
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනක කිව්වා ජනතා විමුක්ති පෙරමුණ හා එක්වන්නට පවා ඔවුන්ට හැකි බවට. එවැනි සාකච්ඡාවක් පවත්වා තිබෙනවාද? එහෙම එකතු වීමක් වෙන්න පුළුවන්ද?
නැහැ. අප කිසිම සාකච්ඡාවක් පවත්වා හෝ එවැනි අදහසක් ගැන හෝ දන්නේ නැහැ. නිල වශයෙන් එවැනි ආරාධනාවක් ලැබුණොත් පමණයි එවන් කරුණක් ගැන අදහස් දක්වන්න හැකියාව තිබෙන්නේ. ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දිනවන්න ප්‍රතිපත්තිමය වශයෙන් යම් පක්ෂයක් සහාය දක්වනවා නම්, ඒ සම්බන්ධව සලකා බලන්න පුළුවන්.
යම් ප්‍රධාන පක්ෂයක් ආවොත් ඔබ පක්ෂයත් එක්ක සන්ධානගත වීමට, මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ හා සම්බන්ධ වෙනවාද?
අප මෙවර ජනාධිපතිවරණයට තරග වදින්නේ සංවිධාන 28ක සාමාජිකයන් එකතු කරගෙනයි. යම් පක්ෂයක් අප හා සම්බන්ධ වනවා නම් අප ඒ ගැන අදහස් දැක්විය යුත්තේ ජාතික ජන බලවේගය හා සම්බන්ධ වෙමිනුයි. එහෙත් අපට නම් මේ අවස්ථාවේ එවන් ප්‍රායෝගික තත්ත්වයක් දකින්න නැහැ. ඇතැම් විට ඒ ඒ පක්ෂ ඇතුළේ පවත්නා අර්බුද නිසා මෙවන් ප්‍රකාශ කරනවා වන්න පුළුවන්.
විමල් වීරවංශ මහතා පවසා තිබුණා කලින් ආණ්ඩුව කාලේ ‘රතු අලි පැටවුන්’ අධිවේගි මාර්ගවලට ගිය වියදම් අඩියෙන් අඩිය ගණන් බලා විවේචනය කළ බවත්, දැන් ඒ වගේ තුන් ගුණයක් යන වියදම් ගැන කතා නැති බවත්...
ඔය එක එක අයගේ කතා ගැන හොයන්න අපට වෙලාවක් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඉන්නෙ 3 වැනි
බලවේගය ලෙසින්. ඉහළට එන බවක් පේන්න නැහැ නේද?
ඇස් කන් තියෙන අයට පහුගිය අගෝස්තු 18 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉන්න තැන බලා ගන්න තිබුණා ගාලු මුවදොර දෙස බැලුවා නම්. රටට ආදරේ දේශපාලන එකමුතුවකට ඇති කැමැත්ත අපට එදා බලාගන්න පුළුවන් වුණා. ජනතාව හැරී ඇත්තේ කොතැනටද කියා අපට එහිදී දැකගත හැකි වුණා.
ඔබ එහෙම කිව්වත්, ජනතා විමුක්ති පෙරමුණට දැන් ඇත්තේ පාර්ලිමේන්තු ආසන 6යි, කලින් තිබුණට වඩා අඩු වෙලා නෙ?
දේශපාලනයේදී වරින් වර වෙනස් වීම් සිදු වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වරක් ආසන 8යි තිබුණේ. තවත් විටෙක එක්සත් ජාතික පක්ෂයට ආසන 7යි හිමි වුණේ. ඒක දේශපාලනයේ ස්වභාවය. අප අතීතය ගැන කතා කර වැඩක් නැහැ, අනාගතය ගැනයි බලන්න වෙන්නේ.
පක්ෂය ඉදිරියට ගෙන යන්න මොනවාද ගෙන තිබෙන පියවර?
අප ජනාධිපතිවරණයේදී පෙන්වන්නම් අපේ ගමන්මඟේ ඉදිරි ගමන ගැන. දැවැන්ත විකල්ප කඳවුරක් තමයි අප ගොඩනඟමින් ඉන්නේ. ජනතාව තේරුම් ගනීවි ඔවුන් රැඳී සිටිය යුත්තේ කා සමඟද යන වග.
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති බලය හීන වෙලාද? ඒ බවට ඇතැම් පක්ෂවලින් අදහස් පළ වනවා.
මොන පදනමකින් කවුරු කියනවාද දන්නෙ නැහැ. එහෙත් අපේ වෘත්තීය සමිති බලය එන්න එන්නම වැඩි වෙනවා. පසුගිය දිනවල ඉතා සාර්ථක ගුරු වැඩවර්ජනයක් ගෙන ගියා අපේ වෘත්තීය සමිති මඟින්. රාජ්‍ය අංශයේ ශක්තිමත්ම වෘත්තීය සමිති බලය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සතුවයි. ලබන 12 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට ආවොත් බලාගන්න පුළුවන් ඒ ශක්තිය ගැන.
ඔබ පක්ෂයට බලය ලැබුණොත් විධායක ජනාධිපතිවරණය අහෝසි කරනවද?
අපේ අපේක්ෂාව වන්නේ මේ රටට අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමයි. ඒ පාර්ලිමේන්තුව මඟින් රට ගොඩගැනීමට අදාළ වැඩපිළිවෙළ සකස් කිරීම කළ යුතු වෙනවා. ඒ අනුව රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, ජාතික සමඟිය ස්ථාපිත කිරීම, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඇතුළු ප්‍රධාන කරුණු 10ක් යටතේ කටයුතු කළ යුතු වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් ඒ අතර වනවා. ජනාධිපතිවරණයෙන් පසු පත් වන ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
යම් විධියකින් අනෙක් පක්ෂ සහාය නොදුන්නොත් ඔබ පක්ෂය කොහොමද එය අහෝසි කරන්නෙ?
අනාගතය ගැන දැන්ම කියන්න බැහැ නෙ. ඒක අනාගතයට බාර කරමු.
සැප්තැම්ර් 12 වැනිදා කොළඹදී සිදු කරන්න යන
වැඩපිළිවෙළ ගැන විස්තරයක් කළොත්...
එදින තමයි අනුර කුමාර මහතා වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දැවැන්ත සමුළුවක් පවත්වන්නේ. වැඩ කරන ජනතාවගේ අපේක්ෂා මුදුන් පත් කිරීම උදෙසා පවත්වන ඒ සමුළුවේදී රටට වැඩදායක ගමන් මාර්ගයක් වෙනුවෙන් කටයුතු කිරීමයි සිදු වන්නේ. ඊට අමතරව ඉදිරියේදී ගොවි සමුළු, තරුණ සමුළු, ධීවර සමුළු, කඳුරට ජනතා සමුළු ඇතුළු සැබෑ ජනතාවගේ සහභාගිත්වයෙන් සමුළු පැවැත්වෙනවා. එහිදී වැඩ කරන රටේ බහුතර ජනතා නියෝජනයයි සිදු වන්නේ.
ඔබ පක්ෂයට බලය ලැබුණොත් රටේ ණය බර
සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ද?
ණය පිළිබඳ සමාලෝචනයක් සිදු කර, ඒ ණය ගෙවීමට යම් සහන කාලසීමාවක් ලද හැකිද යන්න උත්සාහ කර බලනවා. එමෙන්ම රටට අහිතකර ණය උගුල් සම්බන්ධව දෙවනුව සිතා බැලිය යුතු වනවා.
තුන් වනුව ආනයන ආදේශක යෙදීමට කටයුතු කළ යුතුයි. උදාහරණයක් ලෙස පවසනවා නම් රටට වාර්ෂිකව ලක්ෂ 60ක් පමණ පාසල් බෑග් අවශ්‍ය වනවා. එයින් යම් කොටසක් හෝ නිෂ්පාදනය දේශීය ඇඟලුම්කරුවන්ට දිය හැකි නම් විදේශ කරා ඇදී-යන අතිවිශාල මුදලක් ඉතිරි කරගත හැකියි. එයින් ඒ මුදල් රට තුළම සංසරණය වන නිසා රටේ සංවර්ධනයට යම් හෝ දායකත්වයක් ලබා ගත හැකියි. ඒ මඟින් යම් හෝ ණය බරක් අඩු කරගත හැකියි.
නාස්තිය දූෂණය වැළැක්වීම මෙන්ම බිලියන ගණන් හොරා කෑ අයගෙන් ඒ මුදල් යම් කොටසක් හෝ ලබාගත හැකි ආකාරය සොයා බලනවා. එසේම දීර්ඝකාලීනව රටේ ආර්ථිකය ගැන සලකා බැලිය යුතුයි. ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකය වැඩි කළ යුතුයි. එසේ නොකර රට සංවර්ධනය කරා ගෙන-යන්න බැහැ.