ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලින් කාන්තාවන් ගත් ණය කපා හරී | සිළුමිණ

ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලින් කාන්තාවන් ගත් ණය කපා හරී

උතුරු පළාතේ හා උතුරු මැද පළාතේත් නැගෙනහිර පළාතේත් කාන්තාවන් සුළු ව්‍යාපාරවලින් තම ජීවිකාව සරිකරගෙන යාමට ඒ ප්‍රදේශයට ගිය ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි. නමුත් ඒවා යම් යම් හේතු නිසා ගෙවා ගැනීමට අපහසු වූ විට අදාළ ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් නිලධාරිහු දැඩි තීරණවල සිටිමින් ණය අය කර ගැනීමට විවිධ බලපෑම් කරමින් උත්සාහ දැරූහ.

නමුත් රජය ඊට පිළියම් ලෙස ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වලින් කාන්තාවන් ලබාගෙන ඇති රුපියල් ලක්ෂයකට අඩු ණය කපා දැමීමට තීරණය කර තිබේ. ඒ තීරණය කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති අතර එය උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ වත්මන් මුල්‍ය ගැටලුවලට කදිම විසඳුමක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

මේ අනුව ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කි‍ලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල එක දිගට නියඟය හේතුවෙන් වගා කන්න 5 ක් හානි වීම නිසා එම දිස්ත්‍රික්කවල කාන්තාවන් ලබාගෙන ඇති පරිභෝජන සඳහා නොවන රුපියල් ලක්ෂයට අඩු ණය කපා හරිනු ඇත. මේ ණය මුදල් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වෙත ප්‍රතිපූරණය කිරීම සඳහා රුපියල් දසලක්ෂ 500 ක් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය මඟින් නිදහස් කිරීමට ද කටයුතු කරමින් සිටී.

කෙසේ වුවද අදාළ ණය සඳහා අය විය යුතු පොලිය ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් විසින් කපා හැරිය යුතු බවද රජය පවසයි.

මේ අතර මෙරට ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා අපහසුතාවට ලක්වූ කාන්තාවන්ට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා පොලි සහනාධාරය වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීමට ද රජය තීරණය කර ඇත.

මේ වැඩපිළිවෙළ අනුව උතුරු නැගෙනහිර කාන්තාවන්ට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබාදීම පසුගියදා යාපනයේ ගම්පෙරළිය වැඩසටහනේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ විය. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ද ඊට එක්විය.

නිහාල් පී. අබේසිංහ

Comments