සංවර්ධන අරුණාලෝකයෙන් පුලතිසිපුර පිබිදෙයි | Page 2 | සිළුමිණ

සංවර්ධන අරුණාලෝකයෙන් පුලතිසිපුර පිබිදෙයි

නිහාල් පී. අබේසිංහ, රක්ෂණ ශ්‍රියන්ත

අතීතයේ යුද්ධය නිසා පීඩනයට පත් පොලොන්නරු ප්‍රදේශයේ ජනතාවට සාමය ලැබු‍ණත්, අඩු යටිතල පහසුකම් නිසා තම ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමට හැකි වූයේ නැත. මේ බව තේරුම් ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුලින්ම මුළු පොලොන්නරුවටම මොරගහකන්ද ජලාශය මඟින් මහවැලි ජලය ඇති තරම් ලබාදුන්නේය. පසුගිය සතියේ දී ‘පිබිදෙමු පොලොන්නරුව’ යටතේ පොලොන්නරුවට තවත් මල් වැහි වැස්සේය. ඒ, එක්වර සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනසතු කිරීමෙනි. මේ අනුව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් කෝටි 6000ක් වටිනා ව්‍යාපෘති පුලතිසිපුර ජනතාවට ලැබෙමින් පවතී‍.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ සවන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු 2015 වසරේ සිට ආරම්භ කරන ලද ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000කි. ඒ මුදල පුලතිසිපුර සංවර්ධනයට රජ දවසින් පසු වෙන් කර ඇති වැඩිම මුදලයි. මේ යටතේ නිම කෙරුණු සංවර්ධන ව්‍යාපෘති 180ක් පසුගිය සතියේදී ජනතා අයිතියට පත් විය.

මේ ව්‍යාපෘති විවෘත කිරීම සමාරම්භය සිදු වූයේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමෙනි. මෙම සමාරම්භක උලෙළ අරඹමින් ජනාධිපතිතුමා පැවසුවේ පසුගිය කාලයේ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය වෙනුවට සමබරව රට පුරා ක්‍රියාත්මක වන සංවර්ධන සංග්‍රාමයක් දිවයින පුරා ක්‍රියාවට නංවන බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය, පානීය ජල සම්පාදනය, මාර්ග හා ප්‍රවාහන පහසුකම්, ජල කළමනාකරණය, කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, සමූපාකාර සංවර්ධනය, පුරාවිද්‍යාත්මක සංවර්ධනය, නිවාස හා ඉඩම් බෙදා දීම, නාගරික සංවර්ධනය, උප-නගර සංවර්ධනය, පොදු පහසුකම් සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම් ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරා පැතිරුණු ව්‍යාපෘති 180ක් ජනගත කිරීමේ මහා මංගල්‍යය පසුගිය 1, 2, 3 දිනවල සිදු කෙරිණි.

ඒ අනුව ‘පිබිදෙමු පොලොන්නරුව’ වැඩසටහන යටතේ තෙදිනක් තුළ ජනතා අයිතියට පවරා දීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, මැති-ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 01 දින සිදු විය. මෙම ව්‍යාපෘති මඟින් වැඩිම ප‍්‍රතිලාභ හිමිකර දී තිබෙන්නේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දූදරුවන්ට වීම විශේෂත්වයක් වන අතර, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පවරා දෙමින් 01 වැනිදා වැඩසටහන්වල සමාරම්භය සටහන් කෙරිණි. අනතුරුව මැදිරිගිරිය නව බස් නැවතුම්පළ විවෘත කිරීම, මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම, මැදිරිගිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම, හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම, හිඟුරක්ගොඩ බස් නැවතුම්පළේ නව කඩකාමර සහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම හා නිවාසලාභීන් සඳහා යතුරු ප්‍රදානයද, පුලස්තිගම සිරි පැරකුම් මහා පිරිවෙනේ දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පුජා කිරීමද සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ සුරතිනි.

සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීමේ දෙවැනි දින සටහන් කරමින් පොලොන්නරුව නවනගරයේ ඇවිදින මංතීරුව විවෘත කෙරුනේ 02 දාය. අනතුරුව පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පැවරීම, අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ සංවර්ධන කටයුතු ජනතා අයිතියට පැවරීම සහ අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, අරලගංවිල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීම, විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, කටුවන්විල මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරිම, මනම්පිටිය මාගම්තොට විහාරයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීම, මනම්පිටිය රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, මනම්පිටිය නගරයේ හෙළ බොජුන්හල සංවර්ධන කටයුතු විවෘත කිරීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කෙරුණු 03 දා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම, හබරණ මහා විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම, හිඟුරක්දම කාශ්‍යප පිරිවෙනේ සංවර්ධන කටයුතු විවෘත කිරීමද සිදු කළේය. මෙමගින් වැඩිම ප‍්‍රතිලාභ අත් කර දෙනු ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙතයි. ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන දැවැන්තම ආයෝජනයේ තවත් එක් අදියරක් මෙමගින් සපුරා තිබෙන අතර, පාසල් 85ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදි වශයෙන් පුළුල් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරාදී තිබේ. පාසල් අධ්‍යාපනයට අයත් මේ ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665කි. සෞඛ්‍ය සම්පන්න නීරෝගි ජනතාවක් උදෙසා දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ කි‍්‍රයාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් ඉදි කර ඇති ව්‍යාපෘති 15ක් මේ යටතේ ජනතා අයිතියට පැවරිණි. හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලට අලුතින් එක්කර ඇති වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දන්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමුණ රෝහලෙහි පරිපාලන ඒකක ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිලි, මනම්පිටිය රෝහලෙහි බාහිර රෝගී අංශය සඳහා සහ සායනික කටයුතු සඳහා ඉදි කළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලෙහි නව වාට්ටු ගොඩනැගිල්ල සහ අරලගංවිල රෝහලෙහි නව රසායනාගාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන්ම දිස්ත්‍රික්කය පුරා රෝහල් කිහිපයක වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කර තිබේ. උණගලා වෙහෙර, පුදුර් ඇතුළු ප්‍රදේශ තුනක පානීය ජල සම්පාදන ව්‍යාපෘති තුනක් සඳහා මෙන්ම රුපියල් දස ලක්ෂ 191ක වියදමින් හිඟුරක්ගොඩ හා තමන්කඩුව යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා ඉදි කළ නිවාස ව්‍යාපෘති 15ක් සහ රජයේ නිලධාරින් සඳහා ඉදිකරන ලද නව නිවාස ද මේ යටතේ සම්පූර්ණ කර ඇත. පොලොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාව මූලික කරගනිමින් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා දිස්ත්‍රික්කයේ පොදු පහසුකම් නංවාලීම යටතේ ව්‍යාපෘති 09ක ඉදිකිරිම් අවසන් කොට තිබේ. මැදිරිගිරිය නගරයේ නව බස් නැවතුම්පළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය ලංකාපුර ඉදි කර ඇති පේ‍්‍රක්ෂකයන් 800කට අසුන්ගත හැකි රංග ශාලාවද මෙයට ඇතුළත්ය.

එයට අමතරව පොලොන්නරු නව මහනගරසභා ගොඩනැගිල්ල, ලක්ෂඋයන ප්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන්හල වැනි ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 343කි. පොලොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 15ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 55කි. ඒ යටතේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ගණනාවකට නව සංඝාවාස, ධර්මශාලා, භික්ෂු නේවාසිකාගාර, දානශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කර ඇති අතර, හින්දු හා ඉස්ලාමි පූජනීය ස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒ යටතේ කටයුතු කර තිබේ. එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් නගරයක්, යල-මහ දෙකන්නයේම නොකඩවා වගා කිරීමට ජලය සැපයීමට හැකි වන පරිදි වාරි ප්‍රතිසංස්කරණය, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසය මේයැයි කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංග ශාලා හා ක්‍රීඩා පිටි යනාදි වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්ධනයක් ක්‍රියාවට නැංවී තිබේ.

මේ යටතේ පසුගිය 2 වැනිදා මැදිරිගිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ආදර්ශවත් දිස්ත්‍රික්කයක් බවට පොලොන්නරුව පත් කරන බවයි. ඊට පසු පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදි කෙරුණු නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් විය. මේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට රුපියල් දස ලක්ෂ 80.6ක් වැය වී ඇත. මේ අනුව නගරයට සීමා වී තිබූ ක්‍රිකට් ක්‍රීඩාව පොලොන්නරුවටද ලැබී ඇතැයි ජනාධිපතිතුමා කීය.

 

සේයාරූ - සුදත් සිල්වා

සුදත් මලවීර, සමන් මෙන්ඩිස්,

දුෂ්මන්ත මායාදුන්න, නිරෝෂ් බටේපොළ

 

Comments