
දශක ගණනාවක් තිස්සේ මේ රටේ ව්‍යවසායක පරපුර මුහුණ දුන් දැවෙන ප්‍රශ්න කිහිපයක් විය. එයින් එකක් වූයේ කොතරම් හොඳ ව්‍යාපාර සැලසුමක් තිබුණද එය ආරම්භ කිරීමට අවශ්‍ය ප්රාග්ධනය නැතිකමයි. ඊළඟ ප්‍රශ්නය වූයේ ප්රාග්ධනය සොයා ණයක් ගන්නට ගිය කල බැංකු ගානේ විඳින්නට සිදු වන රස්තියාදුවයි (අපේ ව්‍යවසායකයන් බොහෝ විට පැවසූයේ දියුණු වන්නට දුක් විඳින අවධියේ ණයක් ගන්නට බැංකුවල රස්තියාදු වන්නට සිදු වන’මුත්, අමාරුවෙන් දියුණු වූ පසු බැංකු පැමිණ ‘අපෙන් ණය ගන්නැ’යි ඔවුන් අබියස වැඳවැටෙන බවයි! එයද ඇත්තය). අමාරුවෙන් ණයක් අනුමත කරගත්තද ඊළඟට එළැඹුණු අභියෝගය වූයේ අවශ්‍ය ඇපකර තැබීමයි. බැංකු පොලී අනුපාතය ව්‍යාපාර දිරිය අවහිර කරන තවත් බාධකයක් විය. රටේ ඉහළ සිට පහළට තිබෙන සෑම තරාතිරමකම ව්‍යාපාර නායකයෝත්, ඔවුන් නියෝජනය කරන වාණිජ මණ්ඩලත් කාලාන්තරයක් තිස්සේ මේ මැසිවිල්ල නඟමින් සිටියහ; ඒ ඒ ආණ්ඩුවලට ඇමැතිවරුන්ට දොස් නැඟූහ.
ව්‍යවසායකයන් යනු ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සියුම් ඉවක් ඇති, තමන්ගේ අරමුණ කරා යෑමේ ධෛර්යය ශක්තිය හා ඉවසීම ඇති, ඒ වෙනුවෙන් අනේක කැප කිරීම් කළ හැකි පිරිසකි. අසීරු අභියෝග මධ්‍යයේ ව්‍යාපාර ලෝකය තරණය කරන ඔවුන්ට පැවති මේ බාධා ඉවත් කිරීම යනු හිණිමඟක් වෙනුවට අධිවේගි විදුලි සෝපානයක් සැපයීම වැනි වූ කරුණකි. මෙතෙක් කලක් ව්‍යාපාර ලෝකයේ අපේක්ෂාවක්, සිහිනයක් පමණක් වූ ඒ බාධා ඉවත් කිරීම මේ වන විට අපේ දෑස් ඉදිරියේම යථාර්ථයක් වී තිබේ. ඒ, රජයේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ හරහාය.
‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ සම්පූර්ණයෙන්ම මේ රටේ අලුත් ව්‍යාපාර බිහි කරලීම ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද්දක් වන අතර, මේ ණය යෝජනා ක්‍රම සාර්ථක කර ගතහොත් එය සමස්ත ලෝකයටම ව්‍යවසාය සංවර්ධනයේ සහ ආර්ථික සංවර්ධනයේ පූර්වාදර්ශයක් සපයන සිද්ධි අධ්‍යයනයක් වනවාට සැකයක් නැත. මේ වන විට රජය මේ ණය යෝජනා ක්‍රම ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ ගමට ගෙන යන්නට පටන් ගෙන තිබේ. එහි පළමු පියවර වූයේ පසුගිය සතියේ මොනරාගලදී එළිදුටු ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ මහා ප්‍රදර්ශනයයි. මේ ප්‍රදර්ශනය මඟින් මේ නව ණය යෝජනා ක්‍රම සමඟ අලුත් ව්‍යවසායක අදහස් රැසක්ද සාර්ථක ලෙස ගමේ ව්‍යවසායකයන් වෙත ගෙන යනු ලැබීය.
එතෙක්-මෙතෙක් පැවැති කිසිදු රජයක් මේ අයුරින් ව්‍යවසායකයන්ට ණය දුන් ඉතිහාසයක් අපට නැත. විවිධ රජයන් විසින් වරින් වර ගෙනෙන ලද විවිධ ණය යෝජනා ක්‍රම මඟින් සහනදායි පොලී අනුපාත යටතේ ණය දීමට කටයුතු කෙරුණද, ඒ ණය බොහෝ විට ලැබුණේ ව්‍යාපාරික වශයෙන් මනා ශක්තියක් ඇති ව්‍යවසායකයන්ට පමණි. ඔවුන්ටද මේ වෙනුවෙන් තම දේපළ ආදිය ඇපයට තැබීමට සිදු විය. එහෙත් වත්මන් දැවැන්ත ණය යෝජනා ක්‍රම යටතේ ව්‍යාපාරික ලෝකයට අලුතින්ම එන පුද්ගලයන්ට පවා පොලී රහිතව හෝ ඉතා සහනදායි පොලී අනුපාත යටතේ ණයක් ගෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පසුබිම නිර්මාණය වී තිබේ.
මේ ණය යෝජනා ක්‍රම තුළ ආණ්ඩුවේ රස්සා ඉල්ලා පාරට බැස කඳුළු ගෑස් කන තරුණ ජීවිතවලටද විසල් බලාපොරොත්තුවක් ජනිත කර තිබේ. ඒ වගකීමක්ද සහිතවය. එනම්: උපාධිධාරීන්ට රජය සම්පූර්ණයෙන්ම පොලිය ගෙවන ණයක් මඟින් රැකියාවක් වෙනුවට රැකියා සපයන්නකු බවට පත් වීමේ ඉඩ-කඩක් නිර්මාණය කර දී තිබේ. ඒ ‘ඇරඹුම’ නම් ණය යෝජනා ක්‍රමයෙනි. මීට අමතර ව තවත් ණය යෝජනා ක්‍රම ගණනාවකටම අදාළ පොලිය රජය විසින් ගෙවනු ලබන අතර, ණය ගන්නා ව්‍යවසායකයා ගෙවිය යුතු වන්නේ අදාළ ණය වාරිකය පමණි. මෙවැනි සහන ණය යෝජනා ක්‍රම ගණනාවකට අමතරව තෝරාගත් විභවයක් සහිත ව්‍යාපාර සැලසුම් වෙනුවෙන් කිසිදු ඇපයකින් තොරව රාජ්‍ය බැංකු මඟින් ණය ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට රජය ක්‍රියාවට නංවා ඇති අතර, මේ වන විට ඒ සඳහාද ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව මාධ්‍ය වාර්තා පළ විය.
ඒ අනුව දැන් ව්‍යවසායකයන්ට මෙතෙක් පැවති ලොකුම ප්‍රශ්නවලට විසඳුම් අත ළඟටම පැමිණ ඇත. මේ ව්‍යවසායකයන්ගේ මෙන්ම ඔවුන්ට මේ පහසුකම් සලසන රජයේ ඇත්තන්ගේත් ඊළඟ පියවර විය යුත්තේ කුමක්ද? ඔවුන් විසින් ආරම්භ කරන ව්‍යවසායන්හි ශක්‍යතාව තහවුරු කිරීමය. එහිදී අපට දැනට පවතින දැවැන්ත අභියෝගයක් ගැනද සිහි තබාගැනීම වැදගත්ය. ඒ අපේ දැවැන්ත වෙළෙඳ ශේෂයයි. අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වීමේ අභියෝගය එයින් මුල් තැන හිඳී. එයට අපට අභියෝග කළ හැකි හොඳම මඟ වන්නේ ලෝකය සමඟ තරග කළ හැකි නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අපට ඕනෑ තරම් අවකාශ ඇත. එබැවින් මේ දැවැන්ත ණය අවස්ථාව පසුපසම, ව්‍යවසායකයන්ට මේ අවස්ථා පෙන්වීමේ දැවැන්ත වැඩපිළිවෙළක්ද අවශ්‍යය. ඔවුන්ට ඒ මඟ නිසි ලෙස පාදා දුන හොත්, අපට ජාතියක් ලෙස දෙපයින් නැඟී සිටින්නට තවත් කල් ගත නොවනු ඇත.