වත්මන් තරුණ පරපුර අධ්‍යාපනය සහ දැනුම සොයා යාමට වඩ වඩාත් නැඹුරු වන යුගයකි. ඒ අතරේ තරුණ පිරිස් නීතිය පිළිබඳ අධ්‍යයනයක යෙදීමේ ප්‍රවණතාව ද ඉහළ අගයක් ගන්නා බවක් පෙනේ. එහිදී නීතිය ඉගෙන ගැනීම සඳහා විශ්වවිද්‍යාල නීති පීඨ හා ශ්‍රී ලංකා නීති විද්‍යාලය පෙරමුණේ ඇත.
සාමාන්‍ය ජනයා නීති පීඨවලට හෝ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අධ්‍යාපන සුදුසුකම් අඩු මට්ටමක පැවැතුණත් ප්‍රායෝගික නිතීය පිළිබඳ දැනුමෙන් ඔවුන් මනා සේ පොහොසත්ව සිටී. නීතිය පිළිබඳ ලියැවී ඇති පොතපත පරිශීලනය කරන තරුණ ප්‍රජාව හා නීතිය හදාරන ජනයා මහේස්ත්‍රාත් අධිකරණ - දිසා අධිකරණ - මහාධිකරණ - ත්‍රිපුද්ගල මහාධිකරණ - අභියාචනාධිකරණ සහ අවසාන අභියාචන සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන්ලා විසින් දෙනු ලබන තීන්දු මත එම නීති පොත්පත්වල සඳහන් නීතිමය වගන්ති හැදෑරීමට බොහෝ සේ උනන්දුවක් දක්වති. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නීති සම්පාදනය කළත් එම නීති ඇතුළත් පනතේ වගන්ති අර්ථ නිරූපණය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ලක් කෙරෙනු ඇත. ඉහත අධිකරණ අතර කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය - අභියාචනාධිකරණය හා ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිතව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ - අභියාචනාධිකරණ හා මහාධිකරණ නඩු තීන්දු, නව නීති වාර්තා (NLR) ශ්‍රී ලංකා නීති වාර්තා (SLR) මඟින් එළිදැක්වේ.
කොළඹට දුර බැහැරව යාපනය, මඩකළපුව, ගාල්ල, මාතර වැනි පෙදෙස් පමණක් නොව රට පුරාම සිටින ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා ත්‍රිපුද්ගල මහාධිකරණ තුළින් ලබා දෙන අතිශය වැදගත් නඩු තීන්දුවක් කියවා පරිශීලනය කිරීමට කොළඹට පැමිණ තීන්දු පිටපත් ලබා ගැනීමට සිදු වේ.
වර්තමානය වන විට තාක්ෂණය දියුණු තත්ත්වයක පවතින නිසා අධිකරණ පද්ධතිය තුළ එම තාක්ෂණය ස්ථාපිතකොට ජනතාවට අවශ්‍ය අධිකරණ තීන්දු තීරණවල සහතික පිටපත් තම පදිංචි ප්‍රදේශයේ අධිකරණයෙන් ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය තුළින් සකස් කරන්නේනම් මහඟු අස්වැසිල්ලකි. එසේම ලංකාවේ ඇති ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණ, කම්කරු විනිශ්චය සභා, දිසා අධිකරණ හා මහාධිකරණ මඟින් ලබා දෙන තීන්දුවක පිටපතක් තීන්දුව ලබාදුන් අධිකරණයට අමතරව වෙනත් ඕනෑම අධිකරණයකින් ලබා ගැනීමට වැඩපිළිවෙළක් යෙදීම මැනවි.
අද වන විට ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක පදිංචි ජනයාට ඕනෑම පළාතක උපත් - මරණ - විවාහ සහතික පිටපතක් තම පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකියාව ඇති බැවින් නඩු තීන්දු පිටපතක් පළාතේ අධිකරණයකින් ලබා ගැනීමට ද උපකාර පතමි.
ආනන්ද ආරියවංශ
මිනුවන්ගොඩ