කූරගල පුදබිමේ අසිරිය | සිළුමිණ

කූරගල පුදබිමේ අසිරිය

 

මෙවර රාජ්‍ය වෙසක් උත්ස­වය කූර­ගල පුද­බිමේ දී මැයි 14 සිට 22 දක්වා පැවැ­ත්වේ

 වසර එක්ද­හස් පන්සි­ය­ය­කට පසු රට තුළ ඉදිවූ දැවැ­න්තම විහාර ආරාම සංකී­ර්ණය මෙයයි. අක්කර 175ක් පුරා ඒ ආරාම පරි­ශ්‍රය දින 365ක් වැනි කාල­ය­කින් නිමා වීම ආශ්ච­ර්ය­යකි 

 

ප්‍රාතිහාර්යයක් බඳු පුණ්‍ය භූමියට පැමිණ නැවතී හිඳිමි. ඉදිවෙමින් ඇති විසල් දාගැබ, බුද්ධ මන්දිරය පසුකර සීරුවට පැමිණි ගමන කෙළවර වන්නේ විසල් ගිරිහිස මතිනි.

කූරගල ගිරිහිස මතට පැමිණි මේ ගමන තරමක වෙහෙසකරය. එහෙත් ඒ වෙහෙස සැණෙකින් පහව යනු දැනේ.නෙත් මානයේ මැවෙන්නේ අසීමිත දැකුමකි. දිවයිනෙන් පරාසයක් කුරුලු නෙතින් දකින්නාක් සේ නිරාවරණය වන ඒ දැකුම මනරම්ය.

මේ තෙත් හා වියළි සංක්‍රාන්තීය කලාපයක අවසාන සීමාවය. මෑත දැකුමෙහි වන්නේ හොර, කීන, පලු, වීර, බුරුත, නැදුන්, හල්මිල්ල, කැටකෑල වැනි වටිනා තුරු ගොන්නකි. ගිරිහිස මත හිඳ බලන විට සිතිජය ලෙස උඩවලව හා චන්ද්‍රිකා වැවේ දියවර පෙනේ. ගිනිකොණ දෙසින් බිඳුණුමංකඩ හා හම්බෙගමුව සුවිශාල වැව් දෙකය. ඊසාන දෙසින් හපුතලේ කඳු පන්තිය හා කොස්‌ලන්ද සානුව පෙනේ. හපුතලේ, ඇල්ල, වැල්ලවාය හා කොස්‌ලන්ද, බෙරගල මහා මාර්ගය දිගේ පහන් කණු ආලෝකයෙන් දිස්‌ වන සුන්දර දර්ශනය නැරඹීම සඳහා පෙර බොහෝ දෙනා රාත්‍රී කාලයේ කූරගල ගල් තලාවේ නවාතැන් ගනිති. කල්තොට, කොළොම්මඩ, වැලිපොතයාය, පුහුල්යාය, පුබ්බරුපොත, දියඉන්න දක්‌වා දිවෙන වෙල්යාය කූරගල පර්වතයේ සිට පෙනෙන්නේ මනරම් සිතුවමක් මෙනි.

විශ්වයේ තියුණු සංවේදනා මනුෂ්‍ය භාවයන් මත මොනරතම් ගැඹුරු ලෙස කිමිදෙන්නේදැයි වැටහෙන්නේ මෙවැනි පරිසයකදීය. මේ බිම ආත්ම සංයමයෙන් යුතු විචක්ෂණ මනුෂ්‍යයන්ට නිර්වානවබෝධය කළ හැකි තරම් වූ ශක්ති කේන්ද්‍රයක් බව නම් විශ්වාස කරමි. මේ බිමේ මහරහතුන්ටම විෂය වන ශුද්ධ භූමියක් විය හැක්කේ එබැවින් යැයි සිතේ.

කූරගල යනු හුදෙකලා සංස්කෘතික කේන්ද්‍රයක් නොවේ. එය ලෝක මානව වංශකතාවේ ලංකාවේ භූ සලකුණු සනිටුහන් කරන බිමකි. අවුරුදු තිස් දහසක කාලයකට එපිට මේ රටේ ජීවත්වූ ආදි මානවයා ලෙස හඳුන්වන බලංගොඩ මානවයාගේ ශේෂ වර්ෂ 2013 දී කළ පුරාවිද්‍යාත්මක කැණීම්වල දී කූරගලදී හමුවිය. වසර විසි අට දහසකට ආසන්න ඉතිහාසයක් සහිත මානව ජනාවාස භූමියක් කූරගල දී තහවුරු කරගෙන තිබිණි.

එමෙන්ම කූරගල බොදු ඉතිහාසයේ වෙනස්ම පරිච්ඡේදයක් විවර කළ පුද බිමකි. මහින්දාගමනයට පෙර එනම් බුදුන් ධර්මාන කාලයේ සිටම ලංකාවේ බෞද්ධාගම රෝපණයව පැවති බවට වූ ඓතිහාසික පුරා සාධක මත ගොඩනැගෙන සංවාදය ඇතිකරන භූමි පරිශ්‍රයෙන් එකක් වන්නේ කූරගල ය. මහාචාර්ය රාජ්සෝමදේවයන්ට අනුව කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහිදු හිමියන් පැමිණෙන අවධිය වන විටත් බෞද්ධ භික්ෂු ආරාමයන්ය.

මහින්දාගමනයෙන් පසු මහින්දාගමනයට සමකාලීනව වැඩි දියුණුවන බොදු ප්‍රහර්ෂයේ පහස ලැබ පූජනීය වූ තෙත් කලාපික ලෙන් ආරාම පරිශ්‍ර අතර ප්‍රමුඛතම බිම කූරගල ය. කූරගල පුදබිම ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට සිට ක්‍රිස්තු වර්ෂ 10- 11 සියවස් පමණ වන තෙක් ආගමික වශයෙන් මනාව සංවර්ධනය වී පැවැති පුද බිමක් බව පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. ඊට සාධක සපයන කටාරම් සහිත, පරුමකවරුන්ගේ ප්‍රදානයන් බව සඳහන් කරන ක්‍රිස්තු පූර්ව යුගයේ අක්ෂරවලින් යුත් ලෙන් ගුහා 13ක් වේ. එතැන් සිට වංශකතාවන්හි එන පවත් මේ බිමේ සාධනීය පැවැත්ම තහවුරු කර තිබිණි.

එහෙත් පර සතුරු උවදුරු සමග සිංහලයේ රාජධානිය නිරිතදිගට විතැන් වෙත්ම මේ පුදබිම බෞද්ධ ලෝකයෙන් මගහැරී ගිය ශතවර්ෂ කීපයක් තිබිණි. අවුරුදු සියයකට පමණ එපිට අතීතයේ දී කූරගල ඉස්ලාම් භක්තිකයන් සිය ආගමික මධ්‍යස්ථානයක් බවට පත් කර ගත්හ. ඒ වකවානුව වර්ෂ 1900 කෙත් දිවෙතැයි විශ්වාස කෙරේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික ස්ථානයක් ලෙස සලකමින් සිදුකළ විවිධ ඉදිකිරීම නිසා එහි පෞරාණිකත්වයට හානි සිදුවූ බවට චෝදනා එල්ලවී විය. ලෙන් ආශ්‍රිතව පල්ලි ඉදිකිරීම ද සිදුව තිබුණි. මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයකුගේයි සැලකෙන සොහොන්කොත් දෙකක් ද පවතින බවට පුරාවිද්‍යාඥයන් කීවේය. කෙසේ වෙතත් මෙම බිම අත්පත් කරගත් පසු පුරවිද්‍යා ගවේෂණයක් කළ එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මේ බිමේ මතුපිට පුරාවස්තුවලට මේ මුස්ලිම් බලය පැවති වකවානුව තුළ බරපතළ හානි සිදුවී නැතැයි ප්‍රකාශ කර තිබිණ.

කෙසේ වෙතත් ශතවර්ෂයකට ආසන්න කාලයක් තුළ කූරගල බොදුනුවන්ට තහනම් පරිශ්‍රයක් විය. පුරා දශක පහක අරගලයකින් පසු ඒ බැමිවලින් නිදහස් කරගත් කූරගල පුද බිම වත්මනෙහි සංවර්ධනය කර සිංහලයේ මහා ආගමික උත්සවය වූ රාජ්‍ය වෙසක් උලෙළ පවත්වන භූමිය ලෙස නම් කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ කූරගල භූමියේ පුරා වසරක් තුළ ඉදිකර නිමවූ මහා සංස්කෘතික ඉදිකිරීම් ව්‍යාපෘතියක ප්‍රතිඵල වන ආරාම සංකීර්ණයක් පසුබිමෙහිය.

දෙදහසකට පමණ පහසුවෙන් රැස්විය හැකි වර්ග අඩි විසි දෙදහසක කොන්ක්‍රීට් ආස්තරණයකින් යුතු දැවැන්ත කොන්ක්‍රීට් සලපතල මළුවක් මත ඉදිවන සබරගමු පළාතේ උසම දාගැබ වන අසදිසි ශාක්‍ය සුගත මහසෑය එහි මුඛ්‍ය ඉදිකිරීමය. රාජ්‍ය වෙසක් උලෙළ ඇරඹෙන 14 වැනිදා වෙසක් පුන් පොහෝ දාට පෙර මේ විසල් දාගැබේ කොත්වහන්සේ පැලඳ වෙන්නේය. උත්සවයේ මූලික ආගමික වතාවත් පැවැත්වෙන්නේ මේ පරිශ්‍රයේය.

අසදිසි ශාක්‍ය සුගත දම්සභා මණ්ඩපය අනෙක් ඉදිකිරීම ය. තුන්දහසක පිරිසකට අසුන් පැනවිය හැකි දම්සභා මණ්ඩපය තවත් විසල් නිර්මාණයකි.

අසදිසි ශාක්‍ය සුගත සුගන්ධ කුටිය යනු ධාතු මන්දිරය ය. මහා සංඝයා විෂයෙහි ඉදිවන දාන ශාලාවක් වේ.

ජය සිරිමහා බෝධිය ප්‍රමුඛ කරගෙන ආනන්ද බෝධි ශාඛා හතරක් පරිවාරකොට පිහිට වූ පූජනීය බෝධි මණ්ඩපයකි. වැඩමවන මහසගරුවනට ආවාස ගෙයක්, සියලු දෙනාට පහසුවෙන් ගමන්කළ හැකි පුළුල් මාර්ග පද්ධතියක් හා දැවැන්ත පඩිපෙළක්, අඩි 130ක් උස සම්බුද්ධ ප්‍රතිමාවක් අඩි 50ක් පමණ උස සුමන සමන් දේව ප්‍රතිමාවක්, සැදැහැවතුන්ගේ ගිමන් විඩාව නිවනා සොඳුරු උද්‍යානයක්, පුරා වසර පනහක් මේ බිම අන්‍ය ආගමික ලබ්ධිකයන්ගෙන් බේරා ගැනීම සඳහා අරගල කර පැවිදි ගිහි උතුමන්ගේ කැපකිරීම් රූපිත දැවැන්ත සිංහයකුගේ නිර්මාණයක්, විසල් වැවක්, වාහන අංගන තුනක් සහිතව මේ නව ආගමික පරිශ්‍රය නිර්මාණය වී ඇත. දින තුන්සිය හැට පහක ආශ්චර්යය කූරගල ප්‍රතිනිර්මාණය කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ ඒ බිමෙහිය.

පසුගිය අවුරුද්දේ මාර්තු 21 දා කන්ටේනර් පෙට්ටියක් ගෙන්වා දඹ ගසක් මුල පිහිටුවා එහි වැඩ හිඳිමින් කූරගල නූතන ආශ්චර්යය පහළ කළෝ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියෝය.

බුදුන් වහන්සේ අනුදත් යථාවදී - තථාකාරී ගුණය හෙවත් කියූවක්ම මත පිහිටා එය යථාර්ථයක් කිරීමේ පෞරුෂය සහිත මෑතකාලීන සංඝ සමාජයේ ප්‍රමුඛයකු වෙත් නම් ඒ එතුමෝය.

යළි පිබිදෙන කූරගල සංකල්පයක් ලෙස ප්‍රකාශ වුණේ වර්ෂ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේය. ඊට වසර හයකට පසුව එය ක්‍රියාත්මක ව්‍යාපෘතියක් කරන්නේ දඹ ගස මුල කන්ටේනර් පෙට්ටියක් ආවාසය කරගෙන වැඩ හිඳිමින් යළි පිබිදෙන කූරගල ව්‍යාපෘතිය අරඹා පොහොය දොළහක් තුළ අසදෘෂ ඉදිකිරීම් සමුදායක් සමගින් රාජ්‍ය වෙසක් උත්සවයක් පැවැත්වීමේ පසුබිම නිර්මාණය කළ නෙල්ලිගල නායක හාමුරුවන්ය.

උන්වහන්සේගේ කළමනාකරණ හැකියාව සහ සංවිධාන ශක්තිය කූරගල තරමටම විසාල බව සිතමි. එතුමෝ මේ මහා ව්‍යාපෘතිය කෙළවර ඒ මෙහෙයුමේ සංස්කෘතික සමාජයී මෙන්ම ඓතිහාසික පරිමාණය අප සමග කියමින් සිටියහ.

“කූරගල රජමහා විහාරය තුළ 2021. 03. 21 යළි පිබිදෙන කූරගල වැඩසටහන් පටන් ගත්තා. එම වැඩසටහන මහා අවිහිසංවාදී බෞද්ධ අරගලයක ජයග්‍රහණය තහවුරු කිරීමේ ව්‍යායාමයක්.”

කූරගල රැකගෙන සංවර්ධනය කිරීමේ අරගලය පැවිදි ගිහි උතුමන් විසින් පටන් ගන්නේ වර්ෂ 1971 දි. පූජා භූමිවල ඉඩම් අත්පත් කරගැනීම් වෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ බෞද්ධ පූජාභූමියක් අත්පත් කරගත් අන්‍ය ලබ්ධිකයන්ගෙන් තමන්ගේ පන්සල ඉල්ලලා පුරා අවුරුදු පනහක් අරගල කළ එකම තැන තමයි කූරගල.

මේ බිම වර්ෂ 2021 දී බෞද්ධ අයිතියට පැවරුණා. එදා කන්ටේනර් පෙට්ටියක් ආවාසය කරගෙන නැවතුණු මම ඔබට පොරොන්දු වුණා කූරගල බෞද්ධ අයිතිය වෙනුවෙන් මගෙන් පසු බිහිවන සංඝ පරපුරට අරගල කරන්න ඉඩ තියන්නෙ නෑ කියලා. එය තමයි මා මේ ඔප්පු කළේ.

2022 වෙසක් සඳ පායන්නෙ සුදෝ සුදුවට බැබළෙන කූරගල සෑයේ රන්වන් කොත මතට. අඩි 130ක් උස අසදිසි ශාඛ්‍ය සුගත මහා සෑය වසරක් වගේ කාලයක් තුළ නිර්මාණය කළා. වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා, නිරන්ජලා සරෝජිනී මහත්මිය මුල් වෙලා ඒ සෑය නිමා කළා. රන් කොත පලඳවලා පූජා කරනවා වෙසක් දිනට.

“දිස්නා වනිගසේකර, චන්ද්‍රසේන වික්‍රමරත්න එක්ක 3000කට බණ අහන්න පුළුවන් ඇසදිසි ශාඛ්‍ය සුගත දම්සභා මණ්ඩපය තනවනවා. ඒකත් ශාසනයට පූජා කරනවා. වෙන වෙනම ගත්තොත් ඉදිකිරීම් නිර්මාණ අසූවකට වැඩියි. ”

“කූරගල පුදබිම සංවර්ධනය වන්නෙ කලාප හතරකින්. පූජාභූමිය ආමිස කලාපය දැන් සංවර්ධනය කර ඉවරයි. භාවනානුයෝගී හිමිවරුන්ට වැඩ සිටිය හැකි කුටි සහිතව අධ්‍යාත්මික කලාපය ආරාන්‍ය සේනාසන ස්වරූපයෙන් මේ වසර අවසන් වනවිට නිමා කරනවා.

“අධ්‍යාපනික කලාපයක් සංවර්ධනය කරමින් යනවා. වෘත්තීය පුහුණු හා සංස්කෘතික අධ්‍යයන කලාපයක්. පවතින අර්බුදය හමුවේ නිශ්චිත ඉලක්ක සාධනය කරගන්න වසර දෙකක් යාවි.”

“ආර්ථික කලාපයක් හැටියට කර්මාන්ත පුරයක් නිර්මාණය කරනවා. රටේ අයහපත් තත්ත්වය තුළ අපේක්ෂිත ඉලක්ක එහිත් සාධනය කරගන්න බැරි වෙලා තියනවා. නමුත් එය වසරක් ඇතුළත නිමා කරනවා.

“වැදගත්ම දේ තමයි කූරගල මතු ආරක්ෂාව සහ පැවැත්ම සඳහා එය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. වසරක් තුළ විහාරයක් මුළුමනින්ම ගොඩනගලා වසරක් තුළ රාජ්‍ය වෙසක් උත්සවයක් පැවැත්වීම සුවිශේෂී තත්ත්වයක්.”

උන්වහන්සේට අනුව, වසර එක්දහස් පන්සියයකට පසු රට තුළ ඉදිවන දැවැන්තම විහාර ආරාම සංකීර්ණය මෙයය. අක්කර 175ක් පුරා ඒ ආරාම පරිශ්‍රය විහිදී ඇත. සුවිශේෂීම කාරණය වන්නේ මේ මහා කර්මාන්තය දින 365ක් වැනි කාලයකින් නිමා වීමය. එහි පිරිවැය ලක්ෂ පහළොස් දහසකි. ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිම පිරිවැයක් සහිතව ඉදිකළ ආරාමය මෙයය. ඒ සෑම ශතයක්ම මේ රටේ බොදුණු ජනතාවගේ ශ්‍රද්ධා සම්පන්න පරිත්‍යාගයන්ය. සියවස් 15කට පසු ලංකාවේ විශාලම ආරාම සංකීර්ණය විශාලම මුදල යොදවා ඉදි කරන්නේ ඉදිවන්නේ රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයකින් තොරවය.

“ ආණ්ඩුවෙ සල්ලි හෝ කිසිම විදේශ රටක විනිමය ආධාර රහිතව තුනුරුවන් සරණ ගිය බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව තමයි මේ මුදල් වුණේ..

ඒ ගෙවුණු වසර ඉතිහාසයේ දුර්ගම වර්ෂයක්... වසංගතයක් ලොව පැවති කාලයක්. කාල විපත්තියක් එළැඹි කාලයක්.

ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් වෙලා දේශපාලන අර්බුදයක් සේ බුර බුරා නැගෙන කාලයක්. මිනිස්සු බඩගින්නෙ පාරවල්වල ඉන්න කාලයක්. ඒ කාලයෙදී තමයි මිනිස්සුන්ගෙ තුටු පඬුරු මතින් ලංකාවේ වැඩිම ඉදිකිරීම් වියදම සහිත මේ පුදබිම ඉදිවන්නෙ. එහි සෑම ගඩොලකම තියෙන්නෙ අහිංසක බෞද්ධ ජනතාවගෙ අපරිමාණ ශ්‍රද්ධාව. ලක්ෂ විස්සක විසි පහක් පමණ මිනිස්සු මේ බිම ගොඩනගන්න ශ්‍රමය පූජා කළා. එවැනි ශ්‍රම පූජාවකින් මෑතක දී ඉදිවුන එකම පුද බිම....

දවස් 365න් යළි පිබිදෙන කූරගල ව්‍යාපෘතිය ඒ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මනුෂ්‍යන්ගේ ආධාර මත මා නිමා කළා. නැවත යළි පුබුදන කූරගලක් නෑ. මේ වෙසක් පෝයෙන් පස්සෙ තියෙන්නෙ යළි පිබිදුණු කූරගලක්...” නායක හාමුදුරුවෝ කියති. 21 වැනි සියවසේ දෙවන දශකයේ ජීවත් වූ මිනිස්සුන්ගේ මහා විශාල හිත්වලින් කියැවුණු අසීමිත ශ්‍රද්ධාවේ ප්‍රකාශනය කූරගල පුදබිම මත බැඳී රෝපණය වී ඇති ආකාරය විස්මයක් වැන්න.

රාජ්‍ය වෙසක් උත්සවය කූරගල පුදබිමේ දී මැයි 14 සිට 22 දක්වා පැවැත්වේ. ඒ ආමිස, සංස්කෘතික සහ සැනකෙළි කලාප වශයෙනි. කුමණ දුෂ්කරතා මධ්‍යයේ වුවද කූරගල පුදබිම තුළ ඒ වෙසක් මංගල්‍යය යථාර්ථයක් කරන බව නෙල්ලිගල නායක හාමුදුරුවෝ සපථ පවසති.

“රාජ්‍ය වෙසක් උත්සව රජය මගින් ප්‍රකාශ කරයි. ඒ වෙසක් කලාපයේ කටයුතු රාජ්‍ය මැදිහත්වීම් තුළ සිද්ධ වෙයි. මේ පුදබිම වෙසක් දා ශාසනයට දායක වන්නේ ප්‍රධාන වශයෙන්ම සම්පත් දායකයන් සහ මේ සඳහා සිතිවිලි මාත්‍රයකින් හෝ එක්වුණු ශ්‍රී ලාංකේය අහිංසක බෞද්ධ ජනතාව එක්ක.

ඒ වගේම මේ කර්තව්‍යය ආරම්භයේ සිට යළි පිබිදෙන කූරගල වැඩසටහනට මාධ්‍ය අනුග්‍රහය දැක්වුයේ ලේක්හවුස් ආයතනය. ඔවුන්ට මේ මොහොතේත් මා ස්තුතිය සහ මගේ ආශීර්වාදය පිරිනමනවා”

ලොකු හාමුදුරුවන් කියනු අසා සිටියෙමි.

 

ඡායාරූප - ගයාන් පුෂ්පික, තරංග ජයවික්‍රම

 ටානියා මෝසස්

Comments