
වෙසක් සඳ
සව් කෙලෙසුන් නසා සම්බුදු පදවි ලද
ගවුතම සුගත් නිදුකාණන්! දිනූ අද
පව් මල දොවා සැම සුවපත් කරන ලද
මහිමය මවා පා පායයි වෙසඟ සඳ
දස දෙස මියුරු බිඟු සරණිය ඇසී ඇසී
කෝකිල සියොත් රඟ රමණිය දිසී දිසී
සිදුහත් උපත සිහිකර තුන් ලොවම රිසී
සොමි කැන් දහර ලුම්බිණියට ගලා බසී
දස මරසෙන් පැරදු බෝසත් කුමරුනට
ජයසිරි බෝ සෙවණෙ බුදුබව ලැබුණු විට
පළමුව පිදූ හැටි සඳ මල් කැළුම් මිට
මෙනෙහිව අදත් සැනසෙයි සඳ ගුවනෙ සිට
සත් වග දුකින් මුදවා මොක් සුමග ලබා
සෙත් සැදු සැමට පා අම මහ නිවනෙ සොබා
හිමි පිරිනිවී බව හඟවනු පිණිස නොබා
සිතිජය ඉමෙහි සැඟවෙයි සඳකිරණ පබා
බුදු පුද පිණිස ඉහෙමින් මියුරු මුවරද
පිපිමල් සුවඳ දෙයි තුරුසිරස පිරිමැද
දිවයන සවන ගතරැස මඬුලු සිරිවිඳ
නමදිමු වැතිර සිරිගන සමිඳු සිරිපද
පියසීලි ගුණසේකර සුමනරත්න
-------------------------
වෙසක් මිහිර
අවුරුදු සිරිය විඳ හැකි ලෙස හැකි විලස
සිතුවම් කළා අඹු දරුවන්ගේ මනස
වෙසක් සිරිය පිළිගන්නට මග දෙපස
බැති මල් පොකුරු පූදිනවා ගම සිරස
තුරු වැල් පලබරින් නැමිලා සතර දිගේ
ලස්සන අරලියා වතුසුදු පොකුරු අගේ
සිල් රෙද්දක් ඇතිරූ වැනි දෙවට දිගේ
වෙසක් පෝය ළඟ එන බව කියනු රහේ
වෙසක් පැතුම් ගොනුවේ නංගිට යවන
විසිතුරු බවින් පිරිලා සිත් කා වදින
අම්මට, තාත්තට, මල්ලිට සෙත් පතන
කවි ලියැවෙනව බොදු බැති ගී පද බඳින
එළිය කූඩු සැරසිලි සැම මගේ අතින්
නිමකර ගන්න හැකිවේවිද සෙනේ සිතින්
කොඩිවැල් ලෙළ දිදී හමනා සුළඟ මතින්
තෙමඟුල සිහි කරන්නට මල් පුදමු බැතින්
තෙල් මල් කපුරු සුවඳින් බුදු ගෙය නැහැවෙයි
සාදු හඬින් විහාර මලුවත් නද දෙයි
උවැසි උවැසියන් පෙහෙවසටම සැරසෙයි
මුලු ගම වෙසක් මිහිරෙන් මිහිරට පත්වෙයි
ආනන්ද අබේවික්‍රම
-----------------------
වෙසක්
උතුම් තෙමඟුල සමරන
සුවඳ මල් පිපී නැළවෙන
පරිසරය හැඩ වැඩ කරමින
මඳ නළ හමයි සුවදෙන
තුරු ලතා ගොමු දළුලනවා
දස අත නැවුම් වී පෙනෙනවා
පොකුරු පොකුරු මල් පිපෙනවා
වෙසඟ ළඟ ළඟ යැයි හැඟෙනවා
කලාවෙන් කලාවට මෝරන සඳ
රන්වන් බෝපත් හැඩකරන සඳ
රන්වන් පැහැයෙන් වෙහෙර දිළෙන සඳ
වෙසක් සිරි අසිරිය මැවෙන සඳ
නිරන්තරේ දන් පින් කරන
යහගුණ දම් වඩ වන
උතුම් මිනිස්කම දින දින වඩවන
මෙවන් වෙසඟක් කොහිද තව වෙන
සැම විට අකුසලය දුරලමු
කුසලය නිතොරව වඩවමු
දෙරණම දහමින් සරසමු
උතුම් වෙසඟ සමරමු
සුනේත්‍රා ප්‍රේමසුන්දර
--------------
සම්බුදු තෙමඟුල
සුරලොව සුරසැප අතහැර මිහිබට
දඹදිව සුදොවුන් රජුහට පුතනුව
බිසවුන් මායා දේවිගෙ කුසතුල
පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්
දසමස ගෙවලා සියපුතු ලැබුමට
මවුපියො දැකුමට දෙවිදහ යනමග
පෙරහැර සරුකල පිරිසද සමගම
දේවිය සපැමුණි ලුම්බිණි උයනට
සල්ගස අත්තක් පහතට නැමුවා
සල්මල් නෙළුමට දේවිට සිතුනා
නෙලමින් සිටියදි බිසවුන් සල්මල්
සලිතව මිහිකත පිළිගති කුමරුන්
වලඳා කිරිපිඩු සුජාතා දේවිගේ
තලියත් පාකර ගඟදිය ඉහළට
පරදා දසබල මරුවන් ගඟඩබඩ
ලැබුවා බුදුබව සඳනැගි යාමෙට
බෙදමින් දම්රස තුන්ලොව සැනසූ
පන්සාලිස් වසඅවසන එළඹුණු
වෙසක් පොහෝ දින පුන්සඳ පෑයූ
පිරිනිවුනා අපේ සම්බුදු සමිඳු
ඒ. එම්. අබේසිංහබණ්ඩා
-----------------
අසාරයි සසරේ
මහා බෝ මැඩ - සැළෙන බෝ පත්
සංසාර පවනේ
රිකිලි තනමින් - පාට හැඩයෙන්
සරසලා වැන්නේ
මද පවන වැද - සර නගන හඬ
අතර මග ගමනේ
විඩාබර පත් බිම හෙළන හැටි
අනියතයි දෙසුවේ...
උදා ඉර ළඟ - පිපුණු පියුමන්
පර වෙලා යන සේ
නේක විසිතුරු - රටා ගිලිහෙයි
අසාරයි සසරේ...
මහා කරුණා බුදු හිමී
දෙසූ සදහම් පැන් වැසී...
බෝ පතක් වී - මියැදුණත් මට
මහා බෝ සෙවණේ
අහෝ සැපයකි - හිතට නිවනකි
අසාරයි සසරේ....
මහා කරුණා බුදු හිමී
දෙසූ සදහම් පැන් වැසී...
සුසන්ත ජයනාල් පෙරේරා
-----------------
සිතන්න මේ ගැනත්
නැඟ එන වෙසක් සඳ රෑ අහසේ පෙනුණි
ගිනිගෙන දැවෙන සිත තුළ සිහිලක් දැනුණි
සිලි සිලි නදින් බෝපත් සෙලවෙනු ඇසුණි
දෙනෙතම පියාගෙන සත වෙත මෙත් වැඩුණි
බුදු දහමෙහි අරුත වැටහී නැති ගානයි
කහ සිවුරටත් දැන් දැන් ගැරහුම් බෝමයි
තණ්හා පොදි බැඳන් බොදු දන යන සේමයි
අනියත බව සැමම අමතක වී වාගෙයි
පන්සිල් මිමිණුවත් ඒවා රකිනවද
දෙතොලින් හිනැහුණත් හදවත පිවිතුරුද
ඉසි කෝ මදමාන රැහැනේ පැටලීද
ඔබ ඔබගෙන්ම මේ වෙසඟේ අසනවද
දම්මිණී ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා
---------------
රන් රුව
සියොත් නද මියුරු මියුරූ
විසල් තුරු මහරු මහරූ
සුනිල් දිය කඳුරු කඳුරූ
ඇතුන් දිය කෙළින අයුරූ...
සුපුල් මල් පොකුරු පොකුරූ
බඹර ගමු ‘රුරුරු රුරුරූ’
සරන වග වලස් රුදුරූ
බුදින තණ මුවන් සොඳුරූ...
පොකුණු, විල් සුපිපි තඹුරූ
දිනිඳු හා සමග මිතුරූ
තරිඳු එන මඟට වැතිරූ
සිනහ වත නොවුණි අඳුරූ...
නැත නැවතුණේ එනමුදු සියොත් ගී සර
දුටුවද වග, වලස් නොසැලුණි මුවන් කුර
තුරු අතු රිකිලි අග පුල් මල් පියංකර
මේ රැය තෙත් කරයි සුවඳින් නිරන්තර
වළාවකින් පැන නැගුණු සඳ වැන්නේ
වනන්තරෙන් ‘රන් රුවකී’ මැවෙන්නේ
පීත සිවුරු කඩ සුළඟට සැළෙන්නේ
කාට වුවද දැක්මෙන් සිත පිරෙන්නේ...
මහා නුවණ ඇතියකු සේ පෙනෙන්නේ
මහා කාරියකටයි මේ සැදෙන්නේ
මහා ඇසතුවට පිට දී හිඳින්නේ
වහා පියා ගති නෙතු අදිටනින්නේ...
අලුයම එළැඹි කල ලෝකය දකින්නේ
ලෝ සත විඳින දුක නුවණින් පෙනෙන්නේ
තැන තැන මිහිතලය ගුගුරනු ඇසෙන්නේ
‘රන් රුව’ ගතින් සවනක් රැස් දිලෙන්නේ...
ගොංගිතොට සරත්
-------------------
සිත්පහන් වේවා!
වෙසක් සඳේ එළියෙන් ලොව නැහැවෙනවා
ගහ කොළ අතු රිකිලි මල් පලබර වෙනවා
හිමි දෙසු දහම් මඟ යළි යළි සිහි වෙනවා
මිනිස් සිත් සතන් දැහැමින් පැහැ දෙනවා
අමිතා කුමාරි දිවාරත්න
-------------------
බුදු සිරි අසිරිය
බුදු සමිඳුන් හෙවණේ සිටියොත් මට කොතැනෙක හෝ දස දිසන්තයේ
එ මොහොත නම් පුර පසලොස්වක වෙයි වෙසක් මලින් පිරි වසන්තයේ
ලොවුතුරු මිහිරේ මහිමය උදහන දෙව්දහ පුර සල් දුමන්තයේ
දෙව්දුනු එළියෙන් අන්තය දැක්වෙයි අනන්ත සක්වළ සමන්තයේ
ගම් දොර වන රොද අද්දර පන්සල් කුටියේ රූස්ස රුප්පාවේ
අබ තෙල් පානේ වැටියෙන් විහිදෙන කැන් කිඳු මදු මුදවට පාවේ
දෙ සඳුන් සුවඳින් පින් පරිසරයේ පැද්දෙන ගංටාවෙහි රාවේ
ගෙන එන්නේ නොපැවැසූ උදානය බෝමුල බුද්ධ ගයාවේ
මල් පෙත්තක් බිම වැටුණ ද හඬ හැඳිනිය හැකි නිසසල එළි මහනේ
දවහත් තරු දෑ සමන් සේදු මැදියම් රෑ කල හඳ පහනේ
ඇස්වුණු බුදු බණ පදවල පිළිරැව් මිගදායේ ඉසි වන දහනේ
සව්නේ මඬලේ නොපෙනෙන ගැඹුරට කිඳා බසියි දී සිත් සහනේ
සන්සුන් දසුනේ උපසම සිරියේ ගල රළ පෙළ පෑ රැස් මූදේ
ගන රන් නැව් බඳු දෙතිසක් වර මහ පුරිස් ලකුණු රැඳි සිරිපාදේ
සිහිලළ පහසින් සුවපත් වුණු පින් බිම්කඩවල දාගබ් සෑදේ
වාහල්කඩවල පුදසුන් දෝවනයට මගෙ හද බැති මල් පීදේ
නිල් කටරොළු මල් පැහැ රැඳි වෙල පෙළ රොද බැඳි පාටට පැලක් තියා
විහඟුන් ගැවැසෙන ගිරිකුළු අතරේ පිළසල නෙන් පිළිබහන් නියා
අරණේ ඉන්නම් ගං ගල් ඇසුරේ සිවු පිළිසිඹියා සැපත් සොයා
සඳ සේ මුල වන ගායත්තිය ගෙන අටකුරු විරිතින් ගයක් ගයා
ගැළියායෙන්බද කෑමෙන් මුලු දී පැහැර උරෙන් උර සිවු පිරිසේ
බුදු එළියෙන් ඇස තෙමෙන මානෙ උළුලුයෙන් එකත්පස හිඳ නිසි සේ
බුදු මුව බලමින් දෝත තබා ගෙන සැදැහැ බරින් නතු වුණු සිරසේ
තෙවළා බණ කවි සිඳු කිමිදෙන්නම් හැම අකුර ම වණ පොත් වන සේ
තුන් ලෝ තලයෙහි කිසියම් තැනකට වඩනා සඳ සත් වග සඳහා
කෙළ සුවහස් දන විස්මය ගන්වන සිත් ගමනින් ඉදුහය විදහා
සිවුරඟ සෙනඟක් ඇත් අස් රතයක් අහස්යානයක් සර සහරා
සඳ විමනක් නව්කාවක් කුමට ද ම හිමිට ගොඩ දිය නුබ හරහා
ගඟ දිය බස්නා ඉමිහිරි තාලෙට පිලඹළ මොනරුන් රැඟුම් සෙවී
අරණින් නොමිදී අරණේ පසු වී වන වාසයකින් මහලු නොවී
අජකරණී නදියෙහි ඉවුරේ සිත් අලවන සෙනසුන් ලෙනක මැවී
සප්පක තෙර මෙන් ථෙර ගීතයත් නංවමි පවිවේකයෙන් නිවී
හදිසියෙ දුටුවොත් හිමියාණන් වඩනා බව මගෙ ගම් පියෙස මඟා
හිටිවන ගාතා පෙළක් ගයා සම්බුදු අසිරිය කිවි බසට නඟා
සිරි පා නමදින්නට බදැඳිලි මල් මිටි මිටි ගෙන හිස මතට නඟා
පිළිවන් නම් වංගීස බමුණු හට මට බැරි ඇයි වී පියට ළඟා
ගස්වැල්වල මල්ගොඩ දිය පිපි මල් අහසේ පිපි මල් උහට උහේ
සිවු දෑ ගඳ දුම් පුනු රැසි පෝ දින විහිදෙන පින් බර වෙසක් මහේ
තෙමඟුල සිදු වුණු තෙමඟුල් සිහි කළ සිල් පිරිසෙහි බුදු මතුර ඇහේ
බුදු සිරි අසිරිය පවසන්නට මට සවියක් නැත මගෙ පුරුදු බහේ
පණ්ඩිත් විමල් අභයසුන්දර
----------------------
අසිරිය!
බෝපත් ලෙල දිදි මුණි ගුණ මුමුණනවා
පවනට මුසුව සිල් සුවඳක් විහිදෙනවා
වන විහඟුන්ගෙ බැති ගී නද පැතිරෙනවා
වෙසඟේ අසිරියෙන් තිලොවම නැහැවෙනවා
පින් බර වෙසක් සඳ රන් වන් කිරණ හෙළා
බැබළෙනවා පෙනේ! අම දම් සිසිල සලා
බොදු දන සිත් සතන් බැතියෙන් පහන් වෙලා
තෙදියත තෙමා යයි බුදු ගුණ ගඟුල ගලා
ඇම්. ඒ. ජයසිරි
--------------------
බුදු හිමියනේ
පින් කෙතක මහිමය සයම්භූ
තෙමඟුල් සිරි සුබ අසිරියෙකි
දිගු හොටිනි පන්හිඳෙනි
වනන්නට පළමු සග බුදුසිරිත - පියුම් පිට වැඩුම
වදන් සවි අහිමි වේද සකලයිනි?...
වපසරිය නොහිමි තව තැනක් වෙයි
ඉගිළ යමු ගයා සිරස
දසබිම්බරක් මර රුපු සෙන් දුර්මුඛව
පලා ගිය සක්වලින් එතරද...
නොනිමෙනින් සුදැල්වෙන
විප්සිඳු සවනක් කේතුමාලා කෙරෙන්
මහා බෝටැඹ දකිව්!
බුද්ධ බෝගයේ විස්මය - දසනු දෙස පළ කරමි
තෙවනු සහ රුවන්පිටු පෙරදැක්ම
‘පරිනිර්වාණ මංගල්ලය’ පෙළහර පායි
උපවර්තන සල් මල් උද්යන උදානය
අසව් සවණක් පැහැර....
තුන්ලොවට එකවිටම වලස්නා ‘රුද’ ඇසෙයි
එහෙත් “සකලවිධ සංස්කාරක අනිත බව”
පසක් කළ රුවන් බුදු බණින් නික්මුණු
එක් මදාරා මලක් රැගත් කෙළඹි පුත්‍රයා
මාවතේ සැරුවන්ට පෙහෙළි කළ සත්‍යය ගීතය
තොප තුඩක පිළිරැව් නඟන උදානය
ඇසෙයි මුළු ජනත් ධරණියට
ජයම්පති අල්ගම
--------------------
පන්සලේ කවි
සිල් ඇත්තෝ සිල් අරගෙන පේලියට
සන්සුන් ගමන් යන කල එක තාලයට
ඒ ලෙස රටම සංවර කර සාමයට
මඟ හෙළි කරනු බරි ඇයි අද ලෝකයට
පෙරදිග අහසෙ පායන සඳ බලාගෙන
ලොව්තුරු බුදුන් වෙත වන මල් නෙළාගෙන
ගොස් බුදු පුදට සිරිපා මුල වැටීගෙන
සාමය පතමු මුලු ලොවටම සදාතන
මේ මල් වෙසක් පුන් පෝදා අපි එකට
එක බණ මඩුවෙ සිල් අරගෙන යස රුවට
වාද බේද අත හැරදා පෙර ලෙසට
සාමය සොයමු බුදු බණ පොත ගෙන පෙරට
එක පැදුරේ එකට ඉඳගෙන මුළු රටම
බත් කන දිනක් යළි ඒ විද සිතමි මම
ඒ වගෙ දිනක් ආ දවසට අසම සම
බුදු හිමියනේ යළි පා යුග වඳිමි මම
මියගිය පුතුන් වෙනුවෙන් දුක් කඳුළු බොන
අම්මාවරුන් ඇත සිරිලක සියළු තැන
ඒ දූ පුතුන් හට පින් දී පොහොය දින
යළි මේ බිමේ උපදින්නට පතනු මැන
සාමය උදා වන තුරු මගෙ මව් බිමට
මේ ලෙස හැලේ ලේ ගංගාවක් ලෙසට
නෑ සැනසුමක් අත් වන්නේ රටට
සාමය පතා එක්වව් මිනිසුනි එකට
අසරණ රටක අපි අසරණ නොවී ඉමූ
හෙණ ගෙඩි වුණත් අපි උරදී ඉවත ලමූ
නැති බැරි කමට එරෙහිව අපි පෙරට එමූ
ඒ මෙහෙවරට ජාතිය එක ගොඩට ගමූ
අකුරට ගොසින් එන මග වෙඩි නැගෙනු එපා
මල් වැනි ළමා ජීවිත තටු සිඳිනු එපා
කුසගිනි රැඳුණු ගම් මැද ගී කියනු එපා
වෙසක් පැතුම එය වේ එය බිඳිනු එපා
රඹුකන සිද්ධාර්ථ හිමි
---------------------------
සිල් සුවඳ
එකයායට ගහේ වැලේ පිපිලා මල්මල්
වෙසක් පහන් දල්වනවා පුංචි ළමෝ මල්
කිරි සුදුපාටයි මළුවම සුවඳයි සිල්සිල්
බුදු තෙමඟුල අදයි අදයි යමු අපි පන්සල්
කුසුමා ප්‍රේමරත්න
----------------------
නැති බැරි අයට අකැපද පින හැමදාම
ඉඳහිට අඬන අහසේ කඳුළින් තෙමෙන
නිදියන රැයට කුසයේ ගිනිදැල් නැගෙන
දහදිය සමඟ දිවියම දියකර හැරෙන
බණපද කියන්නෙත් දුක උන් නිති විඳින
දිව්වත් මිරිඟුවක් පසු පස හැමදාම
සෙව්වත් සිත තුටක් ලැබුනෙම පැරදීම
ගෙව්වත් පෙර පවක් ඉතුරුයි තව බෝම
දුන්නත් උපදෙසක් දුන්නෙම වැරදීම
ගෙනැවිත් තබා මෙට්ටය මත සැප දැනෙනා
තැබුවත් ලෙසට බැස මඬෙහිම යළි රැඳෙනා
ඇසුනත් මහා බණ දෙසුමන් දස අතිනා
කාටත් බැහැනෙ පින දෙන්නට පව ගෙවෙනා
විඳ විඳ නේක කරදර දුක් දිවියේම
තව තව බෝම යන්නට ඇත සසරේම
දැන දැන දොරටු බෝ ළඟ මුත් නිරයේම
නැති බැරි අයට පින අකැපද හැමදාම
මනෝරි ගමගේ
--------------------
අසමසම බුදු පියේ
අලව් යක් වැනි වසවත් මල්ලි
නිනව් නැතුව එව් මුත් නෙක පිල්ලි
එගව් තම සිත ගියෙ නෑ හෙල්ලි
සෙලෙව් වැකිද මෙර වවුලෙක් එල්ලි
දරුණුම පුඟුලන් දහමට නැව්ව
සග මොක් පුර වෙත හිණිමං තිව්ව
මුනිඳුනි ගුණ පරදන මෙර පව්ව
ඔබ වැනි උතුමෙක් නැත ගිනි නිව්ව
සමහරු මානය බිඳුමටම
යමක මහා පෙළහර පෑ පුදුම
ලෝක සිවංකර බුදුහිමි අසම
නමදිමි සැදැහෙන් සිරිපා පියුම
නාලාගිරි ඇතු හට රා පොවලා
අකුසුවලින් ඇන කෝ ගිනි අවුලා
එව්වත් ඔබ දෙස දෙවිදත්තරලා
දමනය කෙරුවේ මෙත් පැන් ඉසලා
වාදෙට සුරුවිරු සච්චක බමුණා
සු ගැඹුරු තතු පැන අසමින් එදිනා
පැරදී බුදු හිමි ළඟ වැඳ වැටුනා
අසදිස වේ නැණ මහිමෙන් දියනා
ලොව පැතිරුණ මිසදිටු ගිනි අව්ව
මැඩ සදහම් හිරවරණය තිව්ව
සත ගේ කෙළෙසුන් සරතැස නිව්ව
මුනිඳුට මගෙ හිස සමනොල පව්ව
අමුවල අමරසේන
-----------------------
බුදුහිමියනේ
දහස් වසරක් දෙරණ වැජඹුණ
බුදු සසුන පිරි පුන් සඳක් වැනි
වෙසක් සුළඟට සැලෙන බෝපත්
දැයට කියනා බණ කතා මෙනි...
නොමිනිසත් කම අධර්මය අද
හිමාලයටත් වඩා උස වුණි
මෙතේ බුදුරැස් අප්‍රමාදව
මිනිස් කැළ වෙත එවනු හිමියනි...
ශ්‍යාම කුමාර මුණසිංහ
-----------------------
වෙසක් කවි
රිස්වාන් මා ප්‍රිය මිතුරේ
කල්මුණේ නිසල අහසේ
නුඹ දැකපු
රාමලාන් සඳ එළියේ
ඇති හැකි... නැති බැරි සැමට
කුසගින්න දැනෙන හැටි
ලියැවී තිබුණා හරි අපූරුවට...
මාතර.... නිසල අහසේ
නුඹ දැකපු ඒ සඳම
අපි දුටුවා
වෙසක් පුන් සඳ විලස
අනියත දිවිය ගැන
බුදු වදන් ලියැවී තිබුණා...
ඒ නිවුනු සඳ එළියේ
එකම ඉර... සඳ යට
දිවි ගෙවන නුඹට... මට
කුමකටද?
ජාති.. කුල.. මළ භේද
එන්න මා ප්‍රිය මිතුරේ
සුදු නෙළුම් මල් දෝතක් අරන්
වෙසක් සඳ එලිය දිගේ
වඳින්නට මාතර බෝසමිඳු...
රත්නසිරි පතිරණ
---------------------
කුණු කඳු
ඇති නොවන බලය
මානය කුල මල නිලය
විකල වුණ මොළය
කෙෙලස් කුණු කඳු...
ලෝබ මද මාන
කෝප වෙර බිය ගේන
සිතේ පුරවාන
දකිති දිවිතෙක් නපුරු හීන...
දැඩි දුගඳ ගිලිහෙන
විටෙක ගිනි ගෙන දිලිහෙන
උනුන්ගෙන් පළිගෙන
රුදුරු නරපණු කැලත නළියන...
බලු කවුඩු පොරය
නොවන තුරු අහවරය
දිවි දුකට බරය
එයින් මිහිමත මැවෙයි නිරය...
කුණු නිසා යැපෙන
උනුන් එරෙහිව හැපෙන
මීනි මල් පිපෙන
කෙළෙස් කුණු බිහිසුණුය කිපෙන...
කෙෙලස් කුණු කසළ
නිකසළ කරන කුසල
පිරුණු සිත් අසල
සොඳුරු අරමුණු නොවෙයි සසල...
සෙවණ ලැබ තුරු මුල
සිදුවිය සොඳුරු තෙමඟුල
පරිසරය නිකසළ
සුවය සලසයි සිතට සුනිමල....
දහම් එළි ගේන
වෙසක් පුන්සඳ පාන
සිතට කුණු නේන
ලොවට පෙන්වයි නිවෙන සීන...
මහාචාර්ය දර්ශන රත්නායක
ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10. දුරකථනය
011 2429265