
ජනපතිවරණ උණුසුම රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන මොහොතක ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෝ රට ගොඩනැඟීමේ සිය සැලසුම් හා යෝජනා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරවලදී ප්‍රකාශ කරති. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රටේ ඉදිරි ගමන පිළිබඳ සිය සැලසුම් මඟින් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, සමාජ සුබ සාධනය, අධ්‍යාපනය ආදි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි ලබාදීමට අපේක්ෂිත අවධානය පිළිබඳ ඔහුගේ ප්‍රකාශයන් පහත පරිදි වේ.
මෙරට ආර්ථිකයේ ප්‍රධානම බලවේගය වන කෘෂිකර්මාන්තය පිළිබඳ 22 වැනිදා පන්නල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, වී වගාව මෙන්ම අනෙක් සියලු වගා සඳහා නොමිලේ පොහොර සහනාධාරය ලබාදෙන බව හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කරන බවයි.
ආර්ථිකයේ ප්‍රධාන බලවේග වන සංචාරක කර්මාන්තය කෙරෙහි සජිත් ප්‍රේමදාස මහතා සුවිශේෂ සැලසුම් යෝජනා කරයි.
සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම කෙරෙහි ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව ඔහු පවසා සිටියේ පුත්තලමේ පැවති ජන රැලියකදීයි. පුත්තලම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය විධිමත් කිරීමට පියවර ගන්නා බවත්, සංචාරක කර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තයටද අනුග්‍රහය ලබාදෙන අතර ධීවර කර්මාන්තය සඳහාද ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි සිය අවධානය ලබාදීමේදී තාක්ෂණික දියුණුව අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහි ඵලදායී ලෙස යොදාගන්නා බව පසුගියදා දැරණියගල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී ඔහු පවසා සිටි අතර එකී සැලසුම් පිළිබඳව ඔහු ප්‍රකාශ කර සිටියේ තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනයට සරිලන අයුරින් පරිගණක භාවිතය හා ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි ක්‍රමවේද ස්ථාපිත කරන බවයි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනු ලැබුවේ තරුණ පරපුර කෙරෙහි රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පරිගණක තාක්ෂණ දැනුම හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අවකාශය සලසා දෙන බවයි. එහිලා ඉදිරි පියවරක් වශයෙන් මුළු රටම ආවරණය වන පරිදි තාක්ෂණික විද්‍යාල බිහි කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල්, විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දැක්මෙහි මුල් තැනක වෙයි. ත්‍රිවිධ හමුදාවට විශේෂ පුහුණුවක් ලබාදීමටත් ත්රස්තවාදයට ශක්තිමත්ව මුහුණ දීමට ආරක්ෂක අංශ විධිමත් කිරීමටත් පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. අකුරණ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හා ආගම්වාදයට රුකුල් සපයන පුද්ගලයන් සඳහා තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන බවයි.
එලෙසම මාධ්‍යකරණය හා මාධ්‍යවේදීන් සඳහාද විධිමත් ලෙස නිදහස් මාධ්‍ය පරිසරයක් මෙන්ම ආරක්ෂා සහිත වටපිටාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවද ඔහු තම මැතිවරණ ව්‍යාපාරයේදී කියා සිටියේය. කොළඹ පදනම් ආයතනයේ පැවති ‘ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ සංවිධානයේ හමුවකට එක් වෙමින් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය කෙරෙහි තමා අවධානය යොමු කරන බවයි.
වතු කම්කරුවන් කෙරෙහිද විශේෂ අවධානයක් ලබාදීමට තමන් කටයුතු කරන බව හැටන් ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය. විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී සඳහන් කළේය. කසළ ප්‍රශ්නය සඳහාද විධිමත් විසඳුම් සමඟ පරිසර හිතකාමීත්වයට වැඩි අවධානයක් යොමු කිරීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රේමදාස මහතා පසුගිය සතියේදී ප්‍රකාශ කළේ එය මෙරට බරපතළ ප්රශ්නයක්ව පවතින බැවිනි.
කාන්තාවන් සමඟ එළැඹි සමාජ ගිවිසුම
ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිකුරාදා රාත්‍රිය වන විට මැතිවරණ කොට්ඨාස මට්ටමේ මහජන රැලි 49ක් අමතා තිබිණි. විවිධ වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් සංවිධානය කළ සාකච්ඡා, සම්මන්ත්රණ ගණනාවකටද සහභාගි විය.
මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදකයන් බත්තරමුල්ල ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ සංවිධානය කර තිබූ සාකච්ඡා වාරයේදී පැමිණ සිටි පිරිසගෙන් අසන්නට ලැබුණු අපූරු පුවතක් වූයේ ඉකුත් වසර කීපයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරුන් ලෙස පත් වී ආ කිසිවකු වැඩි කලක් ඒ ධුරයේ රැඳී නොසිට ඉවත්ව ගිය බවයි. සජිත් කීවේ තමන් ජනාධිපති ධුරයට පත් වූ පසුව අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමට විෂය කරුණු දත් සුදුසු පුද්ගලෙකුගේ නම තමන් වෙත යෝජනා කරන ලෙසයි.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ප්රඥප්තියක් සැකසීම සඳහා වන සම්මුති ගිවිසුමකට එළැඹීමේ උත්සවයට කාන්තාවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අවස්ථාවට හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස මහත්මීහුද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකාවන් වන තලතා අතුකෝරළ, චන්ද්‍රාණි බණ්ඩාර, අනෝමා ගමගේ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.
කාන්තාවන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න මීට පෙර කිසිවකු ඉදිරිපත් වී නැතැයි රෝසි කියද්දී සජිත් කීවේ “සමාජ ගිවිසුම පාර්ලිමේන්තුවේදී නීතිගත කරන්න මුළු රටේම කාන්තාවන්ගේ ශක්තිය ලබාගන්නවා. ඒ අයගේ සිතුවිලි ක්‍රියාවට නංවනවා” කියාය.