ලෝක ජල දිනය සමරද්දී ජල නළ නොමැතිව ළතැවෙන අවුකන ජල පාරිභෝගිකයෝ | සිළුමිණ

ලෝක ජල දිනය සමරද්දී ජල නළ නොමැතිව ළතැවෙන අවුකන ජල පාරිභෝගිකයෝ

රජරට ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්වල මෑතක සිට ශීඝ්‍ර ලෙස වකුගඩු රෝගීන් හඳුනා ගැනෙන ප්‍රදේශයක් බවට ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්ථා වන්නේද මෙකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. නමුත්, ජල සම්පාදන මණ්ඩලයට අයත් ප්‍රාදේශීය ජල පෝම්පාගාරයක් ඉදිකර ඇති ගල්නෑව උප පොළෙන් පානය සඳහා ජලය ඉල්ලා අයදුම්පත් එවන ප්‍රමාණය මේ වන විට අති විශාලය. ඔවුන්ගෙන් සීමිත පිරිසකට පමණක් ජලය ලබාදීමට මණ්ඩලය ක්‍රියා කරයි.

දැනට වසරකට පමණ පෙර සිට ඉල්ලුම් කර ඇති ජලනළ දීර්ඝ කර බීමට ජලය සපයා දෙන අතුරු නිවාස සඳහා මේ වන තුරුත් ජල සම්බන්ධතාව ලබා දී නොමැත. අවුකන විහාරයට සම්බන්ධ වන ජලනළ පද්ධතියෙන් එම මාර්ගයෙන් අනෙක් පසට අයත් නිවාසවලට ජලය ලබාදීමට මණ්ඩලය මේ වනතුරු එකඟත්වයක් ලබා දී නොමැත. මණ්ඩලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසන සෑම අවස්ථාවකම පවසන්නේ, “තව සෑහෙන කලක් යනතුරු ජලනළ දීර්ඝ කිරීම සිදු නොවන බවය“. හේතුව ලෙස දක්වන්නේ ඒ සඳහා අවශ්‍ය ජලනළ සහ උපාංග මණ්ඩලය විසින් ඔවුන්ට ලබා දී නොමැති බවයි. එම උපාංග ලැබෙන දිනයක් මේ වනතුරුත් පැවසීමට නෙහැකි බවත්, එම උපාංග ලැබුණු විටෙක ඒ පිළිබඳව සලකා බලන බවත් මණ්ඩලයේ අදහසයි.

සෑම නිවෙසකම පානීය ජලය ලබා ගැනීමට ළිං සකසා ඇතිමුත්, එම ළිං ජලය පානය නිසා සෑම නිවෙසකම පාහේ වැඩිහිටියන්ගෙන් එක් අයෙකු හෝ කුඩා දරුවන්ගෙන් අයෙකු හෝ මේ වන විට වකුගඩු රෝගීන් ලෙස ලියාපදිංචිවී සිටීම ඛේදනීය තත්ත්වයකි. ඇතැම් නිවෙස්හි වැඩිහිටි මව්පිය දෙපළම මියගොස් ඇත්තේ ද වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් බවට දත්ත සටහන් පොත්වලද වාර්තා වී ඇත. ළිං ජලය අඩුපාඩුවකින් තොරව තිබුණත් පාවිච්චියට නුසුදුසු බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවාස හිමියන්ට දැනුම් දී ඇත.

මෙවැනි විනාශකාරි රෝගයකින් මිනිසුන් මිය යන්නට ඉඩ හැර ජල සම්පාදන මණ්ඩලය මගින් ජලනළ සම්පත ලබා නොදීමේ අරමුණ කුමක් ද?

ඒ සඳහා අවශ්‍ය උපාංග නිවාස හිමියන් ලබාදීමට කැමැති වුවත් මණ්ඩලය පවසන්නේ ඔවුන්ගේ ආයතන සංග්‍රහයේ නීතිවලට පටහැනිව එලෙස සම්බන්ධතා ලබාදීමට නොහැකි බවකි.

මොන යම් ආකාරයකින් හෝ අවුකන අතුරු මාර්ගවල ඇති නිවාසවලට පානීය ජල සම්පත ලබා දීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙස ප්‍රදේශවාසිහු බලාපොරොත්තු දල්වා බලා සිටිති.

ජෙනුලි ජිහන්සා 
අවුකන

Comments