ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිතරග ගිවිසුමක් යටතේ තරග කරන බවට වූ ආරංචි මාර්ග පසුගියදා පැතිර ගියේය. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහත් අග්‍රාමාත්‍ය ධුරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඉදිරිපත් කරන්නට කතාබහක් ඇති වෙමින් තිබේ. එහෙත් දෙපාර්ශ්වය අතර පවතින නොහොඳ නෝක්කාඩු නිසා අවසන් සම්මුතියකට පැමිණෙන්නට තවමත් හැකියාවක් ලැබී නැති බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති දෙපාර්ශ්වයේ සාකච්ඡාවේදී ආණ්ඩුකරණය සම්බන්ධ කරුණු රැසක් පිළිබඳ එකඟතාවකට පැමිණ තිබේ. එය හිතහොඳ නිතරග ගිවිසුම සාර්ථක කරගැනීම සඳහා කොතරම් දුරට බලපාවිදැයි කියන්නට තවම කල් වැඩිය. කෙසේ වුවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජය ගත් දා සිටම දෙපාර්ශ්වය අතර සියුම් හුයකින් බැඳුණු එකඟතාවක් තිබිණි. ඒ අතරම දෙපාර්ශ්වයම එකිනෙකාට එල්ල කරගන්නා දැඩි වාග්ප්‍රහාර නිසා ඒ බැඳීම තුළ පලුදුද ඇතිව තිබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රාජපක්ෂවරුන් අතර ඒකාග්‍රතාවක් ඇති කරගැනීම සම්බන්ධයෙන් වූ කතාබහක ආරංචිද පසුගිය දා පැතිර ගියේය. ජනාධිපතිවරයා මැදමුලනට ගොස් හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ අවමඟුලට සහභාගි වීමද මේ ආරංචි මාර්ග පැතිර යෑමට සමාන්තරව සිදු විය. ඇත්තටම ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම කිහිලිකරු ආධාර නැතිව කෙළින් සිටගැනීමට නොහැකි දේශපාලන වාතාවරණයක් ඇතිව තිබේ. ඒ නිසා මේ හෙයියම්මාරුවලට දේශපාලන අවකාශය තුළ පුළුල් ඉඩකඩක්ද නිර්මාණය වී ඇති බව රහසක් නොවේ.
ඊට තවත් හේතුවක් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට කවර අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේදැයි සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වය තුළද එකඟතාවක් නොවීමයි. තමාම ලොකු ප්‍රසිද්ධියක් දී ඉහළට ඔසවා තබාගත් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති හීනය බොඳ වෙමින් පවතී. එසේම බැසිල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මුල පටන්ම රාජපක්ෂ පාර්ශ්වය තුළ විසමතා පැවතිණි. ප්‍රශ්නයට විසඳුම් ලෙස සමහරුන් යෝජනා කළ දිනේෂ් ගුණවර්ධනද චමල් රාජපක්ෂද ශක්තිමත් අපේක්ෂකයෝ නොවෙති.
මේ නිසා රාජපක්ෂ පාර්ශ්වයට දේශපාලන කැරිස්මාවක් අවශ්‍ය විය. එවැනි දේශපාලන කැරිස්මාවක් නොමැතිව තම අනුගාමිකයන් ඒකග්රාහීව තබාගැනීම රාජපක්ෂ පාර්ශ්වයට අපහසු කරුණකි. ඒ සඳහා නීතිය පිළිබඳ මහාචාර්ය ජීඇල් පීරිස් යොදාගනිමින් පළමුව නීති ව්‍යාකුලතාවක් නිර්මාණය කළේය. දෙවැනිව ‘මහින්දට පුළුවන්’ යැයි මතයක් සමාජගත කරමින් සිටී. රාජපක්ෂ පාර්ශ්වය අතර පවතින දේශපාලන අර්බුදයද මේ අනුව එළිදරව් වෙමින් පවතී. එහෙත් එම අර්බුදය සමනය කරගැනීමට මහාචාර්ය ජීඇල් පීරිස්ගේ නීති මැජික්වලට නොහැකිය.
රාජපක්ෂ රෙජීමයේ උපක්රමශීලි දේශපාලකයා වූයේ බැසිල් රාජපක්ෂය. ඔහු දේශපාලන පක්ෂ භේදභින්න කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගන්නා ගමන්ම ඉන්දියාව සමඟද උපක්රමශීලි සාකච්ඡා පවත්වමින් ගනුදෙනු බේරාගත්තේය. ඔහුට නොහැකි වූයේ දෙමළ ජාතික සන්ධානය කඩා-බිඳදැමීම පමණි. මෙවරද දේශපාලන ගනුදෙනු කරන්නට ඉදිරිපත් වී ඇත්තේ ඔහුය. පසුගිය මාසයේ අවම ජන සහභාගිත්වයකින් පැවැති ආණ්ඩු විරෝධි ජන රැලිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූයේ බැසිල් රාජපක්ෂටය.
ආණ්ඩු විරෝධි දේශපාලනය තුළ රාජපක්ෂ පාර්ශ්වය සිටින්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ එය සාර්ථක කරගැනීමටය. විශේෂයෙන් බලය අහිමි වීමෙන් අසහනයට පත්ව සිටින බොහෝ රාජපක්ෂවාදීන් අනුගමනය කරන්නේ හැඟීම්බර දේශපාලන උපක්රමයය. එහෙත් බැසිල් රාජපක්ෂ තම මෝරා ගිය දේශපාලනය පෙන්නුම් කරමින් ජනප්‍රිය උපක්රමයන්ගෙන් වෙනස්ව දේශපාලන භාවිතාවක යෙදිණි. ඔහු සෑමවිටම පාහේ ජනප්‍රියවාදි රාජපක්ෂ දේශපාලනයෙන් වෙනස් විය. මේ අතර පසුගිය දා වාර්තා වූයේ ඉදිරි ජනාධිපතිවරණයකදී රාජපක්ෂ පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නටය. එම අදහස උපක්රමික නම් හා සම්මුතික නම් අගතියකින් තොරව එවැනි තීරණයක ස්ථාවරව සිටින්නට රාජපක්ෂවරුන්ට අපහසුවක් නැත. ඉන්දියාව පවා මේ උපක්රමික ප්‍රවේශයට කැමැත්ත පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
තමන්ට නීතිමය හෝ දේශපාලනික හෝ පීඩාවන්ට මුහුණ දෙන්නට නොවන්නේ නම් තව වසර පහක් බලාසිටින්නට තරම් හිතහදාගැනීමට රාජපක්ෂවරුන් සූදානම් නොවන්නේ නම් එය දේශපාලන අඥානකමකි. එවැනි වාසියකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කෙසේවත් එකඟ නොවී සිටින්නේ නැත. ඊට හේතුව අවම වශයෙන් තම සහෝදරයන්ගේ දායකත්වය හෝ නොලබා ශක්තිමත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ හැකි බැවිනි.
රාජපක්ෂ පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීම යන්න ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයකු ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් නොකිරීමකට ලඝු කළ නොහැකිය. එවැන්නක් දේශපාලනික ලෙස සියදිවි නසාගැනීමක් බව තෙම්පරාදු දේශපාලකයන් වන රාජපක්ෂවරු හොඳින් දනිති. එනිසා එක්කෝ තම පාර්ශ්වයේ දුර්වලයකු ඉදිරිපත් කිරීම හෝ එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වීම හෝ ඔවුන්ගේ උපක්‍රමය විය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල පසු වන දෙකට දෙවාරයක් නැති ස්ථාවරය තුළ එවැන්නකට එකගවීම ‘ඉබ්බා දියේ දාන්න ඇහුවාම ඇන්නෑවයි’ කීමකට දෙවැනි නොවේ.
එවැනි ප්රවේශයකට ඉන්දියාව එකඟ වනවා කියන්නේම ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර ඈලිය ඊට එකත්පසව එකඟ වන බවකි. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද හිතමිතුරන් වන ජපානය ඇතුළු පෙරදිග රටවල්ද එකඟ වීම අනිවාර්ය කරුණකි. එහෙත් මහජන චීනය නම් ඊට තම නොකැමැත්ත පළ කරන බව ස්ථිරය. ඊට හේතුව එවැන්නක් මහජන චීනයේ භූ දේශපාලනික උපක්රමික ප්‍රවේශය වන පැරණි සේද මාවත නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට (‘one belt and one road’) බාධාවක් වන බැවිනි.
පැරණි සේද මාවත නවීකරණය කිරීමේ මහජන චීන භූ-දේශපාලනික ව්‍යාපෘතිය තුළ චීනයට හිතවත් රෙජීම පාලනයන් දකුණු ආසියානු කලාපයේ බලයේ සිටීම අත්‍යවශ්‍යය. මියන්මාරය හා නේපාලය තුළ පවතින රෙජීම මුළුමනින්ම මහජන චීනයට හිතවත් නොවූවත් භූ-දේශපාලනික පිහිටීම් නිසා ඒවා කළමනාකරණය කරගැනීමට චීනය සමත්ය. මාලදිවයිනේ පවතින්නේද මහජන චීනයට හිතවත් රෙජීමයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ පමණක් මහජන චීන අභිලාශයන්ට පරස්පර රෙජීමයක් පවතී. එහෙත් මහජන චීනයේ අවම අභිලාශය වන්නේ තමන්ට පක්ෂපාතී නොවන්නේ නම් තමන්ට එරෙහිව නොයන මට්ටමක රෙජීමයකට තම සහයෝගය ලබා දී පවත්වාගෙන යෑමටය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ඊට සම්බන්ධ හෝ රෙජීම පාලනයක් ශ්‍රී ලංකාවේ පවතිනවාට වඩා මහජන චීනයේ අභිලාශය රාජපක්ෂවරුන්ගේ පාලනයකට බව සක්සුදක් සේ පැහැදිලිය. මහජන චීන සමූහාණ්ඩුවේ භූ-දේශපාලනික ප්‍රවේශයට එරෙහිව ඇමෙරිකන් එක්සත් ජනපදය ඉන්දීය සාගර කලාපය තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟද සිටින්නේ එකඟතාවකය. ඉන්දීය කලාපයේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා මහජන චීනය බරපතළ ගැටුමකට නොගියද දෙපාර්ශ්වය අතර පවතින්නේ සීතල යුද්ධයකි. එය පසුගිය කාලයේ මාලදිවයිනේ ඇති වූ දේශපාලන හැලහැප්පීම්වලදී ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා එක්සත් ජනපදය හැසුරුණු අන්දමින්ම තේරුම් ගත හැකිය.
ඉන්දියාවේ අභ්‍යන්තරයෙන් අදහස් පළ වන්නේ මාලදිවයින් අර්බුදයට මැදිහත්වීම ඉන්දියාව ගෝලීය ප්‍රබලයකු ලෙස වර්ධනය වන පෞරුෂය තුළ වැදගත් වන බවයි. එවැනි මැදිහත් වීමකදී ඇමෙරිකා එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත් ඉන්දියාවට ශක්තියක් වනවා නොඅනුමානය. ඊට හේතුව වන්නේ ඉන්දීය කලාපය තුළ මහජන චීනයේ කැපීපෙනෙන වර්ධනය එම දෙරට විසින්ද නොඉවසීමයි. මහජන චීනයට ගැති මාලදිවයිනේ වත්මන් ජනාධිපති යාමීන් පදවියෙන් ඉවත් වීම ඇමෙරිකා එක්සත් ජනපදයේද එක්සත් රාජධානියේද කැමැත්තයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද එක්සත් ජනපදය ඇතුළු බටහිර ඈලියත් ඉන්දියාවත් දරන්නේ එවැනිම මතයකි. ඒ අනුව රාජපක්ෂ හිතවාදී රෙජීම පාලනයක් ශ්‍රී ලංකාවේ පැවතීම ඉන්දියාවේ හෝ එක්සත් ජනපදයේ හෝ එහි බටහිර ඈලියේ හෝ අභිලාශය නොවේ. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයකදී රාජපක්ෂ පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීම ඉන්දියාවේ අභිලාශය නොවේ. එනිසා ඒ සම්බන්ධයෙන් අතරමැදි විසඳුමකට පැමිණීමට ඉන්දියාව නොපැකිළෙනු ඇත. ඊට රාජපක්ෂවරුන් තල්ලු කරන්නේ රට අභ්‍යන්තරයේ මතුව ඇති දේශපාලන ධ්‍රැවීකරණයයි.
අභ්‍යන්තර හා බාහිර දේශපාලන තත්ත්වයන් තුළ පවතින දේශපාලන ආකෘතියෙන් බැහැර වෙනස් ආකාරයක දේශපාලන සංධානයන් ඇති වීමත් ඉදිරි ජනධිපතිවරණයකදී ඒවා අලුත් ආකාරයකින් ආකෘතිගත වීමත් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.