
කාල් මාක්ස් කියන පරිදි ඉතිහාසය පුනරුච්චාරණය වන විදි දෙකක් තිබේ. විටෙක එය ඛේදවාචකයක් ලෙස පුනරුච්චාරණය වේ. තවත් විටෙක ප්‍රහසනයක් ලෙස පුනරුච්චාරණය වේ. අපට තිබෙන අත්දැකීමට අනුව ඉතිහාසය කෝලම් මඩුවක් ලෙසද පුනරුච්චාරණය විය හැකිය. එහෙත් එය ඉතාම සාහසික ඉරණමකි. මේ රටේ නාඳුනන තරුණ පිරිසක් විසින් මෙයට මාස තුනහමාරකට පමණ පෙර ගාලු මුවදොර දී පටන් ගන්නා ලද 'ජන අරගලයේ' අරමුණ වූයේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමය. එය එසේම සිදුවිය. ගෝඨාභය සහ මහින්දගේ පැත්තෙන් එය ඛේදවාචකයකි. අරගලකාරීන්ගේ පැත්තෙන් එය සුඛාන්තයකි.
එයින් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයට අනුව රනිල් වික්‍රමසිංහ පියවරෙන් පියවර ඉදිරියට ගොස් ජනාධිපති පදවියට පත්වෙයි. මේ කාලය අතරතුරදී අරගලය කෝලම් මඬුවක් ලෙසද පුනරුච්චාරණය වන්නේය. ඒ අරගලකරුවන් විසින් අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන රාජ්‍ය දේපළ අල්ලා ගැනීමෙන් පසුය. මේ වන විට අරගල භූමිය අත්පත් කරගෙන තිබුණේ අරගලය පටන් ගත් මුල් පිරිස නොවේ. ඒ වෙනුවට හත් අවුරුද්දකින් ටෙලි නාට්‍යයක රඟපා නැති නිළියෝද දහ අවුරුද්දකින් කෙටි චිත්‍රපටයකවත් රඟපා නැති නළුවෝද හිතින් පමණක් වේදිකා නාට්‍ය කරන පිරිස්ද වූහ. ඇතැම් අය විසින් හෙළිකර ඇති පරිදි අරගල භූමියට පිටරටින් සල්ලි එවා තිබේ. එනම් ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට පිටරටට අවශ්‍යය. මෙහිදී එම කාර්යයට දායක වූවන් ලෙස පිටරට සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ඩයස්පෝරාවද ශ්‍රී ලංකාවට කිසිසේත්ම සම්බන්ධ නැති විදේශික බලවේගද හඳුනාගෙන තිබේ.
කෙසේ හෝ වේවා ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකාරී පිරිස එහි ස්විමිං පූල් එකේ සබන් ගා ස්නානය කළහ. ස්විමිං පූල් වල සබන් ගා නාන්නේ නැත. කිසිවෙක් එවැන්නක් කරත්ද ඒකා අමු මැටි හරකෙකි. ඉන්පසු මේ අරගලකරුවෝ අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ රැස්වීම් ශාලාවලට ගොස් පුවත්පත් සාකච්ඡා පැවැත්වූහ. එකෙක් ජනාධිපතිතුමාගේ පුටුවේ සිට ඒ භූමිකාව නිරූපණය කළ අතර තවෙකෙක් ඒ රූකඩ ජනාධිපතිගෙන් ඇමති පත්වීමක් ලබා ගත්තේය. ජනාධිපති මන්දිරයේ වහලයේ සිට පොළවේ සිමෙන්ති දක්වා සියල්ල රාජ්‍ය දේපළ වෙත්. මේ රාජ්‍ය දේපළ වලට අනවසරයෙන් කඩා වැදීම සහ එම දේපළ අපහරණය කිරීම ඇප ප්‍රදානය නොකරන වැරදි ලෙස හැඳින්විය හැකිය. මේ අතර අරගලකරුවන් අතේ තිබෙන ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරය නැරඹීම සඳහා මේ රටේ හැම පැත්තෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. එම දේපළ නැරඹීමට එම පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළුවීම පවා දඬුවම් ලැබිය හැකි වරදකි. එය රාජ්‍ය දේපළ අපහරණය කිරීමකි. එහෙත් අරගලයේ මල් වෙඩි ස්වභාවයට සහ එයින් නිකුත්වූ නිලා එළිවලට රැවටුණු සාමාන්‍ය ජනතාව මේ නීති ගැන දැනීමක් නැතුව එකී රජයේ පරිශ්‍රයන්ට ඇතුළු වූහ. නීතිය දැන නොසිටීම දඬුවම් නොලැබීමට හේතුවක් නොවන බව ඇත්ත. එහෙත් ජනාධිපති මන්දිරය හෝ අරලිය ගහ මන්දිරය නැරඹීමට පැමිණි සාමාන්‍ය ජනතාවට විරුද්ධව පියවර නොගන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. ආණ්ඩුව දඬුවම් කළ යුත්තේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සඳහා සාමාන්‍ය ජනතාව පෙලඹවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී අරාජිකවාදීන්ට පමණි.
මේ අතර පසුගිය දවසක ඩුබායි බලා යනු පිණිස ශ්‍රී ලංකන් ගුවන් යානයකට නැග සිටි ධනිෂ් අලි නමැති 'අරගලකරුවා' යානය තුළදීම අත්අඩංගුවට ගැනීම පිළිබඳ වීඩියෝ කීපයක් මේ දිනවල සංසරණය වේ. පසුගිය දිනවල තවත් පුද්ගලයකු සමඟ රූපවාහිනියට කඩාපිනු ධනිෂ් අලි එම ආයතනයේ සේවකයන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ගුවන් කාලය ලබාගෙන අරගලය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් නිකුත් කළ අයෙකි. ධනිෂ් අලි යනුවෙන් ඉතා ප්‍රසිද්ධ විකට නළුවෙක් පාකිස්ථානයේ සිටී. ඔහු වෘත්තීය නළුවෙකි. අපේ ධනිෂ් අලි වෘත්තීය විකටයකු නොව තාවකාලික විකටයෙකි. ඔහු ජාතික රූපවාහිනියට කඩා පැන හැසිරුණු ආකාරයෙන් එය පැහැදිලි විය. අරගලය තුළ සිටි මේ ආකාරයේ විකටයන් අතට රාජ්‍ය බලය ගියේ නම් ජනතාවට සිදුවන්නේ වස කෑමටය. මෙරටට වස ගෙන්වීම සඳහා ද පිටරටින් ඩොලර් ණයක් ලබාගත යුතු නිසා ඒ වැඩේ කල්යනු ඇත. ධනිෂ් අලි ජාතික රූපවාහිනිය වැනි රජයේ දේපළකට බලෙන් ඇතුළු වීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආගමන විගමන නිලධාරීන් පොලිසිය සමඟ ගුවන් යානයට ගිය අවස්ථාවේදී ධනිෂ් අලි මෙන්ම ඇතැම් මෝඩ ගුවන් මගීන්ද අසා සිටියේ ධනිෂ් අලි අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ගෙනාවේද යන්නය. සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා සැමවිටම උසාවි නියෝගයක් අවශ්‍ය නැත. එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් මේ රටේ සිටින කිසිම සොරකු, පික්පොකට්කාරයකු, කුඩ්ඩකු හෝ ස්ත්‍රී දූෂකයකු අත්අඩංගුවට ගැනීමට බැරිය. සෑම අත්අඩංගුවට ගැනීමක් සඳහාම උසාවි නියෝගයක් ලබාගැනීම අවශ්‍ය නම් අලුතෙන් උසාවි දහසක් පමණ පිහිටුවා ඒවා මඟින් උසාවි නියෝග පමණක් ලබාදීමේ වැඩපිළිවෙළකට යා යුතුය. අපේ ජනතාව ඕනෑවට වඩා මෝඩ විය යුතු නැත. ලංකාවට නිදහස ලැබුණු දා පටන්ම මෝඩකම නිසා අප කරගත් විපත් මදිද?
මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් ගැන මේ රටේ දේශප්‍රේමී ජනතාවත් සජබ නායක සජිත් ප්‍රේමදාසත් අවදානය යොමුකළ යුතුය. අරගලය නිමා කරනු පිණිස අගෝස්තු 9 දා කොළඹට එන්නැයි ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තුවේදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. එසේම ශ්‍රී ලංකාවට මුදල් නොඑවන ලෙසද ඔහු එහිදී විදේශවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැන්වීය. තමා මීළඟ අගමැති තනතුර භාරගැනීම සඳහා ගෝඨාභය සමඟ සාකච්ඡා කළ බව මේ ෆීල්ඩ් මාෂල්ම මීට පෙරදී පිළිගෙන ඇත. දැන් අපට ප්‍රශ්න කීපයක් තිබේ. සජබ නායකයා සිටියදී අගමැතිකම ගැනීම සඳහා ගෝඨාභය හමුවීමට ෆීල්ඩ් මාෂල් ගිය බව සජබ දන්නේද? අගෝස්තු 9 දා කොළඹට පැමිණෙන ලෙස ෆීල්ඩ් මාෂල් කළ ඉල්ලීම සමගි ජන බලවේගයේ නිල මතයද? එසේම ලංකාවට මුදල් නොඑවන්නැයි විදේශ ශ්‍රමිකයන්ගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලීමක් කළේ සජබ අනුමැතියක් සහිතවද?