔහු පිළිඅරන් ඉවරයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙන්නේ එය අනුමත කරන්න විතරයි” කියලා. මේ ළඟදි කියනවා “අපි ගෝඨාභය එක්ක හදන්නේ මහින්ද පන්නයේ ආණ්ඩුවක් නෙමෙයි. අපි හදන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් ”. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මොන වගේ ආණ්ඩුවක් වෙයිද කියලා. මේකෙන් තෙරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි ඔවුන්ගේ අණ්ඩුවක් යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයාට තැනක් නැති වෙලා යනවා කියන එක.
එතුමා ළඟ යම් අධිකාරීවාදී අදහස් තිබුණා වුණත් වසර පනහකට ආසන්න කාලයක් දේශපාලනඥයකු ලෙස කටයුතු කරලා ජනතා අදහස්වලට පිටින් යන්න අදිමදි කරන ස්වභාවයක් එතුමා තුළ තිබුණා. අවසාන කාලයේ එතුමා එහෙම කළා නමුත් ඒක ඔහු පහසුවෙන් නෙමෙයි කළේ. නමුත් ගෝඨාභයට එවැනි සංවේදී භාවයක් නැහැ. මං එක වේලාවක මහින්ද මහත්තයගෙන් ඇහුව්වා “හදිසියේවත් ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණොත් 19යට කොහොමද බලපාන්නේ කියලා”. එයා කියනවා “ගෝඨාට ඕවා ප්‍රශ්නයක් නැහැ. එයාට ඔය නීති බලපාන්නේ නැහැ කියලා”. ඒ නිසා අපි දන්නවා මේ අය බලයට ආවොත් මේ රටේ ඇති වෙන්නේ පැසිස්ට්වාදී ක්‍රෑර අන්තවාදී පාලනයක්. එහෙම වුණාම අපි අාපසු යන්නේ කතා කරන්න බැරි කාලෙකට, නිදහස නැති කාලෙකට සුදු වෑන් එන කාලෙකට.
●නමුත් ඔහු වැඩ කරන්න දක්ෂ අයකු බව කියනවා.
ඔය කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියාගෙන කරපු දේවල් වෙන්න ඕනෑ. ඔව් එතුමා නගර අලංකරණය කළා. ඒවගේම පැල්පත් නිවාසවාසී ජනතාව ඒ අයගේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇදලා දැම්මා. පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න, තමන්ගේ අයිතිය වෙනුවෙන් නඩු මඟට යන්න ඉඩ දුන්නේ නැහැ. ජනතාව බය වෙලා හිටියේ. අපි දන්නවා පාරක් ලොකු කරන්න ගියත් මිනිස්සුන්ගේ හඬට කන්දෙන්න ඕනෑ. ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න ඉඩදෙන්න ඕනෑ. කෙනෙකුට අවශ්‍ය නම් උසාවි යන්න පුළුවන් නමුත් ඔහු නාගරික සංවර්ධන අධිකාරිය පාලනය කරපු කාලයේ එහෙම අවකාශයක් ඇති කළේ නැහැ. ඉස්සෙල්ලම ඒ ස්ථානවලට හමුදාව ඇරියේ. ගිහින් කියනවා පාර ලොකු කරන්න යන්නේ වහාම ඉවත් වෙන්න කියලා. එහෙම තමයි ඒවා වුණේ. බැරිවෙලාවත් ඔහු ආවොත් ඒවගේ නීතිය වල්වැදුණු යුගයක් ස්ථිර වශයෙන් ම එනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ.
●මේ අවස්ථාවේ ජනතාවට හා සෙසු වාමාශිකයන්ට ඔබ කරන යෝජනාව මොකක්ද?.
අපට දක්ෂිණාංශික පක්ෂ සමඟ විශාල ප්‍රශ්න තිබෙන ඒක ඇත්ත. නමුත් අපට දේශපාලනය කරන්න පුළුවන් ප්රජාතන්ත්රවාදී අවකාශයක් තිබුණොත් විතරයි. ඒ නිසා වාමාශිකයන් වන අපි දැන් න්‍යායන් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. යක්ෂයා දොරකඩටම ඇවිත් ඉන්නේ. ඒ නිසා වාමාශිකයන් විදියට ජාතික ජනබලවේගයට අපි ආරාධනා කරනවා. න්‍යායික ප්‍රශ්න අපි පසුව විසඳා ගනිමු. මේ වෙලාවේ බැටළු හම පෙරවාගෙන එන මේ යක්ෂයා පරාජය කළ යුතුමයි. ඒ සඳහා පළමු මනාපය දෙන්න කියන්න බැරි නම්; දෙවන මනාපය හෝ හංසයා ලකුණ යටතේ තරග කරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලබාදෙන්න කටයුතු කරන්න කියල ඉල්ලීමක් කරනවා.