වහ­ලක් නැති ගෙයක් සහ තරු පිරුණු රැයක් | Page 3 | සිළුමිණ

වහ­ලක් නැති ගෙයක් සහ තරු පිරුණු රැයක්

 

මෙය අප විසින් අසනා ලද කුඩා කතාවකි. නගරයේ ජීවත් වූ මිනිසෙක් දිනක් දුර පළාතක සංචාරයකට ගියේය. බෙහෙවින් පිටිසරබද, හොඳ පාරවල් නැති, විදුලි සැපයුම නැති (විදුලි කප්පාදුවක් මේ පළාතේ නැත) මේ ගමට අපේ මනුස්සයා යන්නේ හොඳටම රෑ වෙලාය. රැය නොතකා එළියක් සහිත ගෙයක් දකින තුරු ඔහු දිගටම පාර දිගේ ගියේය. මේ අතර හදිසියේම ගෙයක සේයාවක් ඔහුට පෙනිණ. කට්ට කරුවලේ මතුවූ ඒ සේයාව වෙත ගිය ඔහු දකින්නේ පිටත මෙන්ම ගෙය තුළ ද ඝන අන්ධකාරය පැතිර ඇති බවය. එහෙත් අධික මහන්සියට පත්ව සිටි ඔහු ඒ කිසිත් නොතකා අතපත ගාගෙන ගෙතුළට වැදී බිම වැතිරුණේය. එසැණින් ඔහු දුටුවේ කදිම දසුනකි. ඒ වූ කලී තරු පිරි අහසය. මෙය කොතරම් රමණීය දසුනක් දැයි අපේ මනුස්සයා කල්පනා කරන අතර වැස්සක් වැටෙන්නට පටන් ගත්තේය. එවිට ගෙතුළ බිම වැතිර සිටි හෙතෙම හොඳටම තෙමුණේය. තමන් මේ සිටින්නේ වහලක් නැති ගෙයක් තුළ බවත් තමා තරු පිරි අහස දකින්නේ වහල නැති නිසා බවත් ඔහු දැනගන්නේ එවිටය.

ජූලි 21දා මේ රටේ 8 වන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ අද පදිංචියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකාව නමැති නිවෙස වහලක් තබා හරි ආකාර බිත්ති ටිකවත් නැති ගෙදරකි. තරු එළිය හෝ සඳ එළිය ඇති කාලයට මේ ගෙදර යාන්තමින් ජීවත් විය හැකි වුවද ඒ කිසිත් නැති කාලයට පෙරේතයා පොළොවේ ගැසුවාක් මෙන් කට්ට කරුවලේ ජීවත් වීමට ජනාධිපතිටත් රට වැසියන්ටත් සිදු වේ. 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළූ මේ රටේ ජනතාව යහපාලන පහන පත්තු කරන්නේ අප්‍රමාණ ආලෝකයක් අපේක්ෂාවෙනි. එහෙත් ඉතා කෙටි කාලයකින් යහපාලන පහනේ තෙල් ඉවර වන අතර රට යළි අන්ධකාරය වෙත යොමු විය. එම අන්ධකාරය නැති කිරීම පිණිස මේ රටේ ජනයා රාජපක්ෂ පවුලේ නිර්දේශය මත ජනාධිපති තනතුර සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එන්නේය. ගෝඨාභය විසින් හඳුන්වා දෙන ලද සෞභාග්‍යයේ දැක්ම ඉතා කෙටි කලකින් රිවස් වූ බැවින් ආණ්ඩුව බිම ඇද වැටෙන්නට පටන් ගත්තේය. ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටු ආණ්ඩුවේ තිබූ ලොකුම අවුල වූ කලී රිවස් ගියර් වැඩිවීමය. ගෝඨාභය ජනාධිපතිතුමා කමකට නැති උපදේශක රැලක් ද, මිනිසුන් රස්තියාදු කරමින් ද රාජ්‍ය තාන්ත්‍රික නොවන ඛේදවාචකයට ලක්වූ අතර ඉතා කනගාටුදායක ඉරණමකට පත්වෙමින් ජනාධිපති ධුරයෙන් ඉවත්විය. ගෝඨාභයට උපදෙස් දුන්නේ වියත් මඟයි. පසුව වියත් මඟද ගෝඨාභයගෙන් ඉවත් විය. නොඑසේ නම් වියත් මඟ මහමඟට වැටිණි. ඉන්පසු පළපුරුදු යුද සෙබළකු වූ ගෝඨාභය ජීවත් වීමට පටන් ගන්නේ රාජ්‍ය පාලනය ගැන පුළුල් දැනුමක් නැති ඇතැම් විශ්‍රාමික හමුදා ජෙනරාල්වරුන් සමඟය. ගෝඨාභය රාජපක්ෂ යනු ඔහුගේ දැඩි නොකැමැත්ත මත බලහත්කාරයෙන් දේශපාලනයට ඇදගෙන විත් අනාථ කර දමන ලද මිනිහෙකි.

සාමාන්‍යයෙන් අලුත් ජනාධිපති කෙනෙක් රටක් බාර ගන්නේ ප්‍රශ්න පත්තරයක් සමඟය. රනිල් වික්‍රමසිංහට මේ රට බාර ගැනීමට අද සිදුව ඇත්තේ නිරන්තරයෙන් ප්‍රශ්න පත්තර හදන විභාග දෙපාර්තමේන්තුවක් සමඟය. පසුගිය මාස දෙකක කාලයක් මේ රටේ අගමැති ලෙසත්, එයිනුත් සති දෙකක කාලයක් වැඩ බලන ජනාධිපති ලෙසත් කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහට එම කාලය තුළ මේ රටේ ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් සොයා ගැනීමට බැරි විය. එයට එක හේතුවක් වන්නේ ඔහුට ස්ථාවර ජනාධිපතිවරයකුට තිබෙන පූර්ණ බලතල නොතිබීමය. උද්ධමන චක්‍රාවාටය ද ඉක්මවා නැඟ ගොස් තිබෙන දූෂණය සහ වංචාව පිරුණු අසංවිධානාත්මක රටක සිටින තාවකාලික පාලකයකු සමඟ කතා කිරීමට කිසිදු ස්ථාවර රටක් හෝ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක් සූදානම් නැත. මෙය සමාන වන්නේ විරුද්ධ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සමඟ සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන උත්සාහයටය.

කෙසේ වුවද දැන් ශ්‍රී ලංකාවට ස්ථාවර ජනාධිපතිවරයෙක් පත්ව සිටී. සිකුරාදා වන විට අන්තර්කාලීන ඇමති මණ්ඩලයක් ස්ථාපිත කෙරිණි. ඉදිරි සති කිහිපය තුළදී අපට ස්ථාවර කැබිනට් මණ්ඩලයක් සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලැබෙනවා ඇත. මෙසේ ලැබුණු පමණින් පිටරටවල් අපට ණය දීමට කැමති වනු ඇතැයි කෙනෙක් හිතනවා ඇත. එහෙත් පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය වෙ‍ෙළඳපොළ තුළ පොලුකාරයෙක් බවට පත්විය. මෙය සංක්තවත් කරනු සඳහා අපෙන් පොල්ලක් කෑ බැඳුම්කර මිලදී ගන්නකු ඇමරිකන් උසාවියක් ඉදිරිපිට අපට විරුද්ධව නඩුවක් ද පවරා තිබේ. ඔහු අපට ණයට දුන් මුදල් පොලියත් සමඟ ඉල්ලයි. එහෙත් ණය හෝ පොලී ගෙවීමට තබා ණයකාරයා ෂේප් කරගැනීමට ඔහුට දුරකතන ඇමතුමක් දීමටවත් අපට වත්කමක් නැත.

තෙල් ප්‍රශ්නය සහ ආහාර මිල යන ගැටලු දෙක අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපිට යෝධයන් දෙදෙනකු සේ නැඟී සිටින බව අපට පෙනේ. ගෑස් ප්‍රශ්නයද තවම හරිආකාරව විසඳී නැත. දැනට බ්ලැක් මාකට් එකේ ගෑස් ඕනෑ තරම් ඇත. දෛනික විදුලි කප්පාදුව තවත් ටිකක් වැඩිවී තිබේ. ඇතැම් දූෂිත ත්‍රීවීල් රියැදුරන් ක්ෂුද්‍ර IOC සහ සිපෙට්කෝ ඉන්ධන හල් ලෙස ක්‍රියාකරමින් තෙල් විකිණීමෙහි නියුක්තව සිටී. ඉන්ධන අර්බුදයෙන් වැඩිහරිය අල කර ඇත්තේ පෙට්‍රල් ෂෙඩ් කාරයන් සහ තක්කඩි ත්‍රී වීලර්කාරයන්ය. මේ සමස්ත එකතුව අපායේ සැණකෙළියක් හා සමානය. අපායේ සැණකෙළියක් පැවැත්වෙන විට ලෝදිය බීමට සිදුවෙයි. ගිනි අඟුරු කෑමට සිදුවෙයි. අපායේ ජාතික ක්‍රීඩාව ලිස්සන ගහේ නැඟීම නොව කටු ඉඹුලේ නැඟීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපිට ඇති අභියෝග සියල්ල කටු ඉඹුලේ කටුවලටත් වඩා කටුක බව අපි විශ්වාස කරමු. නව ජනාධිපති වික්‍රමසිංහ එම අභියෝග ජය නොගත්තොත් ඊළඟ ජයග්‍රාහකයා වනු ඇත්තේ අරගලකරුවන් ලෙසින් පෙනී සිටින ඇතැම් තුට්ටු දෙකේ පල් හොරුය.

 

Comments