
අලුතෙන් පත් කරන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වේතන සහ වරප්‍රසාද කපා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මේ අනුව මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුපෙන් පමණක් ජීවත් වීමට අලුත් කැබිනට් ඇමතිවරුන්ට සිදුවනවා ඇත. ඇමතිවරයකුට විවිධ දීමනා ලැබෙයි. එයින් ප්‍රමුඛම දීමනාව වන්නේ පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන යාම සඳහා ලැබෙන මුදලය. ඇමතිතුමා නිතරම වාගේ මේ මුදල පවුලේ සාමාජිකයන් අතර බෙදයි. උදාහරණයක් ලෙස ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස බොහෝවිට කටයුතු කරන්නේ මස්සිනා කෙනෙකි. බිරියට සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ප්‍රදානය කර ගෙදර නවත්වා වැටුපක් ප්‍රදානය කිරීමට ඇමති කටයුතු කරයි. මේ අතර ඇමතිතුමාගේ කාර්යාලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔහුගේ බෑනා ද දියණියගේ පෙම්වතා ද බිරිඳගේ අයියාගේ පුතා ද ස්වකීය අක්කාගේ දියණිය ද දුරින් හෝ ළඟින් ඥාතීන් වන දෙතුන් දෙනකුද පත්කර ගනු ලැබේ. මේ අයට ලැබෙන වැටුප් ලක්ෂ ගණනින් වන සුවිශාල මුදල් නොවේ. ඒවා රුපියල් 40,000 හේ රුපියල් 50,000 හේ කැබලිය. මෙතැනදී වඩාත් වැදගත් වන්නේ වැටුප නොව මන්ත්‍රීතුමා හරහා ඩීල් දමා ගැනීමට මේ අයට අවස්ථාව ලැබීමය.
එක්තරා කාලයක මේ රටේ සිටි අධ්‍යාපන ඇමැතිවරයකුගේ සියලුම ඩීල් පවත්වාගෙන යන ලද්දේ එතුමාගේ බිරිය විසිනි. ළමයෙක් ඉස්කෝලේ දමා ගැනීම සඳහා ලියුමක් ගැනීමට ඇමතිතුමා හමුවට ගිය විට ඔහු කියන්නේ “අනේ මේක මට නම් කරන්න බෑ. මගේ වයිෆ්ගේ කන්ටැක් එකක් තියෙනවා එයාට කියලා බලන්න යනුවෙනි”. ඊළඟට දරුවාගේ බාරකරුවෝ ඇමතිගේ වයිෆ් හමුවෙති. එතුමිය නිරහංකාරය; අවංකය. හැබැයි ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දීම සඳහා දරුවාගේ ඇප්ලිකේෂන් සහ උප්පැන්න සහතිකය සමඟ රුපියල් ලක්ෂ දෙකක්, පහක් හෝ දහයක් දීමට සිදු වේ. උස අයට සිකියුරිටි මිටි අයට කම්කරු යනුවෙන් කීවාක් මෙන් පළාත් සභා පාසල්වලට රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ පහ දක්වාත් ජාතික පාසල්වලට රුපියල් ලක්ෂ දහයකුත් ගෙවීමට සිදුවෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අලුතින් පත්කරමින් සිටින ඇමති මණ්ඩලයේ මෙවැනි ඩීල් කාරයන් සිටින බවක් දැනට පෙනෙන්නට නැත.
මේ රට අල්ලස් සහ දූෂණය නිසා අත්‍යන්තයෙන්ම කුණු වූ රටකි. දැනට එම කුණු වූ ඵලය ගහේ එල්ලෙමින් තිබෙන අතර හරිආකාරව කළමනාකරණය කර නොගත්තොත් ඉදිරියේදී බිමට පතිත වී චොර වීමට ඉඩ තිබේ. මේ චොර වීම නතර කරගැනීම සඳහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කුමක් හෝ කරනු ඇති බව ජනතාවගේ අමතර අපේක්ෂාවකි. එය අමතර අපේක්ෂාව නම් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාවන් විය හැක්කේ කුමක්ද? අප දන්නා පරිදි ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාවන් වන්නේ පෝලිම්වල දුක් නොවිඳ ගෑස් සහ තෙල් ලබා ගැනීමත් පැය 24 ම ස්විච් එක දැමූ විට ලයිට් පත්තු වීමත් බඩු මිල අඩුවීම හෝ ආදායම් වැඩිවීම යන කාරණා සම්පූර්ණ කර ගැනීමට හැකි වීමත්ය. ශ්‍රී ලංකාව මේ මොහොතේදී ආර්ථික අගාධයේ ගල් කැට ගණන් කරමින් සිටී. මේ ආර්ථික අගාධයෙන් එතෙර වීමට නම් රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකළ යුතුය.
ශ්‍රී ලංකාව මේ මොහොතේදී නිපදවන්නේ සහල්, එළවළු, ගස්ලබු සහ ඇඹුල් කෙසෙල් පමණි. සෑම තැනකම කිලෝව රුපියල් 50 ගණනේ ඇඹුල් කෙසෙල් විකිණීමට ඇත. හැබැයි ලීක්ස් කැරට් බෝංචි යනාදිය කිලෝව රුපියල් 600 කි. දෙහි සහ තක්කාලි කිලෝව රුපියල් 800 කි. අඩුම සහල් කිලෝව රුපියල් 200 කි. එක් අතකින් එසේ ස්වයං පෝෂණය වීමේ ප්‍රයෝජනයක් නැත. රටක් ස්වයං පෝෂණය වන විට එම රට නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ජනතාවගේ ආදායමට සාපේක්ෂව අඩු විය යුතුය. මේ රටේ එසේ නැත. දැනට තිබෙන තත්ත්වය අනුව තුන්වේලම ඇඹුල් කෙසෙල් කා ජීවත් වීමට හැකිනම් ජනතාවට යමක් කරකියා ගත හැකිය. එහෙත් ඇඹුල් කෙසෙල් එක දිගට කන විට එක්කෝ සෙම ඇවිස්සෙයි; නැත්නම් බඩ බුරුල් වෙයි. එළවළු මිල ගණන් වැඩිවී ඇත්තේ රසායනික පොහොර මිටිය රුපියල් 45000 තෙක් මිල ඉහළ යෑමත් ඩීසල් මිල වැඩි වීමත් වැඩි මිලට හෝ පෙට්‍රල් ෂෙඩ්වලින් ඩීසල් ලබා ගැනීමට බැරිවීමත් නිසාය. ඉන්ධන හිඟයෙන් ප්‍රයෝජන ගන්නා ඇතැම් කූට මිනිස්සු පෙට්‍රල් ලීටරය රුපියල් 700 ත් ඩීසල් ලීටරය රුපියල් 600 ටත් විකුණති. මේ නිසා භාණ්ඩ වල මිල බෙහෙවින් ඉහළ යයි. නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය මූලික පසුබිම අදටත් මේ රටේ නැත. අපට භූමිය තිබුණත් ශ්‍රමය තිබුණත් මෝසම් වැසි තිබුණත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ජනතාව තුළ උනන්දුවක් නැත.
අදටත් මේ රටේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 240 ත් 260 ත් අතර මුදලක් රජයට වැය වෙයි. මේ ගණන සාදනු ලබන්නේ බිත්තර වී මිල, වී වවන භූමියට යන බදු කුලිය, ගොවියාගේ ශ්‍රමයට වැටුප, ජලයට යන වියදම සහ පොහොර මිල ගණනය කිරීමෙනි. ඒ අනුව මේ රටේ නිපදවන හාල් කිලෝවක් අඩුම ගණනේ රුපියල් 500 ටවත් මිල නියම කිරීමට සිදුවේ. එහෙත් එය එසේ නොවන්නේ සහල් නිෂ්පාදනයේ පාඩුව නමැති කොටස රජය මඟින් දරා ගන්නා බැවිනි. මේ තත්ත්වය නැතිකර ගැනීමට නම් අතරමැදි කන්නවල කුඹුරුවල වගා කළ හැකි බෝග වර්ග හඳුන්වා දිය යුතුය. එහෙත් කුඹුරු වැඩ නැති කාලයට වක ගසාගෙන නිදා ගැනීමටත් අනුන්ගේ ඕපාදූප සොයන චීත්ත කෑලි බවට පත්ව කල් මැරීමටත් අපේ රටේ ඇතැම් ගොවි රජවරු ප්‍රිය කරති. වැඩ නැතිව සිටින විවේක කාලයේදී ඔවුන් වැඩියෙන්ම කැමති වන්නේ ආණ්ඩු කිරීමටය. මෙය මේ රටේ තිබෙන චින්තනයේ අඩුපාඩුවකි. අපේ චින්තනය සකස් වන්නේ අධ්‍යාපනයට අනුවය. කර්මාන්ත හෝ නිෂ්පාදනය මූලික කරගත් අධ්‍යාපනයක් මේ රටේ නැති අතර මෙහි ඇත්තේ ඩොක්ටර්, ලෝයර්, ඉංජිනියර් හෝ ක්ලාක් යන රැකියා පරම අභිලාෂය කරගත් අධ්‍යාපනයකි. දැනට ඇති, බඩට කන්නට නැති තත්ත්වය අනුව මේ රටේ අධ්‍යාපනය මාරු කිරීමට තරම් විවේකයක් පාලකයන්ට නැත.