
- අපි හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදයට නීතියට ගරු කරනවා
- පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ මතය කොතැනද කියලා අපි පෙන්නුවා
• ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීන්දුව අවලංගු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස?
අපි අධිකරණ තීන්දුව පිළිගන්නවා. ඒ සම්බන්ධයේන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අධිකරණ තීන්දුවෙන් පස්සේ ජනතාව අතර ලොකු ප්‍රචාරයක් යනවා, මේ අධිකරණ තීන්දුව පක්ෂග්‍රාහීව දුන්නද කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා. ඒ නිසා අපි ඒ පිළිබඳ ව තර්ක කරන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුව දිගට ම පවත්වාගෙන යනවා.
• පාර්ලිමේන්තුව දිගට ම පවත්වාගෙන යන්නේ කුමන ආණ්ඩුවක් යටතේද?
ආණ්ඩුව එකසිය දහතුනක් සිටින පාර්ශ්වය විසින් පිහිටුවයි. අපිට එකසිය දහතුන නැතිනම් අපි ඉල්ලා අස්වෙනවා. යුඑන්පී එකටත් එකසිය දහතුන නැහැ. එයට හේතුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමත් සමඟයි ඒ අය බහුතරය පෙන්වන්නේ.
• රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය තියෙනවා කියන යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නත් දෙමළ ජාතික සන්ධානය කියලා තියනවා නේද; ඒ අය ආණ්ඩුවත් සමඟ එකතු වෙන්නේ නැහැ, විපක්ෂය ට එකතු වෙනවා කියා?
දෙමළ සන්ධානය එක්කෝ ආණ්ඩුව පැත්තේ ඉන්න ඕන; එසේ නොමැති නම් විපක්ෂයේ ඉන්න ඕන. පාර්ලිමේන්තුව තුළ රනිල්ට විශ්වාසය තියෙනවා කියලා පක්ෂ ව ඡන්දය දුන්නත්, ඒ අය ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ දෙකම කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ විස්වාසභංග යෝජනවාක් ගෙනාවාම ඒ අයට පුළුවන් විපක්ෂව හෝ පක්ෂව ජන්දය පාවිච්චි කරන්න. නමුත් ආණ්ඩුවක් පිහිටුවන්න රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන්නේ මන්ත්‍රි ආසන එකසිය තුනයි. දෙමළ ජාතික සන්ධානයේ එකතු වෙලා තමයි එකසිය දාහතක් විස්වාස භංග යෝජනාවේදී පෙන්නුවෙ.
• මේ තත්ත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ නේද?
මේ තත්ත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න ලොකු ගැටලුවක් තියනවා තමයි. අපිට ආණ්ඩුවක් පිහිටුවන්න එකසිය දහතුනක් නැතිනම් අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අයින් වෙනවා; අපි ඉල්ලා අස්වෙනවා.
• ඉන්පසුව විපක්ෂ නායක ධුරය පිළිබඳ ව ගැටලුවක් යළිත් මතු වෙනවා නේද?
විපක්ෂ නායක ධූරය අපිට දෙන්නට ඕන. අපිටයි බහුතරය තියෙන්නේ.
• පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඔබ අැතුළු පිරිස මේ තත්ත්වය අනුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අපිට 113 පෙන්වන්නට නොහැකි නම් විපක්ෂයෙන් වාඩි වෙනවා. අපි මේ නව ආණ්ඩුවක් පිහිටෙව්වේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන අදහසින්. ඒ සඳහායි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අපි බැලුවේ මේ අර්බුදය තුළදී රටේ ජනතාවට බලයක් අරන් දෙන්න. මේ ආණ්ඩුවේ ගෙන යන වැඩපිළිවෙල වළක්වන්න ජනතා විස්වාසය තියන ආන්ඩුවකට වැඩි බලයක් අරන් පාර්ලිමේන්තුවට යන්නයි අපි උත්සහ කළේ. නමුත් අධිකරණය එයට එරෙහිව තීන්දුවක් දී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත් අපේ යුතුකම. අපි හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා; නීතියට ගරු කරනවා. ඒ අනුව අපි විපක්ෂයට ගිහිල්ලා මහා මැතිවරණයක් කරා යෑමේ සටන දිගට ම ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ මහාතාගේ රජය යටතේ මෙතෙක් කල් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මහජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වන ඡන්ද අයිතිය දුන්නෙ නැහැ. පළාත් සභා ප්‍රාදේශිය සභා දුන්නේ නැහැ. ඒ මැතිවරණ අවුරුදු තුනකින් කල් දැම්මා. එ් ක්‍රියාවම ක්‍රියාත්මක කරමින් පළාත් සභා මැතිවරණයත් පාර්ලිමේන්තුව තුළ වෙනත් විකල්ප මාර්ග අරගෙන පළාත් සභා හයක් මැතිවරණ පවත්වල නැහැ. මේ රටේ නිසි කලට ඡන්දය පවත්වා නැහැ. මහජන අයිතිය තමයි මේ අහෝසි කරලා තියෙන්නේ. නමුත් ඒකට ජාත්‍යන්තරය කතා කරන්නෙත් නැහැ; ඇමරිකාව කතා කරන්නෙත් නැහැ. මේ අය කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණත් ඒ ගැන කතා කරන්නෙ නැහැ. මේ අය වේදිකාවේදී කතා කරන්නේ ඡන්දය කල්දාන එක ගැනයි. අපේ රජය තියන කාලයේ අපි කවදාවත් මැතිවරණ කල් දාලා නැහැ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියට ගරු කරලා තියෙනවා. අපි ඡන්දයෙන් එන ප්‍රතිඵල පිළි ගන්නවා. ජනාධිපති මැතිවරණයට ගිහිල්ලා පැරදුණාම ජනාධිපති මන්දිරය බාර දීලා අයින් වුණා. මේ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු වුණා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ දේපොළ විකුණන්න ලෑස්ති වුණාම ඒක වළක්වන්න. මේ වගේ සම්පත් විකුණන්න ලැස්ති වුණාම එතුමාට අවශ්‍ය වුණා ඒ දේවල් නවත්තන්න. ජනාධිපතිතුමාගේ බලතල අනුව එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාව අයින් කරලා අගමැති තනතුරට මහින්ද රාජපක්ෂ මහත්තයාව පත් කළා. රනිල් අගමැති ලෙස මහ බැංකුව මංකොල්ල කෑවා. ඒ නඩුව විභාග කරන්න දෙන්නෙ නැහැ. ආරක්ෂක ඇමැතිවරයා සහ පොලිසිය භාර ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ ප්‍රධාන වශයෙන් කරගෙන යන වංචා වලක්වන්නයි අපි කටයතු කළේ. ඒ නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අගමැති තනතුරු බාරගත්තේ; එයටත් විරුද්ධ ව අධිකරණයට ගියා. මැතිවරණයකට යෑමට විරුද්ධව අද තීන්දුවක් ලැබිලා තියනවා අධිකරණයෙන්්. අපිට මේ අවස්ථාවේ එක්තරා ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා. තුනෙන් දෙකක බලයක් රනිල් වික්‍රමසිංහට දැන් නැහැ. මේ සියලු පක්ෂ එකතු කළත් එ් අයට තුනෙන් දෙකක බලයක් නැහැ. එසේනම් අපිට විපක්ෂට ගියත් මැතිවරණයක් එනතුරු දිනාගත්ත ජයග්‍රහණය ආරක්ෂ කරගන්න පුළුවන්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනල්ලා රට බෙදන්න හදන වැඩපිළිවෙල නවත්තන්න පුළුවන්. අද රනිල් වික්‍රමසිංහ ට ඕන කරලා තියෙන්නේ 2019 වන විට ජාත්‍යයන්තරයේ ඩයස්පෝරාවේ අවශ්‍යතාව ඉටුකරන්න. මේ තත්ත්වය වලක්වා ගන්නයි අපි මැතිවරණයකට යා යුතු වෙන්නේ.
• ඔබ සඳහන් කරන ඒ ජනමතය තිබුණත් එය නීත්‍යනුකූල ජයග්‍රහණයක් කරගන්නේ කෙසේද කියලා ගැටලුවක් මතුවෙලා තියෙනවා නේද?
ඒ සඳහායි අපි මැතිවරණයකට යා යුතු වන්නේ. තව වසරකින් ජනාධිපතිවරණය තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඒ බව තහවුරු කරන්නයි අපි ක්‍රියා කරන්නේ. ඒ අභියෝගය අපි බාර අරන් තියෙනවා. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි පෙන්නුවා, ජනතාගේ මතය කොතැනද කියලා.
ගිය පෙබරවාරි මාසයේ දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතැනද කියල අපි පෙන්නුවා; රටේ ජනමතය එදා අපි පෙන්නුවා. ඒ අයගේ ඡන්ද අඩුකරලා ජනතාව ඒ අය පරාජයට පත් කරලා ඉවරයි. රටේ ජනමතයයි එතැන තිබෙන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, අපිත් එකතු වුණාම අපිට ආසන එකසිය තිහක් හතළිහක් ගන්න පුළුවන්. ඒ ජනමතය තවම වෙනස් වෙලා නැහැ; ඒ නිසයි මේ අය මැතිවරණ වලට බය වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවෙ බහුතරයගේ විස්වාසය පෙන්නුවාට වැඩක් නැහැ. ජනතාවගේ විශ්වාසය තියෙන්නේ කොතැනද කියලා අපි පෙන්නලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ බයත් ඡන්දයට යන්න. ලංකාවේ ප්‍රාදේශිය සභා මැතිවරණයේදි ඒ අයට එක ආසනයක් වත් දිනන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මැතිවරණ ක්‍රමයේ තියන අඩුපාඩු නිසයි, පැරදුණ අයගෙන් ජවිපෙ මන්ත්‍රිවරු ටිකක් පත් කරගත්තේ.
• කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් 117කගේ ඡන්දය ප්‍රදර්ශනය වුණා නේද?
රනිල් අගමැති කරන්න, ඒ අය නිකන් ඡන්දය දෙන්නෙ නැහැ. ටී එන් ඒ එක ඡන්දය නිකන් දෙයි ද? ටීඑන්ඒ එක ඒ අයගේ ඉල්ලිම් වලට එකඟ අයටයි ඡන්දය දෙන්නේ. අපි ඒ දේවල්වලට එකඟ නැති බව ඒ අය දන්නවා. අපිට ඒවගේ ආණ්ඩු පිහිටුවන්න ඕන නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිවල ටීඑන්ඒ එකතු කර ගෙන රට බෙදන ප්‍රතිපත්ති නැහැ. රට බේරගන්න සහ රට බේරගත්ත නායකයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා.
• ටීඑන්ඒ පක්ෂය එජාපයට එකතු වීම ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද?
ප්‍රභාකරන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන කණ්ඩායම තමයි අද ටිඑන්ඒ එක. ඒ වැඩ පිළිවෙළ සාර්ථක කරන්න සහාය දෙන අයට තමයි එ් අය එකතු වෙලා ඉන්නේ. ගිවිසුම් අත්සන් කළා ද නැද්ද අපි දන්නේ නැහැ; ඒත් ඒ අයගේ මන්ත්‍රිවරයෙක් කිව්වා අපේ ඉල්ලීම් ඉටුකරන අයටයි ඒ අය ජන්දය දෙන්නෙ කියලා එයින් පැහැදිලියි. අපි මෙය දකින්නේ රට පාවාදීමක් විදිහටයි.
• මේ තත්ත්වය මත ජනතාව කෙබදු තීරණයක් ගනිද? එජාපය විසින් ටිඑන්ඒ සමඟ සන්ධාන ගතවෙලා ආණ්ඩුවක් පිහිටුවහොත්?
ආණ්ඩුවක් පිහිටුවත් ඒ අය මැතිවරණයකට යන්න අවශ්‍යයි. ලබන අවුරුද්ද වෙනකොට අලුතින් පත් කරන 2020 අලුත් ජනාධිපතිවරයා පත් වුණා ම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ඉන් පසුව පුළුවන් අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න.
• ජනතාවගේ පාර්ශ්වයෙන් මෙය කෙසේ බලපානු ලබයිද?
ජනතාව අවස්ථාව ආවාම ඒ ගැන තින්දුවක් ගනී. ඒ අයට ජනතාව හරි උත්තරය දෙයි. ජනතාවට මෙහි විසඳුම ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එයත් මේ වන විට වැළකිලා තියනවා දවසක මේ ගැන ජනතාව තීන්දුවක් ගනී. ජනතාවට ඒ අවස්ථාව ආව දවසට හරියට පිළිතුර දෙයි. ටිඑන්ඒ එක හදන්නේ යුද්‍දයෙන් ගන්න බැරිවුණ දේ ජන්දයෙන් ගන්නයන්නයි මේ අය යන්නේ. යුද්ධයෙන් රට බේරාගත්ත රණවිරුවෝ හිරේ යනකොට යුද්ධයෙන් මිනිමරපු අය නිදහස් කරන්නයි යන්නේ. දිගම්බරන් නිදහස් කරන්න කියන්නේ කවුද; ගෝඨාභයට බෝම්බ තියපු අය, කොළඹට බෝම්බ තියපු අය, ෆොන්සේකාට බෝම්බ තියපු අය රටේ මරමස්ථානවලට බෝම්බ තියපු අය, ඒ අය තමයි නිදහස් කරන්න කියලා මේ ටිඑන්ඒ එක කියන්නේ. දේශපාලන සිරකරුවො කියලා ඒ අය කොහොමද කියන්නේ; ඒ අය දේශපාලන සිරකරුවෝ කියලා රැස්වීමකට ගිහිල්ලා කතාවක් කරන අතරදි ඒ අයව අත්අඩංගුවට ගත්තෙ නෑ. මිනිස්සු මරපු නිසයි ගත්තේ සිර භාරයට.
අපි දකින්නේ එජාපය මේ රටට ආදරයක් නැති, රට කෙරේ හැඟිමක් නැති පිරිසක් විදිහටයි. ඒක මේ රටේ ජනතාව හොඳින් දන්නවා. ඒවගේම රට පාවලා දීලා බලයේ ඉන්න පිරිසක් විදිහටයි ඔවුන් හැමදාම ක්‍රියා කළේ; අද කරන්නෙත් ඒකයි.