ගුරු විදුහල්පති වැටුප නැංවීමෙන් අධ්‍යාපන පරිපාලකයන්ට අසාධාරණයක් | සිළුමිණ

ගුරු විදුහල්පති වැටුප නැංවීමෙන් අධ්‍යාපන පරිපාලකයන්ට අසාධාරණයක්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයට සම්බන්ධ සේවාවන් 05 ක් තිබේ. එම සේවාවන් 05 වන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවයයි.

මෙම සේවාවන්ට අදාළ ධූරාවලියේ පහළින්ම ඇති සේවාව ශ්‍රී ලංකා ගුරු සේවය වන අතර, එම සේවාව තුළ සිටින ගුරුවරුන්ට තරග විභාග හා සම්මුඛ පරික්ෂණවලට පෙනී සිට ඒවායෙහි ප්‍රතිඵල මත සෙසු සේවාවන්ට උසස්වීම් ලබා ගැනීමට හැකියාව තිබේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය හා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය දීප ව්‍යාප්ත විධායක මට්ටමේ සේවාවන්ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ 03/2016(iv) හා 2022.01.05 දිනැති චක්‍රලේඛය මගින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන් තුනෙහි වැටුප් සංශෝධනයක් සිදු කිරීම නිසා එම සේවාවන්ගේ වැටුප විශාල ලෙස වැඩි වීමක් සිදු විය. එම වැටුප් වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ට ද විශාල වැටුප් විෂමතාවක් ඇතිව තිබේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම විවෘත, සීමිත හා කුසලතා යන පදනම් 3 කින් සිදු කරන බැවින් මෙම විෂමතාව දෙයාකාර වේ.

මෙම ප්‍රශ්නය විසඳීම අසීරු කටයුත්තක් නොවන අතර, එය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට එක් වාක්‍යයක් අලුතෙන් එකතු කිරීමෙන් (පිරිවෙන් ගුරුවරුන්ගේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳූ ආකාරයට) විසඳුමක් ලබා දිය හැකිවේ. මෙම ප්‍රශ්නයට සම්බන්ධ පිරිස දහසකටත් අඩු පිරිසක් හෙයින් ඔවුන්ගේ මෙම වැටුප් විෂමතාව ඉවත් කිරීම නිසා වෙනත් සේවාවන් අතර අලුත් වැටුප් විෂමතාවයක් ඇති නොවන නිසාත් මෙම විසඳුම් ක්‍රියාමාර්ගය අසීරු කටයුත්තක් ද නොවේ. ජනාධිපතිතුමාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීමේදී කැබිනට් අනු කමිටුව විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය අනෙකුත් ක්ෂේත්‍රයන්ට වඩා සුවිශේෂී ක්ෂේත්‍රයක් ලෙස ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනිම පදනම් කර ගනිමින් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය දිප ව්‍යාප්ත සේවා ගණය තුළ සුවිශේෂ සේවාවක් ලෙස ඉහළ වැටුප් තලයක පිහිටුවිය යුතුය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් මුහුණ පා සිටින මෙම බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළ හැකිය.

සීමිත හා කුසලතා පදනමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ මේ වනවිට වැටුප් අවාසියක් සිදුව ඇති නිලධාරීන් ගුරු සේවයේ හෝ විදුහල්පති සේවයේ (අදාළ සේවය අනුව) සිටියේ යැයි සලකා 2022.01.01 දිනට ගුරු සේවයේ හෝ විදුහල්පති සේවයේ වැටුප් සකසා ඉන්පසු අධ්‍යාපන පරිපාලන සේවයේදී ලබන වැටුප නැවත සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 වැනි පංතියේ වැටුප් වර්ධක අගය වන 1630.00 හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 වැනි පංතියේ වැටුප් වර්ධක අගය වන 1650.00 ට වඩා වැඩි වැටුප් වර්ධක අගයක් අධ්‍යාපන පරිපාලන සේවයේ 111 වැනි පංතිය සඳහා ලබා දීම හා එම සේවාවන්ට වඩා ඉහළ ආරම්භක වැටුප් තලයක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට ලබා දීමත් එයට සමගාමීව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 වැනි පංතියේ හා 1 වැනි පංතියේ වැටුප් තල හා වැටුප් වර්ධක අගයන් ඉහළ දැමීම ද කළ හැකිය.

අධ්‍යාපනයට සම්බන්ධ සියලුම පිරිස් තෘප්තිමත්ව, කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම තුළින් රටේ අධ්‍යාපන තත්ත්වය වඩාත් ඉහළ තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වනු ඇති බවත් සඳහන් කරමි.

ඩී.එම්. ප්‍රසන්න කුමාර දිසානායක 
ප්‍රධාන ලේකම් 
ඌව පළාත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ සංගමය

Comments