
• අජිත් ගලප්පත්ති
බුදුන් වහන්සේගේ චරිතය ද, උන්වහන්සේ දෙසූ දහමේ අර්ථය ප්රස්තුත කොට තැනූ විවිධ සිනමා කෘති ලෝක සිනමා ඉතිහාසය තුළ ඇත. බෞද්ධ කතාවක් තේමා කර ගනිමින් පළමු වරට මෙරට චිත්‍රපටයක් තැනෙනුයේ 1952 වර්ෂයේදී “සිරිසඟබෝ“ යනුවෙනි. වර්නන් ජයවර්ධන එහි අධ්‍යක්ෂවරයාය. ආගමික කතාවක් අනුව තැනෙන පළමු සිංහල චිත්‍රපටය වූ “සිරිසඟබෝ“ ඓතිහාසික කතාවක් සිංහල සිනමාවට ගෙනා දෙවන අවස්ථාවයි. එසේ වුවද මෙය මෙරට ප්‍රදර්ශනය කෙරුඛේසතියකටත් අඩු කාලයකි.
ඉන් අනතුරුව මෙරට තිරගත කෙරුණ බෞද්ධ වෘත්තාන්ත චිත්‍රපට අතර “පටාචාරා (1964), වෙසතුරු සිරිත (1966), රන්සළු (1967), දෑස නිසා (1975), සිරිපතුල (1978), කුණ්ඩකේෂි (1978), අජාසත්ත (1981), සතර පෙර නිමිති (1981), අධිෂ්ඨාන (1982), සසර චේතනා (1984), අංගුලිමාල (1988), සම්බුදු මහිම (1999), උප්පලවන්නා (2007), සංකාරා (2006) වැනි චිත්‍රට රැසකි.
බුදුන් සමයෙහි විසූ පටාචාරා සිටු දියණියගේ කතාව “පටාචාරා“ චිත්‍රපටයට ප්රස්තුත විය. “වෙසතුරු සිරිත“ චිත්‍රපටය තැනෙනුයේ වෙස්සන්තර ජාතකය ඇසුරෙනි. 1966 වසරේදී ජනගත වූ “වෙසතුරු සිරිත“ අධ්‍යක්ෂණය කළේ ලයනල් අමරසිංහයි.
ලෙස්ට් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “රන්සළු“ චිත්‍රපටයට තේමා වන්නේ ද බෞද්ධ කතාවකි. චක්කු පාල තෙරුන් වහන්සේගේ කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු “දෑසනිසා“ චිත්‍රපටය (1975) අධ්‍යක්ෂණය කළේ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.
1978 වර්ෂයේ තිරගත වූ “සිරිපතුල“ අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට්ය. විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කළ “කුණ්ඩලකේෂී“ (1978) චිත්‍රපටයට පසුබිම් වූයේ ථේරි ගාථාවකි. ආගමික චිත්‍රපට කිහිපයක් ම තනමින් එම ප්‍රවණතාව තුළ බෙහෙවින් ක්‍රියාකාරී වූ සුනිල් ආරියරත්න (1981) දී අධ්‍යක්ෂණය කළ “සතර පෙර නිමිති“ චිත්‍රපටයට ඈඳා ගනු ලැබුවේ ද බෞද්ධ කතාවකි. එබඳු බෞද්ධ කතා රැගත් “අජාසත්ත (1981), චිත්‍රපටයටත්, අධිෂ්ඨාන (1982), සම්බුදු මහිම (1992), වැනි චිත්‍රපට ද බෞද්ධ චිත්‍රපට නමැති උප ශානරය තුළ ගොනු කළ හැකිය.
මෙම බෞද්ධ චිත්‍රපට වර්ගීකරණය උප ශානයක් ලෙස ගත හැකි වන්නේ ආගමික චිත්‍රපට නමැති ප්‍රධාන චිත්‍රපට වර්ගය තුළ ය. දශක 8ක් තරම් ඉපැණි ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය තුළ ක්‍රියාදාම, ළමා, ත්‍රාසජනක, ඓතිහාසික, විනෝදාත්මක, ලිංගික, ප්‍රහසන ආදී ලෙස පැහැදිලිව හඳුනාගත හැකි ශානර ඇතත් බෞද්ධ චිත්‍රපට ලෙස වෙනම ඉස්මතු වූ චිත්‍රපට වර්ගයක් ප්‍රවර්ධනය කෙරී නැත. ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක චිත්‍රපට දැනට 1500කට ආසන්න පමණක් තැනී ඇති පසුබිමක එබඳු බෞද්ධ චිත්‍රපට ශානරයක් සඳහා විශේෂ අනුබලයක් නොවීම තුළ අපට අනුමාන කළ හැක්කේ ආගම සහ සිනමාව යන අන්ත දෙක එකිනෙක නොපෑහෙන තරම් දුර ඈත බවයි.
ඒ ඒ රටවල සිනමා ප්‍රේක්ෂකාගාරයේ ස්වරූපය සහ එරට ජන විඥාණයේ හැඩයට අනුව යම් යම් චිත්‍රපට ප්‍රභේද වර්ධනය වනු දැකිය හැකිය.
දේශපාලනය අතුළු අන් සියලු විෂයයන් ආගමික පසුබිමක් තුළ නිශ්චය වන බෞද්ධ රටක “බෞද්ධ චිත්‍රපට“ යනුවෙන් ප්‍රභේදයක් මතු කරනු නොලැබීමට හේතුවක් ඇත. එනම් මෙරට ජන විඥාණය තුළ “ආගම“ සහ “චිත්‍රපටය“ යන විෂයයන් නිශ්චය වී ඇති ආකාරයයි. බෞද්ධ බැතිමතුන් සහ චිත්‍රපට ලෝලීන් යනු දෙයාකාර ආකල්ප දරන්නන්ය.
ආගම ප්රතිරූප ගතවන්නේ ඇදහිල්ලක් විශ්වාසයක් ලෙස නම් චිත්‍රපටය පොදු ජන පිළිගැනීමට ලක් වනුයේ විනෝදාශ්වාදය සපයන වෙළඳමය කටයුත්තක් ලෙසටය. ශ්‍රී ලංකාවේ ආගමික චිත්‍රපට සියල්ල පාහේ පොදු ජන ඇසුරට පත් කෙරී ඇත්තේ අතිශය බරපතළ වූ වෙළඳ ව්‍යාපෘති ලෙස වීම ද එකී අර්ථකථනය සාක්ෂාත් කරන එක් සාක්ෂියක් ලෙස විග්රහයට ගත හැකිවේ.
බටහිර චිත්‍රපට, යුද චිත්‍රපට, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, සජීවීකරණ චිත්‍රපට, චරිතාපදාන චිත්‍රපට, අපරාධ කල්ලි චිත්‍රපට, සටන් කලා චිත්‍රපට, භාවතීෂය චිත්‍රපට, සංගීතමය චිත්‍රපට ආදී ලෙස චිත්‍රපට වර්ග ඇතත් ආගමික චිත්‍රපට යනුවෙන් ප්‍රභේදයක් පුළුල්ව වර්ධනය වී නැත.
ශ්‍රී ලංකාවේ බෞද්ධ පසුබිම තුළ අනෙකුත් කලා නිර්මාණ සහ වින්දනාත්මක මාධ්‍ය කොතෙකුත් ඇතත් ඊට සාපේක්ෂව චිත්‍රපට බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. ඊට හේතුවක් විය හැක්කේ චිත්‍රපටයක් යනු විශාල ධන ආයෝජනයක් ඉල්ලා සිටින සහ එලෙසින්ම ලාභය අපේක්ෂා කොට වෙළඳමය අරමුණුවලට මුල් තැන දෙමින් තීරණය වන වානිජමය ව්‍යාපෘතියක හැඩය ගන්නා නිසාය. මෙවිට ආගමික පරමාර්ථය සහ වාණිජමය පරමාර්ථ අතර නොපෑහීමක් හට ගනී. ලාභාපේක්ෂාව සහ ආගම් බැතිය, පරස්පර ය.
“සතර පෙර නිමිති“ චිත්‍රපටයෙන් පසුව සුනිල් ආරියත්න අතින් ආගමික චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය විය. “ක්‍රිස්තු චරිතය“, “උප්පලවණ්නා“, “කුසපබා“ වැනි ආගමික චිත්‍රපට ඊට නිදසුන් වේ. “උප්පලවණ්නා“ චිත්‍රපටයට තේමා වූයේ ථේරි ගාථාවකි. “කුසපබා“ චිත්‍රපටයේ ප්රස්තුතය කුස ජාතකයයි.
ආගමික චිත්‍රපට ධාරාවේ විශිෂ්ට රූප ප්රකාශනය ලෙස දශක අටක ලාංකික සිනමාව තුළ වඩාත් කැපී පෙනෙන බෞද්ධ චිත්‍රපටය වන්නේ “සංකාරා“ චිත්‍රපටයයි. බෞද්ධ භික්ෂුවකගේ ජීවිතය පිළිබඳ කතාවක් පදනම් කොට තැනුණු “සංකාරා“ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ප්‍රසන්න ජයකොඩි ය.
චිත්‍රපටය නම් වූ කලාත්මක ප්‍රකාශන විශේෂය තුළ ආගමික චිත්‍රපට ශානරය අර්ථකථනය කිරීමේදී එහි බෞද්ධ චිත්‍රපටය නමැති අනුප්රභේය කවරාකාර විය යුතුද යන අවධාරණය නිරාකණය කර ගැනීම සඳහා ගත හැකි හොඳම නිදර්ශනය “සංකාරා“ චිත්‍රපටය යි. දෙවැන්න “රන්සළු“ චිත්‍රපටයයි. සෙසු බෞද් චිත්‍රපට රාශියම අපට වර්ග කළ හැකි වන්නේ පොදු ජන භාවිතාවක් වී ඇති ආගමික චිත්රටයේ එම ජනප්‍රිය ආකෘතිය හඳුනාගැනීම සඳහා වන නිදර්ශන ලෙස ය.
පොදු ජන වින්දනය සඳහා බෞද්ධ කතා අවස්ථානුකූලව යොදා ගැනීමට උනන්දු වන සනත් අබේසේකර “මහින්දාගමනය“ චිත්‍රපටය සැලසුම් කළේ මිහිඳු හිමියන් මෙරටට වැඩම කළ ඓතිහාසික සිදුවීම මතයි.
දේවානම් පියතිස්ස රජ සමයෙහි සිදුවූ එම විප්ලවීය සිදුවීම මෙරට බෞද්ධ ජන විඥාණය තීන්දු කරන ලද ප්‍රබල සංධිස්ථානයකි.
එම සුවිසල් ගැඹුරු සිදුවීම චිත්‍රපට රාමුවට ගත හැකි බව සිනමාකරුවා විශ්වාස කරයි. සිදුවීම සහ එම චරිත ආශ්රිත කතාව දෘෂ්‍යමාන ගත කිරීම තම චිත්‍රපට කාර්යය බව මෙම සිනමාකරුවා සිතයි. මිහිඳු හිමියන් මෙබිමට සපැමිණීමේ සිදුවීම රූපගත කිරීමෙන් නොනැවතී මෙම බැතිමත් සිනමාකරුවා දළදා වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාව අළලා චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඔහු එය නම් කළේ “සිරි දළදා ගමනය“ යනුවෙනි. ඔහු තවත් බෞද්ධ චිත්‍රපටයක් සෑදීය. “මහරජ අජාසත්ත“ නම් එකී චිත්‍රපටයට පසුබිම් වනුයේ බෞද්ධ ඉතිහාස කතා පුවතකි.
පොදු ජනයා අතරින් සිනමා ප්‍රේක්ෂකයා යනු ක්ෂුද්‍ර කුලකයකි. නමුත් මහජනතාව නමැති පොදු කුලකය තුළ බැතිබර උපාසක මහත්ම මහත්මීන් යනු සිනමාව රසවිඳින ස්වල්ප දෙනාට වඩා සංඛ්‍යාත්මකව විශාල කුලකයකි.
එම උපාසකම්මලා සිනමාශාලා වෙත ගෙන්වා ගත හැකි උපායක් ලෙස චිත්‍රපට මාධ්‍යය භාවිතා කිරීමේ ශූර සූක්ෂමතාවය මැනවින් භාවිතා කළ අයෙකු ලෙස සනත් අබේසේකර නම් කළ යුතුය. ඔහු “අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ“ යනුවෙන් ද චිත්රටයක් තැනය.
ඊට පාදක වූයේ බුදු දහමට මෙන්ම සිංහල ජාතියේ උන්නතිය තකා අපමණ මෙහෙවරක් ඉටු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත කතාවයි. පාලිත සිල්වා එම චිත්‍රපටය තුළ ධර්මපාල තුමා වූයේය.
ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක රූප සුන්දරියක ලෙස ප්‍රකට පුෂ්පිකා ද සිල්වා “සිරි දළදා ගමනය“ චිත්‍රපටයේ හේමමාලාගේ චරිතය රඟපෑම සඳහා තෝරාගෙන තිබුණ ද ඇයගේ අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති බවට චෝදනා කෙරෙමින් ඇයව එම චරිතයෙන් ඉවත් කෙරුණු බව එකල මාධ්‍යවල කියැවිණ.
එම චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් සෝමා එදිරිසිංහ සමඟ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝනන්ද හිමි බවද එකල මාධ්‍යවල ප්‍රචාරය විය. “සිරි දළදාගමනය“ චිත්‍රපට ගත කරන ඊ.ඒ.පී. සමාගම ද පසුගිය වකවානුවේ ආන්දෝලනයට ලක් විය. ලංකාවේ බෞද්ධ චිත්‍රපටයේ ස්වභාවය එපරිදිය.
උක්ත කාරණය අවධාරණය කර සිටිනුයේ බෞද්ධ චිත්‍රපටවල අගය සහ ඒ සඳහා ආයෝජනය කරන මුදල්වල වටිනාකම අතර නොපෑහීමක් සහ පරස්පර අර්ථයක් පවත්නා බවයි. බෞද්ධ චිත්‍රපට සඳහා සම්බන්ධ වන්නාවූ පුද්ගලයින්ගේ ප්රතිරූප එම චිත්‍රපටයේ පරමාර්ථ සමඟ සැසඳෙන තරම කතිකාවට භාජනය වනුයේ වැදගත් අනු මාතෘකාවකට මූලාශ්‍ර සපයමිනි.
එනම් බෞද්ධ චිත්‍රපටයේ කලාත්මක අගය සහ වෙළඳමය අගය එම කෘතියේ අභිමාර්ථ තීන්දු කිරීමෙහිලා කරන බලපෑම කෙතරම් ද යන්නයි.
දැඩි ආගමික ශික්ෂණයක් සහිත මෙරටෙහි ආගමික චිත්‍රපට සඳහා අනුබලයක් නොලැබීමට හේතු වී ඇත්තේ ද එකී ආගමික හික්මීම ම බව පෙනේ. ආගම කෙරෙහි අසීමිතව බැතිමත් වීම සහ සිනමාශ්වාදය එකිනෙක යා නොවන දෙකොණ විලක්කුවකි. ආගමානුකූල අන්තගාමියකුගේ වින්දන අපේක්ෂාව අනෙකකි.
ශ්‍රද්ධාවෙන් අන්ධ වී භක්තියෙන් උජ්ජ්වලිතවීම සහ සිනමා රසාස්වාදය යනු එකිනෙකට වෙනස් තත්ත්වයන් ය. ප්රකර්ෂයෙන් බැලීම සහ ඒ තුළින් ලෝකය දැකීම සහ යමක් කෙරෙහි උමතුවෙන් අවිචාරවත් ලෙස උනන්දු වීම ආගමික චිත්‍රපට සම්බන්ධව පරස්පර විරෝධී අන්ත දෙකක් ලෙස විග්රහ කළ හැකිය.
තම ආගම හෝ දේශපාලන දෘෂ්ටිය වැනි කෙනෙකු තරයේ අදහන ඕනෑම දෙයක් ගැන අවිචාරවත් උද්යෝගයකින් කටයුතු කරන්නා අන්තගාමියෙකි. එබඳු අන්ධ භක්තියකින් යුතු කෙනෙකුට උසස් රස විඳින්නකු වීම දුෂ්කර ය. මෙම අන්ධ භක්තිමය, උමතු, අවිචාර අන්තගාමී තත්ත්වය හැඳින්වෙන්නේ “ධර්මෝන්මාදය“ (Fanaticism) යනුවෙනි. චිත්‍රපටයක් හෝ පොදුවේ කලා නිර්මාණයක් සමඟ ප්රකර්ෂයෙන් දැහැන්ගත විය හැක්කේ එම අන්තගාමී තත්ත්වයට පටහැනි ලෙස නිවහල් වූවකුට පමණි.
සිදුහත් කුමාරයාගේ උපතේ සිට සම්බුද්ධත්වයට පත්වීම දක්වා වූ සිද්ධිදාමය පාදක කොට 2013 දී තැනුණු “ශ්‍රී සද්ධාර්ථ ගෞතම“ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් ය. සමන් වීරමන් යනු “ආලෝකා උදපාදී“ චිත්‍රපටයේ තිර රචකයා ය.
ඔහුගේ පුත්‍රයා වන චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආලෝකා උදපාදී“ චිත්‍රපටයට පාදක වන්නේ සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගතව පැවත එන බුද්ධ භාෂිතය අනුරාධපුර යුගයේ ගැටුම්කාරී සමයක ග්‍රන්ථාරූඪ කිරීමේ ක්රියාදාමයයි.
මෙය බෞද්ධ පසුබිම තුළ සැකසුණ ද ඓතිහාසික සහ රජකතා ප්‍රභේදයට වඩාත් අදාළ වන චිත්‍රපටයකි. බෞද්ධාගමික පසුබිම සහ රාජ්‍යත්වය අතර පවත්නා සම්බන්ධතාවය ප්රස්තුත වූ චිත්‍රපට රැසක් පසුගිය දශකයේදී ජනගත විය. එකී “රජ චිත්‍රපට“ ප්‍රවණතාවයට ඉලක්ක ගත වූයේ ද පොදු ජනතාවයි. එය සිනමානුරූපී රූප ප්‍රකාශන ප්රබලතාවයටත් වඩා පොදු ජන රුචිය කෙරෙහි සැලකිලිත් වූ බව පෙනේ.
ශ්‍රී ලංකාවේ බෞද්ධ චිත්‍රපට ඉතිහාසය 1952 තරම් ඈතට දිව ගියද එය මේ වන විට එතරම් පොහොසත් නිර්මාණ කලාවක් නොවන බව බොදු චිත්‍රපට කිහිපයක් ම තැනූ සුනිල් ආරියත්නගේ මතයයි.
(බුදු සරණ, 2016 - 11- 18) මෙරට බෞද්ධ චිත්‍රපට ඉතිහාසය තුළ පොදු ජන කැමැත්ත බහුලව දිනාගත් චිත්‍රපටය වූ “අජාසත්ත“ වැඩිම ආදායම් ලද චිත්‍රපටයක් ලෙස වාර්තා ගත වෙයි. නමුත් එය උසස් කලා කෘතියක් ලෙස පිළිගැනෙන්නේ නැත. “අජාසත්ත“ චිත්‍රපටය වාණිජමය අතින් සාර්ථක වූයේ පිය පුතු සම්බන්ධය භාවතිශය ලෙස මතු කිරීම නිසා බවට මතයකි.
එතරම් ම භාවාත්මක කතාවක් වූ “පටාචාරා“ චිත්‍රපටය වාණිජමය වශයෙන් එතරම් සාර්ථක නොවන්නේ ඇයි? සිනමා කර්මාන්තය සහ වෙළඳපොල හැසිරීම සහ ඒ තුළ චිත්‍රපටය නම් වූ වෙළඳ භාණ්ඩය ආකර්ශනීය ලෙස ජනතාවට හඳුන්වා දීම යන කාරණා බෞද්ධ චිත්‍රපටයකට ද අදාළ ය. “සිරිපතුල“ චිත්‍රපටය ද වාණිජමය වශයෙන් සාර්ථක විය. “කුස පබා“ චිත්‍රපටය ඉහළම ආදායම් ලද මෙරට චිත්‍රපට අතර තෙවැනි තැන ගනී.
චිත්‍රපටයට පදනම සකසනුයේ කතන්දර ස්වරූපයයි. රූප ස්වරූපයෙන් කතන්දර කීමේ කලාව වන සිනමාවට පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් ජාතක කතා තේමා කොට ගැනීම අල්පව සිදු වූවකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “බංගලි වළලු“ චිත්‍රපටයට පාදක වූයේ සේරි වානිජ කතාව යි. වෙස්සන්තර ජාතික කතාව ඇසුරෙන් තැනූ සිංහල භාෂිත චිත්‍රපටය “වෙසතුරු සිරිත“යි. එය තිරගත වනුයේ 1966 වර්ෂයේදී ය.
“වෙසතුරු සිරිත“ චිත්‍රපටයේ කලාත්මක හැඩයට හේතු වූයේ මහාචාර්ය තිලක් රත්නකාර, මහගමසේකර, සුමිත්ත අමරසිංහ, සෝමබන්ධු විද්‍යාපති, නන්දාමාලනී වැනි සුභාවිත කලාකරුවන් සමූහයකගේ දායකත්වය යි. දේශීය සිනමා ගීතය පෝෂණය කළ “රුවන් වළා දුහුල් කඩින්“ නමැති රමණීය චිත්‍රපට ගීතය නන්දාමාලනී විසින් සුගැයුණේ ද “වෙසතුරු සිරිත“ චිත්‍රපටය වෙනුවෙනි. මෙරට බෞද්ධ චිත්‍රපට ප්‍රභේදය තුළ වඩාත් කලාත්මක චිත්‍රපටයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “රන්සළු“ සුවිශේෂ වන කරුණු විමසිය යුතු ය.
බෞද්ධයා යනු කවරෙක්ද? “රන්සළු“ චිත්‍රපටයට ප්රස්තුත වන්නේ බෞද්ධයා යනු කෙබඳු ගුණාංග සහිත පුද්ගලයෙකු දැයි අවධාණයයි.
අනෙකුත් සියලු බෞද්ධ චිත්‍රපට වලට වඩා රන්සළු චිත්‍රපටය සුවිශේෂ වන්නේ එබැවිනි. සිංහලකම, බෞද්ධකම සහ දේශීය අනන්‍ය බව කෙරෙහි වඩාත් නැඹුරු වූ ලෙස්ට් ජේම්ස් පීරිස් ගේ සිනමා කෘති රැස තුළ අතිශයින් ම බෞද්ධ ස්වරූපයක් සහිත චිත්‍රපටය ‘රන්සළු‘ ය. රෝමානු කතෝලිකයකු වූ මෙම සිනමාකරුවා “රන්සළු“ අධ්‍යක්ෂණය කරනුයේ දැඩි ශික්ෂණයකින් බව ඒ පිළිබඳව ඔහු යම් යම් විට කී දේ විමර්ශනය කරන විට හැඟෙයි. “රන්සළු“ චිත්‍රපටයේ බෞද්ධ ස්වරූපය යනු ආගමික චිත්‍රපටයක පරමාර්ථ සහ අභිමතාර්ථ අවධාරණයට ගන්නා මූලාශ්රමය ආකෘතියක් ලෙස සැලකිය හැකිය.
පොදු ජනතාව පිනවීම සහ ඒ ඇසුරෙන් ආදායම් වාර්තා පිහිටුවමින් වෙළඳ අරමුණු ජයගැනීම තකා බෞද්ධ චිත්‍රපටය භාවිතයට ගත යුතු ද? එම කතිකාවට “රන්සළු“ චිත්‍රපටයේ ආකෘතිමය හැඩය මැනවින් ආදර්ශයට ගත හැකිය.
ශ්‍රී ලංකාවේ බෞද්ධ චිත්‍රපට සමූහය කොටස් දෙකකට බෙදා වෙන්කොට විග්රහ කළ හැකිය. ආගමික චරිත සහ සිදුවීම් රැගත් චිත්‍රපට සහ ආගමික විඥාණය අවධාරණයට ගැනෙන චිත්‍රපට යනුවෙනි. මෙම එක් චිත්‍රපට ස්වරූපයක් සිනමා වෙළඳපොලට වඩාත් අදාළ වන අතර අනෙක් චිත්‍රපට විලාසය සිනමාවේ කලාත්මක ප්රකාශනයට සමීප ය. මින් ගම්‍ය වන නිගමනය වන්නේ බෞද්ධ චිත්‍රපට තනන සිනමාකරුවා එක් අතකින් සිනමා ප්‍රේක්ෂකයා සහ අනෙක් අතින් ආගම් බැතිමතා තම ඉලක්ක කණ්ඩායම ලෙස සලකන බවයි.
බෞද්ධ චිත්‍රපට තනන එක් සිනමාකරුවකු සිනමාවට භක්තිවන්ත වන අතර තවත් සිනමාකරුවකු පොදු ජන රුචියට භක්තිවන්ත ය. පොදු ජන රුචියට බැතිබර වීම චිත්‍රපටය නම් වූ වෙළඳ ව්‍යාපෘතියේ අභිමතාර්ථ සාක්ෂාත් කරන්නකි.