
එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයෙන් මෙතරම් විශාල පරාජයක් ලැබීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?
පාස්කු බෝම්බ ප්‍රහාරයේ පසු එජාපය ප්‍රමුඛ රජයට ජනතාවගෙන් විශාල චෝදනාවක් ආවා. පිරිසකගේ අදහස වුණේ මේ ජනාධිපතිවරණයට පක්ෂයේ ජනප්‍රියම චරිතය ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුවයි සජිත් ජනපතිවරණයට ඉදිරිපත් කළේ. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ යෝජනාව ඒකමතිකව සම්මත කළා. මාත් විශ්වාස කළා අපිට දුප්පත් ජනතාවගේත්, මධ්‍යස්ථ ජනතාවගේත් ඡන්දය විශාල ලෙස ලබාගත හැකි වේවි කියලා.
අපේ රජයේ මුදල් අමාත්‍යාංශයේ තිබූ යම් යම් අඩුපාඩු ඒ වගේම තීරණ ගැනීමට ප්‍රමාද වීම, බදු ප්‍රතිපත්තිය ආදිය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රසාදයක් තිබුණේ නෑ. විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව හිතුවා එජාප රජයක් මඟින් මුදල් සංසරණය වැඩිවී ඔවුන්ගේ ව්‍යාපාර දියුණුකර ගැනීමට අවස්ථාව ලැබෙයි කියා. එයත් කිරීමට අපි අපොහොසත් වුණා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය නියමිත වෙලාවට ජනතාව අතරට ගෙනියන්න නොහැකි වුණා. ප්‍රතිපත්ති ප්රකාශනය ලැබුණේ අවසන් මොහොතේ. අපේ සමහර ඇමැතිවරුන් සංඝයා වහන්සේට ගරුසරුවක් නැතිව කතාකළ එකත් පරාජයට හේතුවක්.
සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයේදී අපේ රජය සිදු කළ සංවර්ධන වැඩ ජනතාව අතරට ගෙනගොස් ඒත්තු ගන්වන්න කටයුතු කළේ නෑ.
ඔබ අදහස් කරන්නේ එජාප රජය සිදු කළ කවර සංවර්ධන වැඩ පිළිබඳද?
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට, අපනයන ආදායම වැඩි කිරීම, ජී.එස්.පී බදු සහනය ලබාගැනීමට යුරෝපයට අපනයනය කිරීමට තහනම් කර තිබූ මාළු තහනම ඉවත්කර නව වෙළෙඳපොළවල් ලබාගැනීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපි විප්ලවයක් කළා. පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව බෙහෙත් ලබාදුන්නා. අත්‍යාවශ්‍ය බෙහෙත් පමණක් නොවේ මිල අධික බෙහෙත්වල පවා මිල අඩු කළා. ස්ටෙන්ත් අක්ෂි කාච නොමිලේ ලබා දුන්නා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුරක්ෂා රක්ෂණය ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, ටැබ්යන්ත්‍ර පාසල් සිසුන්ට ලබාදීමේ ව්‍යාපෘතිය, සමෘද්ධිය ලබාදීම, වසර විසි එකකට පසු අලුතින් ලක්ෂ අටකට සමෘද්ධිය ලබාදීමට මුදල් වෙන් කරගෙන ඉන් ලක්ෂ පහමාරකට පළමු අදියරේදී සමෘද්ධිය ලබාදුන්නා. ඉතිරි ලක්ෂ තුනහමාරකට සමෘද්ධිය ලබාදීමට අනුමත කළා. ඒත් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ රජය කළ මෙවැනි සුවිසල් වැඩසටහන් ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබුණේ නෑ.
පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර මහ බැංකුව වංචාව සිදු වුණා. ක්ලීන් මෑන් කියා රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ අන්වර්ත නාමය එමඟින් නැතිවී ගියා නේද?
මහ බැංකු බැදුම්කර වංචාව අර්ජුන ඇලෝසියස් කරගෙන ආපු ව්‍යාපාරයක්. ඒක අපේ රජය යටතේ ඔහුගේ මාමණ්ඩිය මහබැංකුවට පත්වීම තුළ මහ පරිමාණයෙන් සිදු වුණා. හැබැයි ඒ මුදල් ඔහුට ලබාගන්න බැරි විදියට රජය කටයුතු කළා. ඒ වංචා වූ බිලියන දහයක මුදල රජය යටෙත් තමයි තියෙන්නේ. මේ මැතිවරණයේදී සජිත්ගේ පරාජයට මහ බැංකු බැදුම්කර වංචාව හේතුවක් කියා අපිට කියන්න බෑ. සජිත් ප්‍රේමදාස මහතා ඉදිිපත් කරන්න ප්‍රධාන හේතුව විදියට දැක්කේ දුප්පත් ජනතාවගේ ඡන්දය කෙරෙහි ඔහුට ආකර්ෂණයක් තිබේවි යැයි බොහෝ දෙනෙකු සැලකීම.
රනිල් හිතවාදි පිරිස් සජිත්ට ඕලෙවල් නෑ ආදි කරන ලද විවිධ ප්‍රකාශ මැතිවරණයේදී එජාප අපේක්ෂකයාටම හානිකර ලෙස බලෑවේ නැතිද?
පක්ෂයක් හැටියට අපි එකමුතුව මේ මැතිවරණයට මුහුණ දුන්නා. ඒ නිසා සජිත්ට අපේ සමහරුන් කළ ප්‍රකාශම පරාජයට හේතු ලෙස සලකන්න අමාරුයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වූ නිසා ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයත්, මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි අපේ සමහරුන් කීමත් ගරු කටයුතු සංඝයා වහන්සේලාගේ හිත් දිනා ගැනීමට කටයුතු නොකිරීමත් තමයි පරාජයට හේතුව ලෙස මා දකින්නේ. හැබැයි කරු ජයසූරිය මහතා ඡන්දයට ඉදිරිපත් වුණා නම් සංඝයා වහන්සේලාගේ හා ව්‍යාපාරිකයන්ගේ ඒ ගැටලුව වෙනස් කරන්න තිබුණා.
මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කියපු අයට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලැබෙයිද?
ඔවුන්ට නාම යෝජනා දීම ගැන පක්ෂය තීරණයක් ගන්න ඕනෑ. ජනතාව ජාතියේ මුර දේවතාව හැටියට සලකන්නේ සංඝයා වහන්සේලා. ඒ විශ්වාසය සුරකින්න අපි කටයුතු කරන්න ඕනෑ. මේ රට සිංහල රටක් කියන එක තුළ ජීවත් වන සුළු ජාතීන් පවා පිළිගෙන තියෙනවා.
අපේ සමහරුන් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද බලය අවතක්සේරු කළා. දැන් සිංහල බෞද්ධ ජනතාවගේ වැඩි බලයකින් ජනපතිවරයෙක් පත් වී සිටිනවා. සිංහල බෞද්ධ ජනතාවගේ බලය මේ මැතිවරණයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා සංඝයා වහන්සේට අපහාස කරපු අය මහා සංඝ රත්නයෙන් සමාව ගත යුතුයි.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දුන්නත් පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ ජනවාරි 3. පාර්ලිමේන්තුවේදි නිවේදනය නොකර විපක්ෂ නායක ධුරය නීත්‍යානුකූල වන්නේ නෑ. එහෙම නම් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ලෙස කටයුතු කිරීමට කාලයක් හෝ ඉඩක් තිබෙනවාද?
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු වරප්‍රසාද සියල්ලක් ම ලැබෙනවා.
ඔහුට ලැබිය යුතු වගකීම්?
පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවිට සජිත්ට ලැබෙන වගකීම් නොඅඩුව ලැබෙයි. සජිත් ප්‍රේමදාස මහතාට අපි විපක්ෂ නායක ලෙස නම් කර තිබෙනවා. කතානායකවරයා එය පිළිගෙන තිබෙනවා. වෙන රටක රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණියොත් විපක්ෂ නායකවරයා ලෙස ඒ රාජ්‍ය නායකයා හමුවන්නේ සජිත් ප්‍රේමදාස මහතායි.
ජනවාරි මස 3 පාර්ලිමේන්තුව රැස් වූ විට පළමුව තියෙන්නේ රාජාසනයේ කතාව. ඉන් පසුව අවශ්‍ය නම් ජනපතිවරයාට පාර්ලිමේන්තුව යළිත් වරක් කල් තැබීමට හැකියාව තිබෙනවා නේද?
රජය සිදු කළ බදු සංශෝධන මුදල් කටයුතු ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාවත් පාර්ලිමේන්තුව නොසලකා කටයුතු කරයි කියලා කිසි දිනක හිතන්නේ නෑ.
ජනපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව දෙවතාවක් කල් දැමිය හැකියි. එය නිත්‍යානුකූලයි නේද?
ඔව්! කල් දාන්න පුළුවන්. ඒත් මේ රට ඊළඟ මැතිවරණය දක්වා ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. එහෙම කල් දාන්න ඕනෑ මේ ආණ්ඩුව අපේ සහාය නැතිනම් පමණයි. මේ මාස කීපයට අපිට බහුතරය තිබුණත් අපි ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙන්නේ නෑ. ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේ සහාය ලැබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව යළිත් කල් දැමීමේ අවශ්‍යතාවක් නෑ.
ජනපතිවරණයේදී එජාපයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලෙන් ඇද්දා කියලත් චෝදනාවක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
ඒ ප්‍රකාශය මා විශ්වාස කරන්නේ නෑ, මේ මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත්ගේ කකුලෙන් කවුරුවත් ඇද්දේ නෑ. අපි කවුරුත් එකට එක්ව වැඩ කළා. කාටත් ඕනෑ වුණේ දිනාගත් දේ රැක ගන්නයි. උපරිමයෙන් ම හැමෝම වැඩ කළා.
ඔබේ ආසනයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය බෝතල් පත්තර කඩයකට විකුණා තිබියදී හමුවුණා. ඔබේ ලේකම්වරයකු එය කළ බවයි කියන්නේ. මෙතැනදි මොකක්ද සිදු වුණේ.
මම රූපවාහිනියෙන් දැක්කා එවැන්නක් පෙන්නනවා. මා ඒ ගැන සොයා බැලුවා. ඒක වෙලා තියෙන්නේ මැතිවරණයෙන් පසුව කාර්යාලය අස් කරන විට ඉතිරිව තිබූ පත්‍රිකා කොටසක් විකුණලා තියනවා. සේවකයන් හතර දෙනෙක් එය කරලා තියෙන්නේ. එතැන සජිත්ගේ දෙමළ ප්‍රතිපත්ති ප්‍රකාශන සුළු ප්‍රමාණයක් තිබිලා තියනවා. ඒ විතරක් නෙවේ මගේ පෝස්ටර් ඇතුළු තවත් පෝස්ටර් රැසක් එතැන තිබිලා තියනවා. අපිට ලැබෙන පත්‍රිකා සියයට සීයක් ම බෙදන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. සුළු ප්‍රමාණයක් හරි ඉතිරි වෙනවා. හැබැයි මේවා අපි බෝතල් පත්තර කඩවලට යවන්නේ නෑ. අපේ ගබඩාවලට තමයි යවන්නේ. ඒ සේවකයන් කරපු වැඩෙන් මට ලොකු අපවාදයක් ඇති වුණා. මේක මට මඩගහන්න විකාශනය කළ ප්‍රවෘත්තියක්.
ඔබ නියෝජනය කරන අම්පාර ආසනය ඔබ වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාදයි ඇයි එහෙම වුණේ.
අම්පාර අපි 1977න් පසුව ජයග්‍රහණය කර නෑ. නමුත් දිගාමඬුල්ල දිස්ත්‍රික්කය දිනා දීමට මා කටයුතු කළා. 2015 මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණේ වැඩි ඡන්ද එක්ලක්ෂ දාහතර දාහයි. මෙවර සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද එක්ලක්ෂ විසි නවදාහකින් අම්පාර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එදාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මා පක්ෂයට අරන් දී තිබෙනවා. ඒ විතරක් නෙවේ මා මඩකලපුව දිස්ත්‍රික්කයේත් මැතිවරණ කටයුතු සොයා බැලුවා. ඒ සඳහාත් වෙහෙස මහන්සි වුණා.
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණදීමට එජාපයේ සූදානම කෙබඳුද?
සන්ධානයක් නිර්මාණය කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ අපි එකමුතුව කටයුතු කළොත් ඉදිරි මහ මැතිවරණයේදී ආසන 113ක් ලබාගනිමින් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්.