ඉහළ යන බඩු මිල හමුවේ පහළ යන ජීවිත | සිළුමිණ

ඉහළ යන බඩු මිල හමුවේ පහළ යන ජීවිත

භාණ්ඩවලට පාලන මිලක් නොමැති නිසා කඩ හිමියන් පාරිභෝගික ජනතාවට හිතුමතේ අධික මිලට බඩු අලෙවිකර මුදල් උපයා ගනී. ඉන් ජනතාව අන්ත අසරණ වී ඇත. මුදල් ඇමති බැසිල් රාජපක්ෂයන් පසුගියදා රජයේ සේවකයනට, විශ්‍රාමිකයනට, සමෘද්ධිලාභීන්ට, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ආරක්ෂක අංශවල රණවිරුවනට දීමනාවක් ලබාදීමට කටයුතු කිරීම පෞද්ගලික අංශයේ සේවකයනටත් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් වතු කරයේ ජනතාවටත් තිරිඟු පිටි සඳහා සහනයක් ලබාදීම අගය කළ යුතුය. ඒ හිමිකම් ලැබූ අය සතුටු වෙති.

එදා වේල සොයාගෙන ජීවිකාව ගෙන යන කම්කරුවා ගැන කතා කරන්නට කෙනෙක් නැත. වෘත්තීය සමිති නැති නිසා තම දුක පැහැදිලි කර දීමට හැකියාවක් නැත. දිනෙන් දින ඉහළ යන බඩු මිල ගැන තම තමන් කතිකා කර ගන්නවා මිස වෙනත් විසඳුමක් නැත. තෙල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ප්‍රවාහන ගාස්තු වැඩි විය. කුප්පි ලාම්පුවෙන් එළිය බැලූ අයට ලාම්පු තෙල් නැතිවිය. ගෑස් මිල ඉහළ යෑම ගෑස් පිපිරීමත් සමඟ ජනතාව ගෑස් පාවිච්චියට බිය විය. භූමි තෙල් ලිප් සොයාගන්නට නැත. දරමිටි අද සුපිරි කඩවලත් විකිණීමට ඇත. ගම්බද ජනතාව වත්තෙන් දර සොයා ගත්තත් නගරබද ජනතාවට දරවලට අධික මිලක් ගෙවීමට සිදුවී ඇත.

අද බොහෝ දෙනා වර්ජන කරමින් බෝඩ් ලෑලි උස්සාගෙන මාර්ග අවහිර කරගෙන පෙළපාළි යති. වැඩි වැටුප්, බෝනස් දෙන තරමක් දෙන්නේ රජයේ සේවකයන්ටය. මින් සෑහීමට පත්වී ඇත්ද? ඉහළ යන බඩු මිල ගැන වර්ජන නැත. පිකටින් පෙළපාළි නැත. බඩු මිල වැඩි වුවද රජයේ සේවකයනට එතරම් ප්‍රශ්න නැත. ඒ අයගේ පඩියේ සිට අනෙකුත් දීමනා වර්ජන මඟින් ලබාගන්නට හැකියාව ඇත.

විදුලි බිලත් වැඩි වේද? ජනතාව තුළ සැකයක් ඇත. ඇමැති තුමා කියන්නේ විදුලි බිල වැඩි නොකරන බවය.

කොරෝනා ලෝක වසංගතය හමුවේ ලංකාව පමණක් නොව ලෝකයේම ආර්ථිකය කඩා වැටුණ බව අපි දනිමු. සෞඛ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ සුරු විරුවන් ජීවිත පරිත්‍යාග කරමින් කළ මෙහෙවර නිසා අපි කොළ එළිය ළඟට පැමිණ ඇත.සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් තමා තමන්ගේ යුතුකම ඉටු කරමින් තම පවුල ගම රට ගැන සිතා මානුෂීයව කටයුතු නොකළොත් රතු එළිය වැටෙන්නට පුළුවන.

ඇන්.කේ.පී. ප්‍රේමදාස ප්‍රනාන්දු 
පයාගල

Comments