
හැත්තෑ හතේ මහ මැතිවරණ සටනේ අවසන් දින කීපය තුළ ජේ.ආර්. ජයවර්ධන මහතා රැස්වීම් අමතනු බැලීමට විශාල පිරිසක් රොක් වූහ.
ඒ වනවිට දවස පත්‍රයේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ එම්.ඩබ්ලිව්. අභයපාල මහතා දවස ප්‍රධාන කර්තෘවරයාගේ අවසරය සහිතව මට විශේෂ රාජකාරියක් බාරදුන්නේ ය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අවසන් රැස්වීම් වාර්තා කිරීම ඒ රාජකාරියයි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මැතිවරණ චාරිකා වාර්තා කිරීම සඳහා තවත් කණ්ඩායමක් ද පත්කර තිබූ අතර කොළොන්නාව, අවිස්සාවේල්ල, කිරිඇල්ල හෝමාගම සහ මහරගම මැතිවරණ රැස්වීම් මාලාව පැවැත්වුනේ එකම දිනයකදී ය. මේ සියලු රැස්වීම් ආවරණය කිරීම මට බාර විය.
කොළොන්නාවේ සහ කඩුවෙල රැස්වීම් වාර්තා කිරීම වයිමන් හෙට්ටිආරච්චි මහතාට ද බාර විය. රැස්වීම අවසන් වූ වහාම වයිමන් මගේ වාර්තා පිටපත ද රැගෙන කාර්යාලයට දිව ගියේ ය.
මගේ ගමන් පහසුව සපයා ගත්තේ කඩුවෙලට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ, පාදුක්කේ එම්.ඩී.එම්. ජයවර්ධන මහතාගේ 1 ශ්‍රී 8807 දරණ දැවැන්ත බෙන්ස් රථයෙනි. කොහේ හෝ රැස්වීමක දී මා දුටුවිට ඔහුගේ මෝටර් රථයේ කොළඹට රැගෙන ඒමට එම්.ඩී.එච්. කලක සිටම පුරුදුව සිටියේ ය.
තවමත් ජීවත්ව සිටින (දවස ඡායාරූප ශිල්පී) ඒ.එන්. අමරසිංහ සහ ලංකාදීප වාර්තාකරු යසසිරි විජේසේකර ද මේ දුර්ලභ වරප්‍රසාදය ලැබුවෝ ය. සෞඛ්‍යය ඇමැතිව සිටි එම්.ඩී.එච්. මේ ගමන්වලදී අපට ප්රවෘත්ති ද ලබාදුන්නේ ය. මේ ඍජු පුරුෂයා ඇතැම් අකටයුතු ප්‍රසාද හෙළි ෙකළේ ය. යන එන විට ආහාර පාන සපයා අපට සප්පායම් කළ ඔහු නිවසෙන් රැගෙන එන කසායක් පානය කිරීමට පුරුදුව සිටියේ ය.
ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණ රැස්වීම්වලදී වැඩිවේලා කතා කෙළේ නැත. විනාඩි 20 – 30 අතර වූ කාලයක් ඔහු නියමිත කාල සටහන අනුව ඊළඟ රැස්වීම බලා පිටත් විය.
අවිස්සාවේල්ලට යන අතරතුර ජේ.ආර්. ජයවර්ධන මහතා දොම්පේ සිය පැරැණි සගයකුගේ නිවසට යෑමට අමතක කෙළේ නැත. මගේ කල්පනාවේ හැටියට නම් මේ සහය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ සීයා විය යුතු ය.
ජේ.ආර්. ජයවර්ධන මහතා කිසිවකුට අපහාස කෙළේ නැතත්, ඔහුගේ කතා උපහාසයෙන් පිරී තිබුණි. 1977 ඇහැලියගොඩට තරග කළ වාසුදේව නානායක්කාර මහතාගේ නම සඳහන් නොකර ඔහු වාසුදේව මහතා ගැන සඳහන් කෙළේ ය.
“සමහරු මාක්ස්වාදය ගැන කතා කරනවා ඔවුන් හිතනවා මාක්ස්වාදය හා විප්ලවය තියෙන්නේ රැවුල් ගස් අස්සේ කියලා. ඒක නිසා රැවුල් වවනවා. මගේ ගෙදරත් මාක්ස්වාදී පොත් තිබෙනවා. මං ඒවා කියවල තියෙනවා. එහෙම නෑ කියල කියන කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ල ඒ පොත් බලල මගෙන් ප්‍රශ්න අහන්න. මං උත්තර දෙන්නම්. තමන්ට තේරෙන්නෙ නැති දෙයක් තියනවා නම් මගෙන් අහන්න මං ඒක තෝරල බේරලා දෙන්නම් යැයි ඔහු කීවේ ය.
අවිස්සාවේල්ල ආසනයේ දී දිනේෂ් ගුණවර්ධන මහතා හැඳින්වූවේ ‘මාගේ යාළුවෙක් වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයා ලෙසිනි. තමාගේ මිත්‍රයාගේ පුත්‍රයා තමාගේ ද පුත්‍රයන් යැයි ඔහු කීය.
පිලිප් ගුණවර්ධන මහතා සිය දේශපාලනය අවසන් කෙළේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික රජයට එක්වීමෙනි. පියාගේ කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යෑම පුත්‍රයකුගේ යුතුකම යැයි කී ඔහු පියාගේ දේශපාලනය ඉදිරියට ගෙන යෑමට නම් දිනේෂ් පුත්‍රයා සිය පියා දේශපාලනය නතර කළ තැන සිට ඉදිරියට යා යුතු යැයි ද ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ක්‍රියා කළ යුතු යැයි ද තර්ක ෙකළේ ය.
හෝමාගම ආසනයට ශ්‍රී ලනිපයෙන් තරග කෙළේ යසරත්න අමරතුංග මහතා ය. හෝමාගම එජාප රැස්වීම පැවැත්වුණේ යසරත්න මහතාගේ කාර්යාලයක් ඉදිරිපිට ය. 1966 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේ විත්තිකරුවකුව සිටි ඔහු ගැන ජේ.ආර්. සඳහන් කෙළේ ‘හමුදා ඇඳුම් ඇඳගත් කුමන්ත්‍රණකාරයෙක්’ ලෙස ය. නැවත කුමන්ත්‍රණ කරන්නට ඉඩනොදී ඡන්ද බලය පාවිච්චි කර ඔහු ගෙදරටම සීමා කළ යුතු යැයි ජේ.ආර්. ජයවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.
මගේ පවුලේ සාමාජිකයකු වූ යසරත්න මහතා සිය මැතිවරණ කාර්යාලයේ කොණක මේසයක් හා පුටුවක් තබා එජාප රුස්වීම් වාර්තා කිරීමට මං ඇතුළු කීපදෙනෙකුට පහසුකම් දී සෙසු සප්පායම් ද කෙළේ ය.
මහරගම ආසනයේ අවසන් රැස්වීම පැවැත්වූයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වෙන්නටය. එජාපයෙන් තරග කළේ ප්‍රේමරත්න ගුණසේකර මහතා ය. එවක පැවැති ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ස්ටැන්ලි තිලකරත්න මහතා තරග ෙකළේ ය. ස්ටැන්ලි තිලකරත්න මහතා ප්‍රකට අධිනීතිඥයකි. හිටපු කථානායකයා ප්‍රේමරත්න මහතා කටුවාවල ප්‍රදේශයේ එජාප තරුණ ක්‍රියාකාරියෙකි.
“මට ලොකු පාරක් කපන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒකට යන්ත්‍ර සූත්‍ර ඕනෑ වෙනවා. උදලු ගල් කටු ඕනෑ වෙනවා. මේ පාර කපන්න මං උදැල්ලක් ගල් කටුවක් අතට දෙනව කියල හිතල ගුණසේකරව පත් කරල එවන්න“ යැයි ජේ.ආර්. කීය. ගුණසේකර ජයග්‍රහණය කෙළේ ය.
“සිය රැස්වීම්වලට සෙනඟ ගංගාවක් එනු දකින ජේ. ආර්. එය සෝඩා බෝතලය කැඩීමක් බදු සිදුවීම කැයි කීය. ඒ ඒ නගරවල සිටි පැරැණි පක්ෂ නායකයන් මෙන් ම පැරැණි සාමාජිකයන් ද සිහිපත් කිරීම ඔහුගේ සිරිතය. සැර වැර විය තැන තරවටු කිරීමට ද අමතක කෙළේ නැත. කැස්බෑව රැස්වීමේ දී එක් කතිකයෙක් අපහාසාත්මක දේ කියනු අසා සිටි ජේ.ආර්. මයික්‍රපෝනය අතට ගෙන ඒ කතාව අවසානයි. දැන් ඊළඟ කතිකයා කතා කරන්න කියා අපහාසාත්මක කතාවට තිත තැබුවේ ය.
මැතිවරණ ප්‍රතිඵල අනුව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය රටම පිළිගෙන තිබුණි. හිමිදිරියේ සිට ජයවර්ධන මහතාගේ වෝර්ඩ් පෙදෙස නිවස ජනගඟක් පිරෙන්නට විය.
ඇතැම් පිරිස් බස් මඟින් රැගෙන එන ලදුව පෝලිම් ගැසී ජයවර්ධන මහතා දැක ගැනීමට පැමිණියහ. සුදු දිග කලිසමකින් සහ කොටු කොටු අත්දිග කමිසයකින් සැරැසී සිටි ජයවර්ධන මහතා වරින් වර නිවසින් එළියට පැමිණ ජනතාවට ආචාර කොට බොහෝම ස්තුතියි බොහෝම ස්තුතියි ඉදිරියටත් සහයෝගය දෙන්නැයි ඉල්ලා සිටියේ ය.
ඔහුගේ මැතිවරණ සටනට සහාය දුන් සියලු මාධ්‍යවේදීන් හමුවට ආ ජයවර්ධන මහතා ඔවුනට වෙන වෙනම කතාකොට ස්තුති කිරීමට ද අමතක කෙළේ නැත.
කරුණාරත්න අමරතුංග