
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය දරමින් සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට 2015 වසරේදී සහාය දුන් තිස්ස අත්තනායක මහතා මෙවර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ අරමුණින් කටයුතු කළේය. අද සිළුමිණ සංවාදය හා එක් වන්නේ ඔහුය.
ඔබ එක්සත් ජාතික පක්ෂයට යළිත් සම්බන්ධ වුණේ ඇයි?
මම දේශපාලන වශයෙන් නිදහස් පුරවැසියකු ලෙසයි හිටියේ. 2015දී දේශපාලන තීරණයක් ගත්තා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින්. මම එදා පැහැදිලිවම කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම හරහා එක්සත් ජාතික පාක්ෂිකයාට කිසිම සෙතක් වන්නේ නැහැ කියා. ඔහු පක්ෂය කර පිටින් ගිහින් පාක්ෂිකයන්ට පයින් ගහනවා කියලා මම කිවුවා විතරක් නොවෙයි; ලියලාත් දුන්නා. දෙවැන්න තමයි ඔහුගෙන් රටට යහපතක් නොවන බවත් මම ප්‍රසිද්ධියේ කිවුවා. එනිසා ඒ මොහොතේ ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට මගේ සහයෝගය දුන්නා මිස; මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු වුණේ නැහැ.
පහුගිය අවුරුදු 4 1/2ක කාලය මම බලාගෙන හිටියේ මොකද සිදු වන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට පත් වන්නේ. ඔහුගේ ඒ පැමිණීම එක්සත් ජාතික පක්ෂයට ඉතා වැදගත් බව මම තේරුම් ගත්තා. එය සලකමින් තමයි මම ඔහුට සහාය දෙන්න තීරණය කළේ. ඔහු පැමිණ ඇති තත්ත්වයත් ඊට බලපෑවා. ඔහු තරුණයකු වගේම ඕනෑකමින් සේවය කළ අයෙක්. ඇමැතිවරයකු ලෙසත් ඔහු කාර්ය රැසක් ඉටු කළා.
ඔබ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගැටලුවක් නිසා පක්ෂය හැර ගිය බවත් සඳහන් වුණා...
නැහැ. ඔහු හා මා අතර කිසිදු ආකාරයක ආරවුලක් ගැටලුවක් තිබුණේ නැහැ. මට මතු වුණ තවත් ප්‍රශ්නයක් තමයි පක්ෂය අභ්‍යන්තරයෙන් ගැටලුවක් මතු වීම. ඒ තත්ත්වය නිර්මාණය වුණේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරය සඳහා යෝජනා කිරීම නිසා. ඔහු එසේ පත් නොකිරීමට පක්ෂයේ කිහිප දෙනකු ගත් උත්සාහය හා මා අතර ගැටුමක් තිබුණා. ඒ ගැටුමේ අවසන් ඵලය මෙවන් මතභේදයකට ලක් වීම හැර නායකත්වය හා මා අතර ගැටුමක් තිබුණේ නැහැ. මගේ විරෝධතාව දක්වා මා ඉවත් වුණේ පෙර කී කරුණ නිසයි.
එහෙත් ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් එක්සත් ජාතික පක්ෂයට නොතිබුණු බව ප්‍රකාශ වුණා...
මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු නැත් නම් හෝ ඔහුට ජයග්‍රහණය කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම් ඒ වෙනුවට කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා යොදන්න තිබුණා. එදා මම හිටපු ඒ මතය අද බොහෝ දෙනකු අද පිළිගන්නවා. කවුරුත් දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පාක්ෂිකයාට හෝ රටට හෝ වැඩක් නොකළ බව. එපමණක් නොවෙයි; පාක්ෂිකයන් නොවන අය පවා එය පිළිගන්නා දෙයක්.
ඇත්තෙන්ම ඒක දෛවයේ සරදමක්. මම කවදා වත් හිතුවෙ නැහැ මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි කියලා. දේශපාලන වේදිකාවේ නොයෙක් දේට මුහුණ දෙන්න සිදු වුණා. නොයෙක් දේ කතා වෙනවා. පහුගිය කාලෙත් ඒ වගේ බොහෝ දේ කතා වුණා. ඒ වගේ දේවල් මාධ්‍ය ඉදිරියේ වගේම දේශපාලන රැස්වීම්වලදීත් සිදු වෙනවා. මෙවරත් සිදු වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව වගේම සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව වුණත් ඒ වගේ දේවල් ප්‍රකාශයට පත් වුණා. කවුරුත් ඒ දේවල් ඒ තරම් ගණන් ගත් බවක් පේන්න තිබුණෙ නැහැ. එහෙත් දේශපාලන වේදිකාවේදී කතා කරපු කාරණාවක් නැත් නම් මාධ්‍ය හමුවකදී කතා කළ දෙයක් පදනම් කරගෙන මේ විදිහට ක්‍රියා කිරීම පැහැදිලිවම දේශපාලන පලි ගැනීමක්. මම මාස 2ක් වැලිකඩ බන්ධනාගාරයේ සිටියා. ඒත් අවසානයේ ඔවුන්ම නඩුව ඉල්ලා අස් කරගත්තා. එයින්ම පෙනුණා නඩුවක් ගෙනයෑමට තරම් කරුණු නැති බවක්. නඩුවක් ඉදිරියට ගෙනයන්න තරම් කරුණු එහි නැති බව අධිකරණය පවා පිළිගත් කාරණයක්.
රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පක්ෂයේ නායකයා... ඔබ එය දකින්නේ කෙසේද?
රනිල් වික්‍රමසිංහ මහතා දැන් නායකත්වයෙන් ඉවත් විය යුතුයි. මම කියන්නෙ නැහැ කිසිවිටක බලහත්කාරයෙන් ඔහු එළියට දැමිය යුතුයි කියා. මම හිතනවා එතුමාගේත් කැමැත්ත ආශීර්වාදය ඇතිව ඒ දේ සිදු විය යුතුයි කියා. ඔහු අවුරුදු විසි ගණනක් මේ පක්ෂයට නායකත්වය දුන්නා. ඒකෙ හොඳ-නරක දෙකම ජනතාව හොඳින් දන්නවා. ඒත් එක්කම ඔහුගේ නායකත්වයට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම විවිධ කැරලි මතු වුණා. මේ කරුණු කොහොම වුණත් දැන් අපි යම් ආකාරයක තීරණයක් ගත යුතු තැනකට ඇවිත් තිබෙනවා. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසන් මොහොතේ හෝ සජිත් මහතා නම් කළා වගේ මේ පදවිය අත්හැර අලුත් පරපුරකට ඉඩ දිය යුතු බව ඔහු තේරුම් ගත යුතුයි. මොකද පක්ෂයට ඇලවිලා තියෙන දේශපාලන ලේබල්-එක ගලවාගන්න ලෙහෙසි නැහැ.
විශේෂයෙන්ම ජාතිකත්වයෙන් තොර, විදේශ බලවේග හා වැඩි වශයෙන් ගනුදෙනු කරන පක්ෂයක් ලෙස එජාපයට ලේබල් වැදිලා තියෙනවා. ඒ ලේබල් ගලවගන්න ඕන. ඒ ලේබල් ගලවලා එක්සත් ජාතික පක්ෂයට අලුත් ප්‍රතිපත්ති එක්ක අලුත් ගමනක් යන්න ඉඩ දීම එතුමාගේත් යුතුකම කියලයි මම හිතන්නේ.
ඔබ පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මේ පක්ෂය ගොඩගන්න බැහැම කියන එකද?
මේ මොහොතේ මගේ අදහස ඒක තමයි. ඔහු ඉවත් වී වෙනත් අයකුට පක්ෂය ගොඩ ගන්න ඉඩ දිය යුතුයි. මේ වෙලාවේ ඒ සඳහා ඉන්නෙ සජිත් ප්‍රේමදාස මහතා විතරයි. එම නිසා රනිල් මහතාගේ ආශිර්වාදය ඇතිව එය ක්‍රියාත්මක කළ යුතුයි. පක්ෂය නව ගමනක් යන්න නම් පූර්ණ ප්රතිසංස්කරණයක් සිදු කළ යුතු වෙනවා.
මොනවද කළ යුතු පූර්ණ ප්‍රතිසංස්කරණ...
පළමුව නායකත්වය වෙනස් විය යුතුයි. දෙවනුව ප්‍රතිපත්ති ව්‍යූහය වෙනස් කිරීමේ සංවිධාන වැඩවලටත් එළඹීමට තටයුතු කළ යුතුයි. මං හිතන්නේ 2025 කියන්නේ එච්චර දුර කාලයක් නෙමෙයි. මේ මොහොතේ සිට 2025 දක්වා වන ගමනේ අපට තව සන්ධිස්ථාන තිබෙනවා. එකක් පාර්ලිමේන්තු මැතිවරණය, ඊළඟට පළාත් සභා මැතිවරණය. ඊට පස්සෙ පළාත් පාලන මැතිවරණ.
මේ සියලු කඩයිම් පහු කරගෙන තමයි 2025 ජනාධිපතිවරණයට යන්නෙ තියෙන්නේ. ඒ හැම කඩයිමකදීම හොඳ ප්‍රතිඵලයක් පෙන්නුවොත් අපට ජනාධිපතිවරණ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මූලික දේ තමයි ප්‍රතිසංවිධානය වෙන්න සියලු කටයුතු සම්පාදනය නායකත්ව වෙනසකින් ආරම්භ කිරීම.
ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වීමට හේතු වූ කරුණු ලෙස ඔබ දකින්නේ මොනවාද?
ඒකට හේතු කිහිපයක්ම තිබුණා. එකක් තමයි ඔහුට අවසාන මොහොතේ තමයි අපේක්ෂකත්වය ලබා දුන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා සතියකට පසුව තමයි අපේක්ෂකත්වය ලබා දුන්නේ.
ඒ නිසා මුළු මැතිවරණ ව්‍යාපාරයම කරන්න තිබුණේ සති 4ක පමණ සුළු කාලයක්. ඒක ලොකු අවාසියක් වුණා. ගෝඨාභය මහතා අවුරුදු දෙකක පමණ සිට ඔහුගේ මැතිවරණ කටයුතු පටන් ගත්තා. නිල වශයෙන් ඔහුගේ කටයුතු මාස 3කට පමණ පෙර සිට පටන් ගත්තා.
ඒ සූදානම් වීම සහ අපේ සූදානම් වීම අතර ලොකු වෙනසක් තිබුණා. දෙවැනි එක තමයි මෙ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේදී සහයෝගය දීමේ අඩුවක් තිබුණු බව බොහෝ දෙනෙක් කියනවා. විශේෂයෙන්ම කකුලෙන් ඇදීම්, බලපෑම් කිරීම් නැත්නම් මඟහැර සිටීම් පවා වාර්තා වුණා.
ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රචාරය පවා නිසි ලෙස ජනතාවට යොමු කරගන්න අපට හැකි වුණේ නැති බවයි මගේ අදහස. ඒ සඳහාත් බාධා පැමිණුණා කියලා මම හිතනවා. ලැබුණු තොරතුරු අනුව 50%ක් හෝ 60%ක් හෝ සංඛ්‍යාවකට පමණයි ප්‍රතිපත්ති ප්‍රචාරණය කරන්න පුළුවන් වී ඇත්තේ.
ඒ වගේම ආණ්ඩුවේ අපේක්ෂකයා විදිහට පක්ෂයේ ආණ්ඩුවේ වැරදිවලටත් එතුමාට කර ගහන්න සිදු වුණා.
ආණ්ඩුවේ අපේක්ෂකයා වුණාම ඒකට මුහුණ දෙන්න වෙනවා. එතෙන්දි ආණ්ඩුව විසින් කළ ඇතැම් ක්‍රියාවලට සජිත් ප්‍රේමදාස මහතාටයි වන්දි ගෙවන්න සිදු වුණේ.
එකක් තමයි ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනුව. මේ ගනුදෙනුව ගැන මධ්‍යම පාන්තිකයන් අතර තිබුණේ දැඩි විරෝධතා සහිත ප්‍රතිචාරයක්. ඒ ප්‍රතිචාරය ගියේ සජිත් ප්‍රේමදාස මහතාගේ කරපිටින්. මැතිවරණ ව්‍යාපාරය අතර මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කරළියට ගෙන ඒමෙන් වැරදි මතයක් ජනතාව අතරට ගියා. ඒ කියන්නේ අපේ ඉඩකඩම් ඇමරිකාවට විකුණන්න යනවා කියන මතයක් ගියා. ඒ වගේම ඒ අවස්ථාවේ ජාතිකත්වය ඉස්මතු වෙමින් තිබුණේ ඒ සඳහාත් නිසි වැඩිපිළිවෙළක් පක්ෂයෙන් කෙරුණේ නැහැ.
ඒ වගේම ඇතැම් මැති-ඇමැතිවරුන්ගේ කතා, මහා සංඝරත්නයට දොස් පැවරීම්, බුද්ධාගම ගැන කියපු කතා ජනතාව අනුමත කරපු හෝ එකඟ වුණු දේ නොවෙයි, ඒ කතාත් මේ මැතිවරණයේදී විශාල ලෙස බලපෑවා. විශේෂයෙන්ම මේ ඡන්දයේදී ජාතිකත්වය, ජාතික ආරක්ෂාව වැනි දේ සම්බන්ධව ජනතාව විශේෂ මතයක හිටියේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ එළියට ආවේ අපව රැකගන්න, අපට ආරක්ෂාව දෙන නායකයකු අවශ්‍ය බවට වූ කතාවක්. ඒකට වග වෙන්නේ කවුද කියන එකයි ජනතාව සොයා බැලුවෙ. ඒ ජනතා අවශ්‍යතාවට සරිලන දේ අපෙන් නිසි පරිදි ඉටු වුණේ නැහැ. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහතා ජය ගන්නට නොහැකි වුණේ.
එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටේ සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය ඒ සඳහා බලපෑවේ නැද්ද?
පැහැදිලිවම බලපෑවා, සම්පත් විකුණන, ජාතිකත්වය මඟහැර යන විජාතික බලවේග හා සම්බන්ධ පක්ෂයක් ලෙස ඇති හංවඩුව විශාල ගැටලුවක් තමයි. ඒ කරුණු තදබල ලෙස බලපෑවා. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීන්දු-තීරණ ගැන මටත් පුදුමයි! මම පක්ෂයේ හිටියා නම් ඒ ගැන විරුද්ධ වෙනවා.
දැන් බලන්න ඡන්ද ව්‍යාපාරය අතරතුරදී ගෑස් හිඟයක් ආවා. ආණ්ඩුවට බැරි වුණා සතියකට වැඩි කාලයක් ගෑස් ටික දෙන්න. ගෝඨාභය මහතාගේ මැතිවරණ වේදිකාවේ කථිකයො කිව්වෙ ගෑස් දෙන්න බැරි ආණ්ඩුව මොකටද කියලා. ඒ දුර්වලතාව ආණ්ඩුවට හදාගන්න බැරි වුණා. අනිත් එක වංචා දූෂණ නැති කරන්න කියලා ආපු ආණ්ඩුව විසින්ම හොරකම් කරනවා කියලා මතයක් ගියා. ඒ සියල්ල අපට බලපෑවා.
ඒත් පක්ෂ නායකත්වය ලබාගන්න බැරි සජිත්ට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් වෙන්නෙ කොහොමද කියල ශ්‍රී රංගා මහතා පැවසුවා..
ඒ කතාව එක පැත්තකින් හරි. නායකත්වය බලෙන් ලබාගන්නවට වඩා හොඳයි ප්රජාතන්ත්රවාදයට ගරු කර නායකත්වය බාර දීම. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණා. එතුමා නියෝජ්‍ය නායකකමෙන් පවා ඉල්ලා අස් වුණා. මේ අවස්ථාවේ රනිල් මහතාට යුතුකමක් තිබෙනවා දෙවැනියාට නායකත්වය දී පක්ෂය ගොඩ ගන්න උදවු දෙන්න.
යම් හෙයකින් ඔබට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්, එහෙමත් නැත් නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇරියුමක් ලැබුණොත් ඔබ ගන්නා තීරණය කුමක්ද?
මම තවමත් දේශපාලන වශයෙන් නිදහස් පුරවැසියෙක්.