
එක්සත් සමාජවාදි පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසන්නේ ප්‍රධාන පක්ෂ දෙකම තම අරමුණු සපුරාගැනීම වෙනුවෙන් ව්‍යාජ අපේක්ෂකයන් රැසක් යොදවා ඇති බවයි. මේ, සන්ඩේ ඔබ්සවර් පුවත්පත සමඟ ඔහු කළ සාකච්ඡාවක අනුවාදයකි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් තරග වදිනවා. ඔබට මෙසේ තරග වැදීමට උනන්දුවක් ඇති කළ හේතුව කුමක්ද?
අප මුලින්ම ජනාධිපතිවරණයකට තරග වැදුණේ 2005දී. පවතින පක්ෂ රටේ සංවර්ධනයට කිසිවක් නොකරන බවත්, සංවර්ධනය සදහා රටට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති ධූරයට තරග වැදිය යුතු බවත් අපේ පක්ෂය තීරණය කළා.
මේ පක්ෂ මතුපිටින් මොන ආකාරයේ වෙනස්කම් පෙන්නුම් කළත් අභ්‍යන්තරයේ ඇත්තේ එකම ප්‍රතිපත්ති පමණයි. මේ සියලු පක්ෂ නියෝ-ලිබරල් විවෘත ආර්ථික ප්‍රතිපත්ති තමයි ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා විකල්පයක් වීමට කල්පනා කරලා තමයි 2005දී අපි තීරණයක් ගත්තේ.
ජනාධිපති ධුරය හිමි කරගැනීම ඔබ වැනි පක්ෂයකට අපහසුයි. ඔබගේ සැබෑ ඉලක්කය කුමක්ද?
මේ රට වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍යයැයි අප විශ්වාස කරනවා. ඒත් අප තරග කරන්නේ සමාන අයිතිවාසිකම් ඇති තරග බිමක නොවෙයි. අපේ පණිවිඩය පහසුවෙන් ප්‍රසිද්ධ වන්නේ නැහැ. අපේ මතවාදයට බහුතරය කැමැති වුණත් අපේ හඬ ඇසෙන්නේ මුළු ඡන්දදායකයන්ගෙන් 10%කට විතරයි. ඒත් අප විශ්වාස කරනවා අප ඔවුන්ව දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කළොත් ඔවුන් ටිකෙන් ටික කරුණු අවබෝධ කරගනීවි කියලා.
ඔබගේ ප්‍රමුඛතා මොනවාද?
අප විශ්වාස කරනවා වසර 72ක් තිස්සේ මෙරට පවතින ජාතික ප්‍රශ්නය සදහටම විසඳිය යුතුයි කියලා. අපට වසර 30ක යුද්ධයක් පැවතුණා. කාලයෙන් කාලයට එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, ලසසප තනිවම හෝ සන්ධානගතව රටේ පාලනයට හවුල් වී තිබෙනවා. ඒ කිසිවකුවත් වසර ගණනාවක් පැරණි මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. මේ දක්ෂිණාංශික පක්ෂ හෝ ඔවුන්ගේ සමකාලීනයන්ට ජාතික ප්‍රශ්නය විසඳීමට නොහැකියි.
අප නියෝජනය කරන්නේ වම, වැඩ කරන පන්තිය සහ බිම් මට්ටමයි. අපට ඔවුන්ගේ ප්‍රශ්න, බලාපොරොත්තු සහ අවශ්‍යතා හොඳට වැටහෙනවා. අප විශ්වාස කරනවා දෙමළ ජනතාවට මේ ප්‍රශ්නය විසඳාගැනීමට දේශීය විසඳුමක් දිය යුතුයි කියලා.
ඔබ කියන්නේ ඔවුන්ට ස්වයංපාලනය දිය යුතුයි කියලාද?
එක්ව ජීවත් වනවාද වෙන්ව ජීවත් වනවාද කියන-එක තීරණය කළ යුත්තේ ඔවුන් විසින්මයි. සිංහල සහ දෙමළ ජනතාව අතර හිඩැස පිරවීමයි අප කළ යුත්තේ.
අනෙක් වැදගත් කාරණය ණය ආපසු ගෙවීමයි. ඒ වගේම ශ්‍රී ලංකාව බැඳ-දමා තිබෙන අධිරාජ්‍යවාදී බැමිවලින් ලිහා දැමීමයි. අප තවමත් නිදහස් වෙලා නැහැ.
මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ ස්වරූපයෙන් අප ණය උගුලකට හිර කර තිබෙනවා. අප ජනතා පරමාධිපත්‍යය නැවත ඇති කළ යුතුයි. ගොවීන්ව ණය උගුලෙන් මුදාගෙන ඔවුන්ට රටේ නිෂ්පාදන කාර්යයේ නිරත වීමට පහසුකම් සලසා දිය යුතුයි. පසුගිය ආණ්ඩු සියල්ල සිදු කළ වැරැදිවලට පිළියම් සහිත යෝජනා අප සතුව පවතිනවා.
ඔබගේ දේශපාලන පසුබිම කුමක්ද?
ලංකා සමසමාජ පක්ෂයෙන් මා දේශපාලන වැඩ පටන්ගත්තේ 1964දී. ඒ පක්ෂය එවකට ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට සහාය පළ කළ විට අප එයින් ඉවත් වුණා. 1979දී නව සමසමාජ පක්ෂය බිහි කිරීමට මගේ දායකත්වයත් දුන්නා. මා වාසුදේව නානායක්කාර සහ වික්‍රමබාහු කරුණාරත්න සමඟ වැඩ කළා. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කර ඉන්දීය සාම සාධක හමුදාව සම්බන්ධ ප්රශ්නයේදී ඇති වූ මතභේදය මත මා ඒ පක්ෂයෙන් ඉවත් වුණා. 1989දී මා එක්සත් සමාජවාදී පක්ෂය ආරම්භ කළා. මේ වන විට මා වසර 50කට වඩා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටිනවා. 1975 සිට වෙනත් රැකියාවක් නොකර පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වනවා. දේශපාලනය මට අර්ධකාලීන රැකියාවක් නොවෙයි.
ඔබගේ ඡන්ද පදනම කුමක්ද? 2005 සිට මේ වන විට එය වැඩි වී තිබෙනවාද?
2005දී අපට 40,000ක ඡන්ද පදනමක් ලැබුණා. අපට සමහර විට මිනිසුන්ගේ බලාපොරොත්තු සපුරන්න බැරි වෙන්න ඇති. එදා සිට අපට ලැබුණේ අඩු ඡන්ද ප්‍රමාණයක්. මෙයට හේතුව අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් සිටීම විය හැකියි. මේ නිසා ජනාධිපතිවරණය බොහෝ දෙනකුට විහිළුවක් වී තිබෙනවා. අපගේ පුංචි රටට ජනාධිපතිවරණ අපේක්ෂකයන් 35ක් මොකටද? මේ අපේක්ෂකයන් වැඩි දෙනා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පඹයන්. එවැනි අපේක්ෂකයන් 20කට වැඩි ප්‍රමාණයක් සිටින නිසා අවුල් ජාලයක් හැදී තිබෙනවා.
මෙය මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙත පැවැරෙන අනවශ්‍ය බරක් වන අතර රටේ බදු ගෙවන්නන්ගේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කිරීමක්ද වනවා. අනෙක් අතට අප වැනි සැබෑ අරමුණු තිබෙන පක්ෂවලට ඇති අවස්ථා අහිමි කිරීමක්ද වනවා.
ජනාධිපතිවරණ ගණනාවට මුහුණ දී හොඳින් පදම් වූ දේශපාලනඥයකු වශයෙන් මේ වෙලාවේ බමරය කරකැවෙන දිශාව ගැන හිතන විට ඡන්ද දායකයාගේ බලාපොරොත්තුව කුමක් කියාද ඔබ විශ්වාස කරන්නේ?
මේ මැතිවරණය ඉතා තීරණාත්මකයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැනම ඡන්දදායකයා කලකිරීමෙනුයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ගෙදර යැවිය යුතුයැයි ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා විකල්ප අපේක්ෂකයකුට හොඳ ඉඩක් ඇති වී තිබෙනවා.
දෙවන පෙළ නායකත්වයක් ගොඩනැඟී නැතැයි යන්න වමේ පක්ෂවලට එල්ල වන දැඩි චෝදනාවක...
ඔව්. ඒ චෝදනාව තිබෙනවා. වමේ ව්‍යාපාරය තුළ දෙවැනි පෙළ නායකත්වයක් ගොඩනැඟීමට ඉඩක් ඇහිරී තිබෙනවා. ඒත් අපේ පක්ෂය ගැන කල්පනා කළොත් ඒ විවේචනය සාධාරණ නැහැ. අපගේ දෙවැනි පෙළ සමන්විත වී ඇත්තේ නීතිඥවරුන්, වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන්. එහි කාන්තාවන් පවා සිටිනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසියම් ප්‍රධාන අපේක්ෂකයකුට ඔබ සහාය දක්වනවාද?
නැහැ. අප ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. අඩුම ගානේ වක්‍රාකාරයෙන් වත් අප කිසිවකුටත් සහාය දෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ චුදිතයෙක්. ඔහුට විරුද්ධව නඩු රැසක්ම පවතිනවා. ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී පැහැරගෙන-යෑම් සහ ඝාතන සිදු කිරීම ගැන ඔහුට විරුද්ධව චෝදනා නැඟී පවතිනවා.
ඒ එක්කම ඔහු ධුරයට පත්වූ පසු සියලු පරිපාලන නිලතලවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඔහුගේ අරමුණ රටේ අර්ධ-මිලිටරි ආණ්ඩුවක් පිහිටුවීමයි.
මා දන්නවා ඇතැම් වමේ පක්ෂ ඔහුගේ අපේක්ෂකත්වය වෙනුවෙන් සහාය පළ කර තිබෙන බව. එය ඇත්තෙන්ම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදු කරන උපක්‍රමයක් බවයි මට පෙනෙන්නේ. අනෙක් අතට වාර්ගික පදනමකින් කටයුතු කරන කෙනකුට ඔවුන් සහාය දෙන්නේ කෙසේදැයි මට හිතාගන්න බැහැ.
අනෙක් අතට සජිත් ප්‍රේමදාසට රට ගැන නිසි දැක්මක් නැහැ. ඔහු මේ ආණ්ඩුවේ නියෝ-ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලම කොටසක්. ඔහු තම පක්ෂයේ දේශපාලන දර්ශනයේ ගොදුරක් වී සිටිනවා.
ඒ නිසා ඡන්දදායකයන්ට ඔහු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුවක් ඇතැයි මට පෙනෙන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා දකුණේ මෙන්ම උතුරේත් හැම දෙනාගේම අභිලාෂයන් නියෝජනය කරන අයකු විය යුතුයැයි අප දකින අතර, බොහෝ අපේක්ෂකයන් සිංහල-බෞද්ධ ඡන්ද පමණක් ලබාගැනීම කෙරෙහි උනන්දු වෙනවා.
ඔබට අරමුදල් සැපයෙන මාර්ග මොනවාද?
අපි විගණනය කළ ගිණුම් වාර්තාවක් සෑම වාර්ෂික සම්මේලනයකදීම ඉදිරිපත් කරනවා. අපගේ ප්‍රධානතම අරමුදල් සැපැයුම් මාර්ගය වන්නේ සාමාජික මුදල්. මුදල් ගනුදෙනුවලදී අප ඉතා විවෘතව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරනවා. 2019 ජනාධිපතිවරණය සඳහා අප විශේෂ ගිණුමක් විවෘත කර තිබෙනවා. අපගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය රු. ලක්ෂ 5කට සීමා කර තිබෙනවා. ඒත් අපගේ විරුද්ධවාදීන් එක රැලියකට රු. මිලියන 5ක් වියදම් කරන බව අප දන්නවා. නාගානන්ද මහතාගේ සිද්ධිය මේ ගැන ඇස් අරවන්න කාරණයක්.
ජවිපෙ අපේක්ෂකයා මෙවර හොඳ බලපෑමක් කරනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද?
ජවිපෙ දැන් ලසසපය සහ කොමියුනිස්ට් පක්ෂයට සමානයි. පසුගිය වසර 25 තිස්සේ ඔවුන් එක් එක් පක්ෂයට බලයට පැමිණීමට උදවු කළා. 1994දී චන්ද්‍රිකා කුමාරතුංගට, 2005දී මහින්ද රාජපක්ෂට, 2010දී සරත් ෆොන්සේකාට සහ 2015දී මෛත්‍රීපාල සිරිසේනට ඔවුන් උදවු කළා. ඔවුන් දින 100 වැඩසටහනේ කොටස්කරුවන්ද වුණා.
ඔවුන් සමාජවාදය අත්හැර ගිහින් ඉවරයි; පන්ති සටන අත්හැර ඉවරයි. ඔවුන් කරන්නේ ධනවාදී පක්ෂවලට සහාය වීමයි. ඔවුන් තවදුරටත් වම නියෝජනය කරන්නේ නැහැ.