
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල
මෙරට සිදු වූ සහ සිදු වන අපාරධ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කළ හැකි ආකාරයේ විශේෂ අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළා?
මේ කටයුත්ත ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය බොහෝම වගකීම් සහගත හැමදෙනාටම පිළිගත හැකි සැක සංකා ඇති නොවන ක්‍රියාවලියක් විය යුතුයි. එනිසා මේ සම්බන්ධයෙන් අදාළ නෛතික කටයුතු පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුව තිබුණා. ඒ අනුව විශේෂ අධිකරණයක් පිහිටු වීම සඳහා අධිකරණ ප්රතිසංවිධාන පනත සංශෝධනය කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වුණා. මේ වන විට ඒ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ සඳහා අධිකරණ සේවා කොමිසන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. දැන් තිබෙන්නේ අදාළ අධිකරණ ව්‍යූහය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි. ඒ අනුව මේ කටයුතු සඳහා අවශ්‍ය ශාලා පරිශ්‍රය ගොඩනැගීම ආරම්භ කළා. ඒ කටයුත් අවසන් කිරීමට තිබුණේ එළඹෙන හතර වෙනිදායි. මේ වන විට එම අධිකරණ ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල සිදුව තිබෙන ප්‍රමාද දෝෂයක් හේතුවෙන් සමහර විට ඒ දිනය කල් යෑමට ඉඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණ ගන්නේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසන් සභාවයි.
හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා ආණ්ඩුවට ඉන්ටපෝල් පොලීසිය දාලවත් හොයාගන්න බැරි ඔහුගේ ළඟම ඥාතියකු වන උදයංග වීරතුංගව මෙරටට ගෙනැවිත් දෙනවා කියලා. මෙය ඉතාම බරපතළ ප්‍රකාශයක්?
උදයංග වීරතුංග කියන්නේ පසුගිය ආණ්ඩුව සමයේ රුසියාවේ තානාපති වශයෙන් සිටි පුද්ගලයා.මොහු මතභේදයට තුඩු දී තිබෙන 2007 මෙරටට ගෙන් වූ මිග්යානා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යව සිටින පුද්ගලයෙක්. මොහු මේ සම්බන්ධයෙන් පමණක්, නෙමෙයි තවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයෙක්. ඔහු මේ රටේ සම්පත් නීතිවිරෝධී ආකාරයට යොදාගත් බවට චොදනා ලබපු පුද්ගලයෙක්. ඔහු සොයාගැනීම සඳහා රජය දියත් කළ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව බලා යෑමට සූදානම් වූ අවස්ථාවේදී ඩුබායි රටේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහුව මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා දැන් කියනවා රජයට හොයාගන්න බැරි කෙනා ඔහු ගෙනත් දෙනවා කියලා. මොන විකාර කතාවක්ද මේක ඔහුව ලංකාවට බාරදෙන්න සියලු කටයුතු සූදානම් කරල තියෙද්දි ඔහු මෙවැනි ප්‍රකාශයක් කරනවා.
මේ තුළ ඇත්තේ එක්තරා ආකාරයක තැති ගැන්මක්. ඔහු කට ඇරියොත් තමාගේ වෙස් මුහුණ ගැලවෙන බව රාජපක්ෂ මහත්තය දන්නවා. ඒක තරමක් සමනය කරගන්න පුළුවන් විදිහක් තමයි මේ කල්පනා කරනවා ඇතතේ. මොකද උදයංග වීරතුංග තීන්දු තීරණ ගත්තේ හිටපු ජනාධිපතිවරයගෙ උපදෙස් මතයි කියන දේ මුළු රටම දන්නවා.
ආණ්ඩුව අධිකරණය මෙහෙයවමින් තරාතිරම අනුව වෙනස්ව සලකනව කියල ඇතැමුන් චෝදනා කරනවා.
2015 ජනවාරි 08 වැනිදයින් පස්සේ තරාතිරම බලල සලකපු, තීන්දු තීරණ ගත්ත එක අවස්ථාවක් මට පෙන්නලා දුන්නොත් මම ඒකට උත්තර දෙවා.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සලකන ආකාරයට ඥානසාර හිමියන්ට සැලකුවේ නැහැ කියල ඇතැමුන් චෝදනා කරනවා.
අපි යන්නෙ නැහැ පහුගිය කාලේ වගේ අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගහන්න. එහි ස්වාධීනත්වය ආරක්ෂා කරන්න හැකි සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. 2016 හෝමගම අධිකරණ පරිශ්‍රයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් කරපු පැමිණිල්ලක් ගැන වසර දෙකකට ආසන්න කාලයක් විභාග කිරීමෙන් අනතුරුව තමයි ඥානසාර හාමුදුරුවන්ට අදාළ නඩු තින්දුව ලබාදුන්නේ. නියෝජ්‍ය අමාත්‍යවරයා ගැන කතාව ආරම්භ වන්නේ පසු ගිය වර්ෂයේ. තවම ඒ නඩුව උසාවියේ විභාග වෙනවා. ඒ මහත්තයා අධිකරණයේ පෙනී සිටිමින් අධිකරණයට කරුණු ගොනු කරනවා. ඒ අනුව ඉදිරියේදී එතුමට ඊට අදාළ තීන්දුව ලැබේවි. ඒ නිසා මේ චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.
තරාතිරම අනුව කටයුතු කිරීම වැරදියි කියන අයම අධිකරණය ඉදිරියේ දඬුවමට ලක්වුණු ඥානසාර හිමියන්ට සිරඇඳුම ඇන්ඳවීම ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම භික්ෂුවක් වුණොත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනද?
අධිකරණ භූමිය තුළ සිවුරට නිගරු වන සේ හැසිරිලා නීතියෙන් දෙන දඬුවම් නියම වුණොත් එය භාරගෙන සිරගෙට යා යුතුයි. ඒ යන විට තමන් සැබැවින්ම ආගමට ගෞරව කරන කෙනෙක් නම් සිවුරු ගලවා අදාල ඇඳුම ඇඳිය යුතුයි. ඒක සදාචාරමය කොන්දේසියක්. විශේෂයෙන්ම භික්ෂුවක්. බුදුන්වහන්සේ කියන්නේ විනය තමයි ශාසනයේ ආරක්ෂකයා කියලා. එහෙමනම් ඒ විනය රැකිය යුතු වෙනවා. හැමෝම රාජ්‍ය නීතියට යටත් විය යුතු බව බුදුන් වහන්සේද දේශනා කර තිබෙනවා.අධිකරණයේදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික කියල වෙනසක් නැහැ. කෙනෙක් නීතිය ඉදිරියේ වරද කරුවකු නම් ඔහු ඊට හිස නැමිය යුතු වෙනවා. මේ නීති සුද්දගෙ කාලෙ ඇති කලාද වෙනත් කාලෙකදි ඇති කලාද කියන දේ වැදගත් වෙන්නෙ නැහැ. අපි නෛතික රාමුවකට යටත්.
මේ විදියට නීතිය විවේචනය කළොත් රටක තත්වය මොන වගේ වේවිද කිසිකෙනෙක් ඒක පිළිගන්න එකක් නැහැ නේද?
ඒක සිහි බුද්ධියක් ඇති ඕනම කෙනෙකුට තේරෙනවා. නීති කියන දේ ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒවා ඇති වෙන්නෙ පොදු සම්මුතියෙන්. අතීතයේ සම්මුතියෙන් ඇති කර ගත්ත නීති අද පාර්ලිමේන්තුව හරහා ඇති වෙනවා. ඒ ජනතා කැමැත්තෙන් බලයට පත්වන නියෝජිතයන් මාර්ගයෙන්. ඒ අනුව වක්‍රකාරයෙන් මේ නියෝජනය වන්නේ ජනතා පරමාධිපත්‍යම තමයි. අධිරාජ්‍යවාදී යුගයේ හා එහි අවසාන කාලයේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත වීමත් එක්ක දැනට පවතින නෛතික රාමුව සකස් වී තිබෙනවා. පසුව ඒවා වර්ධනය වී අද දක්වා පැමිණ තිබෙනවා. ඒ නිසා මෙම නෛතික රාමුව ප්‍රශ්න කිරීමට යෑම බරපතළ කාරණාවක්. මෙමඟින් සමස්ත ජන සමාජයම අර්බුදයට ලක්වෙන්න පුළුවන්.
මේ වන විට චයිනා මර්ටන්ට් සහ චයිනා හාර්බර් අනුබද්ධිත ආයතනවලින් හිටපු ජනාධිපතිවරයා මුදල් ලබාගත් බවට විදේශ මාධ්‍යයක් මඟින් කරුණු අනාවරණය කර තිබෙනවා. මේවා ආණ්ඩුවේ සහය ඇතිව කරන මඩ ප්‍රචාරයන් බව ඇතැමුන් පවසනවා?
නිව්යෝර්ක් ටයිම්ස් කරුණු කාරණා බොරු නම් ඊට එරෙහිව හිටපු ජනාධිපතිවරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව ඒ ලිපිය ලියන මාරියා අබී හබීබ් මාධ්‍යවේදිනිය කියා තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කළා. එතුමට විතරක් නෙමෙයි රටේ ඕනම පුරවැසියකුට පුළුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලා මේ රටේ සුදුවන මූල්‍ය අක්‍රමිකතා පිළිබව සොයා බලන ලෙස පැමිණිලි ගොනු කරන්න.
ඔබතුමිය අධිකරණ අමාත්‍යවරිය ලෙස අනිසි ලෙස බලය පාවිච්චි කරනව කියල ඇතඅමුන් චෝදනා කරනවා?
පුළුවන් නම් මම ඒ විදියට බලය පාවිච්චි කළ එක අවස්ථාවක් පෙන්වන්න. මම ඇමති වුණා කියල විනිසුරුවරුන්ට ටෙලිෆෝන් කරලා කවුරුවත් හිරේ දාන්න ගිහින් නැහැ. අධිකරණය තුළදී ටෙලිෆෝනය නාද වුණොත්, කවුරු හරි අනිසි ලෙස හැසුරුණත් ඔවුන්ට නීතිය මඟින් දඩ ගසනවා. දේවාලයට ඇත් පැටවකු ලබා දෙන්නැයි බස්නායක නිලමේතුමා මගෙන් ඉල්ලීමක් කළා. එය ඉටු කරන්න වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා හරහා කටයුතු කරනවා. එසේ නොමැතිව කැලේ ඉන්න අලි පැටව් අල්ලලා ඉස්සර වගේ පන්සල්වලට දෙන්න අපි සූදානම් නැහැ. නීතිගරුකව හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව ඉටු කිරීමයි මේ ආණ්ඩුවේ අරමුණ.
සංවාදය - රසික කොටුදුරගේ