
සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා වූ රවිඳු වෙදආරච්චි සිය තරුණ බිරිය සමඟ එක්ව අධිවේගී මාර්ගයේදී පොලිසියට බනිමින් නැටූ කැත නාඩගමක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. දිලිප් වෙදාරච්චි යනු මෙයට අවුරුදු දෙකකට පමණ පෙර ලංකා මුහුදු සීමාවේ දී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් නිකුතු තෙල් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් මුහුදු මාළුන්ට හානියක් සිදුවී නැති බව පෙන්වීම සඳහා එම මාළුවෙක් අමුවෙන් කා පෙන්වීමට තරම් කිවිසුරු ස්වරූපයක් තිබූ අයෙකි. වෙදආරච්චිගේ පුත්‍රයා වූ රවිඳු ඩබල් කැබ් එකක අනාරක්ෂිත ලෙස ෆ්‍රිජ් එකක් පටවාගෙන යාමයේ දී පොලිසියට හසුවිය. එතනදි රවිඳු වෙදආරච්චි යුවළ පොලිස් නිලධාරීන්ට ඉතා නීච ලෙස බනින්නට පටන් ගත්හ. මෙතන සිටි පොලිස් නිලධාරියා නහරකාරයකු නම් වෙදාරච්චි යුවළට සිදුවන්නේ වෙඩි කන්නය. එය එසේ නොවීම ගැන සියලු ලෝක පාලන බලවේගවලට ස්තූති වේවා.
ලෝක ඉතිහාසයේ පළමුවන පොලිසිය පටන් ගන්නේ ක්‍රි. පූ. 3000 දී ඊජිප්තුවේදී ය. එනම් මෙයට අවුරුදු 5000 ට පෙරය. එකල ඊජිප්තුව පුරා හොරු බෝවී සිටියහ. මේ හොරුන් ඇල්ලීමට රාජපුරුෂයන්ට වෙලාවක් නොවූ බැවින් ඒ සඳහා වෙනම කණ්ඩායමක් පිහිට විය යුතු බව පාරාවෝ රජතුමා කල්පනා කළේය. (මෙහි නියම උච්ඡාරණය පාරාවෝ නොව ෆේරෝ ය). මේ කියන කාලයේදී ඊජිප්තුව පරිපාලන දිස්ත්‍රික්ක 42 ට බෙදා තිබුණි. මේ එක් එක් දිස්ත්‍රික්කයට නූතන පොලිස්පතිවරයකුගේ බලතල හා සමාන නිලධාරියකු පත් කළ රජතුමා එම නිලධාරියා යටතේ පාලනය වන බලකායක් ඇති කළේය. ලෝකයේ පළවැනි පොලිසියේ කතන්දරය මෙතැනින් පටන් ගනී.
එයින් අවුරුදු 4866 ට පසු ශ්‍රී ලංකාව පොලිසිය පටන් ගනී. ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසය ඉතා විචිත්‍රය. මෙයට අවුරුදු 150 ට පෙර පොලිස් විදානේ නමැති නම්බුකාර කොස්තාපල්ලා හැම ගමකම සිටියහ. නූතන පොලිසිය හොරු අල්ලයි; මිනීමරුවනුත් අල්ලයි; කසිප්පුත් අල්ලයි. ඊට අමතරව කසිප්පු මුදලාලිලාට උදව් කරයි; කුඩුත් විකුණයි. ස්පා හෙවත් මසාජ් ක්ලිනික්වලට රිංගා නොමිලේම හැපි එන්ඩිං එකක් දමාගෙන මසාජ් පාලර් එකේ අයිතිකාරයාට සපෝට් කරයි. මෙවැනි දේ පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීම ගැන හෝ එකී ක්‍රියාකාරකම්වලට අදාළ පාරිභාෂික වචන පාවිච්චි කිරීම ගැන හෝ සදාචාර සම්පත්තිය ගරු කරන උගත්තු කලබල නොවිය යුත්තාහ. අප කියන්නේ 'රහසිගත සත්‍යයකි.' පොලිසිය මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි? ඒ එය ශ්‍රී ලංකාවේ පෘතග්ජනයන් සමඟ උරෙනුර ගැටී වැඩ කරන ලොකුම සිවිල් ආයතනය නිසාය. සාමාන්‍ය ජනයා සමඟ ගැවසෙන විට පොලිසියට කුඩ්ඩන්, ගණිකා නිවාස හිමියන්, කසිප්පුකාරයන් සහ සෙසු අපරාධකාරයන් සමඟ ගනුදෙනු කිරීමට සිදු වේ. ඉතින් ඒ පැත්තට ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති පොලිස් කට්ටිය එයට ඇදෙති. එසේ නොවන අය පොලිස් දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ ගමනක් ගොස් සේවය නිමා කරති.
පොලිසිය ගැන මේ රටේ ජනයා නොදත් දේ බොහෝය. ඉන් පළමුවැනි කාරණය මෙසේය. ලංකාවේ වැඩිම ස්වසන ආබාධ සහිත රාජ්‍ය සේවකයා ට්‍රැෆික් පොලිස් රාළහාමිය. මුළු දවසම මහ පාරේ හිටගෙන වාහන වලින් නික්මෙන කාබන් මොනොක්සයිඩ් විෂ වායු ආඝ්‍රාණය කරන හෙතෙම වැඩි කලබලයක් නැතිවම පෙනහලු පිළිකා රෝගියෙක් බවට පත්වේ. එසේම මේ රටේ වැඩිපුරම දේශපාලන ඇඟිලි ගැසීම් ඇති ආයතනයද පොලිසියය. මෙයට අවුරුදු 15 ට පමණ පෙර කරටිය කැඩෙන තරමට විස්කි පානය කළ වතුකරයේ ඉහළම දේශපාලන නායකයෙක් කූඩුවේ සිටි ස්වකීය සාපරාධී සගයකු බේරා ගැනීම සඳහා බොරැල්ලේ පොලිසියට විත් වෙරි මරගාතේම ඕ අයි සී ගේ පුටුවේ වාඩි විය. මෙහිදී ඕ අයි සී විසින් ගත යුතු පියවර දෙකක් තිබේ. පළමුවැන්න දේශපාලඥයාගේ බෙල්ලට දෙකක් දී කූඩුවට විසි වන සේ ඔහුට පයින් ගැසීමය. දෙවැන්න රාජකාරි පිස්තෝලයෙන් ඔහුට වෙඩි තැබීමය.
එහෙත් තමන්ට බිරියක් සහ දරු තිදනකු සිටින නිසාත් එම දරුවන් ඉස්කෝලේ යන නිසාත් ඉස්කෝලේ හරියට උගන්වන්නේ නැති බැවින් පුද්ගලික ටියුෂන් පන්තිවලට යන නිසාත් රැකියාව බේරා ගැනීමට ඕ අයි සී ට සිදුවිය. එබැවින් ඉතා යටහත් පහත් ලෙස පෙර කී බේබද්දාට සැලකූ ඕඅයිසී බේබද්දා පැමිණි රියෙහිම ඔහු පටවා කොළඹ රෝයල් කොලීජිය ආසන්නයේ පිහිටි ගෙදරට යැව්වේය.
පොලිසියේ සුළු නිලධාරියා සිටින්නේ අප්‍රමාණ පීඩනයකිනි. ඔහු දවසේ පැය 24 ම දවස් 365 ක් සේවය කිරීමට බැඳී සිටී. ඔහුගේ වැටුප ඉතා කුඩාය. ඒ නිසා ඔහුට පගා ගහන්නටම සිදුවේ. ඔහුට පගා ගැසීමට සිදුවන්නේ කසිප්පු මුදලාලි කෙනකුගෙන් හෝ කුඩු වෙළෙන්දෙකුගෙනි. ඇතැම් රාළහාමි කෙනෙක් පැමිණිල්ලක් දැමීම සඳහා පොලිසියට එන සිවිල් පුරවැසියකුගෙන් ප්ලේන්ටියක් බී බුලත් විටක් කයි. එවිට අල්ලස් දෙපාර්තමේන්තුව ඔහු අල්ලා රැකියාව අහිමි කර හිරේ යාමටත් කටයුතු සලස්වනු ලැබේ. එහෙත් පොලිසියේ ඉහළ නිලධාරීහු සුවිසාල පගා ගනිති.
මෙයට දස අවුරුද්දකට පෙර රටේ සිටි නියෝජ්‍ය පොලිස්පති කෙනකුගේ තේ වත්තට පොහොර ගෙන ගොස් දෙන ලද්දේ හොරෙන් ලී ප්‍රවාහනය කරන ලී වෙළෙන්දෙකි. මේ තේ වත්තට වරකට පොහොර ලොරියක් පමණ ගෙන යනු ලැබේ. එහෙත් ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමා කවදාවත් අල්ලස් දෙපාර්තමේන්තුවට අසුවූයේ නැත. පොලිස් කොස්තාපල් යනු අන්තිම අවාසනාවන්ත අසරණයෙකි. ඔහු උදේ වැඩට ගිය විට ඕඅයිසී කිසියම් රාජකාරියක් බාර දෙයි. එය මිස් වුණොත් බලු බැනුම් අසන්නට ඔහුට සිදු වේ. ඕඅයිසී සිටින්නේද පීඩනයෙනි. එයට හේතුව පළාතේ ඒ එස් පී විසින් පවරන ලද රාජකාරියක් හරියට කර ගැනීමට ඔහුට බැරි වීමය. ඒ එස් පී සිටින්නේද පීඩනයෙනි. කිසියම් වැඩක් කරගැනීමට බැරි වූ හෙයින් එස් එස් පීගෙන් අම්මා මෝ නැතිව බැනුම් අහන්නට උදේ පාන්දරම ඔහුට සිදුවී ඇත. එයට හේතුව එස් එස් පී ද පීඩනයෙන් සිටීමය. කිසියම් ප්‍රශ්නයක් නිසා නියෝජ්‍ය පොලිස්පතිතුමෙක් ඔහුට බැන වැදී ඇත. එකී නියෝජ්‍ය පොලිස්පතිතුමා සිටින්නේද අලකලංචි මානසිකත්වයකිනි. හරිආකාරයට වැඩ කටයුතු නොකළයි පොලිස්පති ඔහුට බැන තිබේ. පොලිස්පතිට ද පීඩනයක් ඇත.
ආණ්ඩුවේ සිටින කබ්බෝ ද, බලවත්තු ද, දේශපාලන පඹයෝද ඔහු ලවා විවිධ වැඩ කරවා ගන්නට තැත් කොට හරි නොගිය තැන ඔහුට බැන වදී. ශ්‍රී ලංකාවේ පොලිසිය ඉතා නරකය. එහෙත් එය ඉන්දියාව පාකිස්තානය සහ අප්‍රිකාවේ ඇතැම් පොලිසිවලට වඩා ඉතා හොඳය. ඉන්දියාවේ සහ පකිස්තානයේ පොලිස් රාළහාමිලා රබර් සෙරෙප්පු දමාගෙන නාවර පෙරාගෙන අනුන්ගෙන් ඉල්ලාගත් බීඩි බිබී බුලත් විට කකා ඉතා නරක ලෙස සේවය කරති. එහෙත් අපේ පොලිසිය ඒ තරම් නරක නැත. දේශපාලනඥයන් කළ යුත්තේ ස්වකීය කුණු ඇඟිල්ල පොලිසියට නොගසා පොලිසියේ පහළ ස්තරය ප්‍රතිසංවිධානය කර තිරිසනුන්ට නොව මිනිසුන්ට සලකන ආකාරයට පොලිස් පොඩ්ඩන්ට සැලකීමය. එවිට පොලිසිය සම්බන්ධයෙන් දැනට තිබෙන ප්‍රශ්න රැසක් අවසන් වනවා ඇත. එසේම එම අවසානය සතුටුදායක අවසානයක් වීමද ස්ථිරය.
අවසන් වශයෙන් තවත් කාරණයක් කියමි. දේශපාලන බලය නැති කාලයේ දී වෙදආරච්චි පුතා මෙහෙම හැසිරුණා නම් දේශපාලන බලය ඇති කාලයක මේ යෝධයා කෙසේ හැසිරෙනු ඇද්ද යන්න අවිනිශ්චිතය. එක් අයකු කෝප වූ පළියට අනිකා නොඉවසයි. වෙදආරච්චි පුතා තවමත් හරියාකාරව මොරටු ගොස් නැත. එසේ හරියට මොරටුව ගිය දවසට ගහට ගහක් හමුවීමේ භයානක ඉරණමට ඔහු මුහුණ දෙනවා ඇත.