එය විහිළුවක් නොවේ! | Page 3 | සිළුමිණ

එය විහිළුවක් නොවේ!

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණය සිදු කෙරෙන වේදිකාවේ පවත්වන ලද ආන්දෝලනාත්මක කථාවෙහි සාරය උකහාගැනීම හෝ නිවැරදිව විශ්ලේෂණය කිරීම පසෙක තබා, මේ වන විට සිදු වෙමින් පවතින්නේ, ඒ කථාවෙන් වියුක්ත කරගන්නා ලද පද පේළි කිහිපයක් අල්ලාගෙන, ‘ආතල්’ ගැනීමේ ක්‍රියාවලියක් පමණි. එය ශ්‍රී ලාංකික අපට උරුම වූ දෙයකි. අපගෙන් බහුතරය, ඕනෑම සමාජ කතිකාවකට සම්බන්ධ වන්නේ හුදු විනෝදාස්වාදය සඳහා මිස, එහි හරය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට නොවේ. එහෙත්, 2015 ජනවාරි 08 විප්ලවය සහ එහි පශ්චාත් විප්ලවීය කළමනාකරණය පිළිබඳ සුවිශේෂ සිතුම් දහරාවකට සිරිසේන ජනපතිවරයාගේ මේ කථාව කුළුගැන්වීමක් කරන බව, සිදු වූ සියලු දේත්, සිදු කළ සියලු දේත්, සිදු වන්නට තිබෙන සියලු දේත් සැලකිල්ලට ගෙන බලන ඕනෑම කෙනකුට පෙනී යා යුතුය.

මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපේක්ෂා කළ සාධාරණ සමාජය සහ යහපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් සහ ඒ හර පද්ධතියේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය වන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් මෙරට ලක්ෂ 62ක් ජනයා ඡන්දය භාවිත කළ ජනවාරි 8 වැනිදා සිදු වූයේ, කවුරුන් කෙසේ කීවත්, මෙරට දේශපාලනයේ පමණක් නොව, ගෝලීය දේශපාලනයේම සන්ධිස්ථානයකැයි කිව හැකි විප්ලවයකි. වෙනත් රටවල ඒකාධිපති වියරුව සහ අනීතික පැවැත්ම ‘බුලට්-එකෙන්’ අවසන් කරන්නට ජනතාව අරගල කරද්දී, මෙරට සබුද්ධික ජනතාව ‘බැලට්-එකෙන්’ ඒ ප්‍රශ්නය විසඳූහ. එහි ප්‍රබලම සුවිශේෂත්වය වන්නේ කේවල සිවිල් පුරවැසියන්ට සිය පුරවැසි අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කරමින් රාජපක්ෂ පාලනයේ අන්ධකාරයට එරෙහි සටනට හඬ දීමට සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රබල වේදිකාවක් සකස් කර දීමත්, ඒ වේදිකාවේ පරිණාමයක් ලෙස එම ව්‍යාපාරයට ජයග්‍රහණය හිමි වීමත්ය.

එසේ සිදු කළ විප්ලවයේ ගරුත්වය රැකෙන යම් දෙයක් මේ සිරිසේන-වික්‍රමසිංහ පාලනය විසින් සිදු කළා නම්, ඒ ප්‍රබලම සිද්ධිය වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පක්ෂව ඡන්ද 214කින් සභා සම්මත කරගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කියන පරිදිම, පාර්ලිමේන්තුවේ සමස්ත සභිකයන්ගෙන් තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත විය යුතු ඒ පනත් කෙටුම්පතට අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ආසන 47කින් පමණක් සමන්විත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අපොහොසත් වෙද්දී, ආසන 144න් සමන්විත, සහ එයින් ආසන 129ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්, එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පිරිවර මේ පනතට පක්ෂ ආස්ථානයකට ගෙන ඒමට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වීම ඍජු වාසිදායක සාධකයක් ලෙස බලපෑවේය.

මෙයට අමතරව දින සියයේ සම්මුතියට අනුරූපව ශ්‍රිලනිප-එජාප සම්මුතිවාදි රජයක් පවත්වාගෙන යෑමටත්, එබඳු රජයක පැවැත්මට අත්‍යවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබගැනීමටත්, ඒ සියල්ලටත් වඩා වැදගත් අය-වැය බඳු ප්‍රධාන යෝජනා සම්මත කරගැනීමටත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රිලනිප නායකත්වයෙහි උපක්‍රමික වටිනාකම ඍජුව බලපෑ බව නොරහසකි. පශ්චාත්-විප්ලවීය ජනවාරි අට ගැන අප කථා කරන විට, ඉහත සාධක දෙක සහ එමඟින් ඉටු වූ දේ, හෙවත් විධායක ජනාධිපති ධුරයේ ඒකාධිපති ලක්ෂණ කප්පාදු කිරීමේ ක්‍රියාවලිය ගැන එම විප්ලවයේ ගාමක බලවේගයන්ට ඍජුව දායකත්වය දැක්වූ මේ ලියුම්කරුවා තුළ ඇත්තේ සුපසන් හැඟීමකි.

එහෙත්, එයින් පසු සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක කිහිපයෙන් මතු වන, ජනවාරි අට ජනතා ව්‍යාපාරයට සහ එම අරගලයේ ගරුත්වයටත්, මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂාවන්ටත් සිදු වූ හානිය සහ කැළල, අප විහිළුවෙන් තහළුවෙන් යටපත් වන්නට ඉඩ දිය යුතු නැත. බොහෝ දෙනා ඒ කථාවේ පද දෙපෙළක් ඩැහැගෙන විහිළුවෙන් යට කරන්නට වැර දරන්නේ, ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුතු, ඒ වැරදුණු තැන්ය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ පවුලේ ඥාතීන් සහ පැමිණිල්ලේ නීතිඥයන් විමසා, එකී රගර් ක්‍රීඩකයාගේ ඝාතනයට අදාළ පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාවලියට සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි විමසන ලෙස ජනපති මෛත්‍රී සභාවෙන් ඉල්ලා සිටියේය. මේ කථාව කිසි විටෙකත් අත් නොහැරිය යුතු කථාවකි. මේ කථාව කියන්නේ අන් කවරකුවත් නොව රටේ විධායක ජනපතිවරයාය.

අනෙක් වචනවලින් යෙදුවොත්, මෙවැනි අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කරන, එම කටයුතු භාරව සිටින විධායකයේ නෛතික ශාඛා වන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ එහි විශේෂ අපරාධ විමර්ශන ඒකකයන්ගේ ප්‍රධානියා හෙවත් විධායකයේ ප්‍රධානියා වන ජනපතිවරයාය. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව බඳු රාජ්‍ය ආයතනවල උච්ඡතම ස්ථානය හොබවන තැනැත්තාය.

තාජුඩීන් ඝාතනයට අදාළ ප්‍රබල සාක්ෂි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ ප්‍රබල සාක්ෂි, ප්‍රවීණ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමට අදාළ ප්‍රබල සාක්ෂි, ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට අදාළ ප්‍රබල සාක්ෂි ඇතුළුව සිය ගණනක් සිවිල් පුරවැසියන්ට, ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට සිදු වූ සැහැසිකම්වලට අදාළ පරීක්ෂණ සාක්ෂි ප්‍රබලව ඉස්මතුව තිබියදීත්, ඒවාට කෙළින්ම ඇඟිල්ල දිගු වන පාර්ශ්ව අද ඉතා නිදහසේ, සැහැල්ලුවෙන් අප සමාජයේ සැරි සරති. චෝදනා ලැබූ අයද කෙටි කලකින්ම ඇප ලබති. චෝදනා පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරන, ඒවාට එරෙහිව නඩු ගොනු කරන පාර්ශ්වයන්ට තර්ජන ගර්ජන එල්ල කරවති. එසේ කරනවා පමණක් නොව, යම් මතු දිනෙක මෙරට ජනාධිපති පදවිය පවා යළි ලබාගෙන, ගිලිහී-ගිය දේශපාලනික ආධිපත්‍යය යළි ස්ථාපනය කරගැනීමට සිහින දකිති.

යම් වරදකට චෝදනා ලැබූ මිනිසුන් අධිකරණ ක්‍රියාදාමයක් අවසන් වන තුරු එළියේ සිටීම අපට ගැටලුවක් නොවේ. එහෙත්, ප්‍රබල සාක්ෂි යටපත් කරමින්, ජනවාරි අට විප්ලවයට දායක වූ ජනතාවගේ අභිලාෂයන්ට සහ සියදිවි පරදුවට තබා ඒකාධිපති වියරුවට එරෙහිව සටන් කළ අයගේ අරමුණුවලට කොකා පෙන්නමින්, අපරාධකරුවන් රකිමින්, ප්‍රභූ පැලැන්තියේ දේශපාලන අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙන සහ එබඳු අපරාධකරුවන්ට යළි බලය දිනාගැනීමට වුවමනාවෙන්ම මං පාදන, පාලනය ගැන නම් අපේ අතිමහත් විරෝධයක් පවතී.

එසේ හෙයින්, විහිළුවෙන් තහළුවෙන් මෙවැනි ඛේදජනක ප්‍රස්තුතයන් යටපත් වන්නට නොදී, මාධ්‍යවේදීන් ලෙස අප වඩාත් නිර්භයව ඒ පිළිබඳව කථා කළ යුතුය; යම් කිසි ආන්දෝලනාත්මක කථාවක නිවැරදි සාරය අනුව සාකච්ඡා කරන්නට අපේ ජනතාව හුරු කළ යුතුය.

රජයක අභ්‍යන්තරයේ සිදු වෙමින් පවතින ප්‍රභූ පැලැන්තියේ දේශපාලනික ‘ඩීල්’ සහ ‘ගේම්’ ගැන මේ අන්දමින් මතවාදයක් පුපුරුවා හරින්නට ජනපතිවරයා ඉදිරිපත් වීම පැසසිය යුතු කරුණකි. එනමුත් විධායක ජනපතිවරයා ලෙස, තවමත් විශාල බලතල ප්‍රමාණයක් සහිතව ඒ තනතුර හොබවන ඔහුද සෑහෙන දුරට ඒ ජනතා අභිලාෂයන් අයාලේ යෑම සහ මාදුළුවාවේ සෝභිත සමිඳුන්ගේ ජවය නාස්ති වීම ගැන වගකිව යුතුය. එනමුත්, ඒ වගකීම ඔහුගේ පිඟානට පමණක් බෙදා අත පිසදමාගැනීමට රජයේ සිටින අනෙක් කිසිදු පාර්ශ්වයකට හැකියාව නැත.

මේ රජයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලනයට එරෙහිව පෙරමුණ ගත් සියලු දෙනාගේත්, ඒ පාලනය විවේචනය කිරීමේ වරදට ජීවිත අහිමි වූ සියලු දෙනාගේත් ගරුත්වය රැකීමේ ශුද්ධ වූ වගකීම තිබේ. එය ප්‍රභූ පැලැන්තිය උනුන් ආරක්ෂා කරගන්නා ‘ඩීල්වලින්’ හෝ ‘ගේම්වලින්’ අත්හළ නොහැක්කේය; ජනතාවගේ නාමයෙන් අත්හළ නොහැක්කේය. අපි ඒ වගකීම යළි යළිත් පෙන්වා දෙන්නෙමු. 

Comments