චිත්‍ර කතාවත් රැකගත යුතු කලාවක් | සිළුමිණ

චිත්‍ර කතාවත් රැකගත යුතු කලාවක්

චිත්‍ර කතාව බටහිර කාටුන් ශෛලියෙන් ලංකාවට උරුම වූවත් එහි ඇතැම් ලක්ෂණ තොරණ ලක්ෂණවලට සමානකමක් දක්වන බව පෙනේ. චිත්‍රකතා කලාව මීට දසක කීපයකට පෙරාතුව ලංකාවේ ජනහද ඇද බැඳගත් අපූරු කලාවක් වූ අතර එවකට ලංකාවේ ප්‍රකාශිත සෑම පුවත්පතකම පාහේ අනිවාර්යය විශේෂාංගයක් වී තිබිණි. එකල චිත්‍රකතා පොත් වශයෙන් පළවීමද සුලබව දක්නට ලැබිණි.

ලාංකේය සාහිත්‍යයේම කොටසක් වන තරමට බැඳි තිබූ චිත්‍ර කතාව පසුකාලීනව දැඩි සේ වාණිජකරණයට ලක්වීම නිසා එහි ගුණාත්මක බව පිරිහි ගියේ චිත්‍රකතාව ළමා සහ තරුණ මනස විකෘති කරන අවර ගණයේ කලාවක් ලෙසට ගැරහුම් ලබමිනි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ චිත්‍ර කතාව පාඨකයන්ගෙන් දුරස් වී අභාවයට යාමේ අවදානමට ලක්වීමයි.

අද වන විට චිත්‍රකතා කලාව වළපල්ලටම ගොස් ඇතිවාක් මෙනි. හැත්තෑව අසූව දශකයේදී පාඨකයන් බොහොමයක් දෙනා දිනපතා හෝ සතිපතා හෝ පුවත්පතක් අතට ගත් සැණින් පෙරළා බලන්නේ චිත්‍රකතාය. එහෙත් අද වන විට බොහොමයක් පුවත්පත්වලින් ද චිත්‍ර කතාව ගිලිහී ගොසිනි.

එකල චිත්‍රකතාවලටම නම් දැරූ ශිල්පීන් විශාල පිරිසක් වූහ. ඔවුන්ට සමාජයේ ඉහළම පිළිගැනීමක් ද විය. එය කෙසේ වෙතත් චිත්‍ර කතාව යනු වළපල්ලට ගොස් අභාවයට යා යුතු කලාවක් නොවන බව අපගේ හැඟීමයි. එය තවදුරටත් රැකගත යුතු කලාවකි.

මෑත කාලීනව නවීන තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් චිත්‍රකතා ග්‍රන්ථයක්ද එළිදැක්වූයේ නව තාක්ෂණයද චිත්‍ර කතා කලාවට එක්කළ හැකි බව පසක් කරමිනි.

උපුල් වික්‍රමනායක

Comments