
ජයකොඩි සෙනෙවිරත්න
කටුපිටියේ පුලිනතලාරාම විහාරස්ථානයේ දායක සභාවේ රැස්වීම පැවැත්වුණේ වෙසක් පෝයට මසකට උඩදීය. වෙසක් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දාන සීල ව්‍යාපාර ඇතුළු සංස්කෘතික වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කොට සැලැසුම් සකස් කිරීම මෙම දායක සභා රැස්වීමේ අරමුණ වෙයි.
නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මුලින්ම කතා කරන්නට වූ විශ්‍රාමික ගුරු භවතකු වන අබේසිංහ මහතා යෝජිත ශීල ව්‍යාපාරය ගැන අදහස් පළ කරන්නට විය.
“සිල් සමාන්වීමට අඳින්න සුදුසු සුදු සරමක් කමිසයක් සපයා ගන්න අතමිට නැති නිසා සීල ව්‍යාපාරයට සහභාගි වෙන්න බැරිව හිත් වේදනාවෙං පසුවෙන දුප්පත් වයසක උපාසක මහත්වු කිහිප දෙනෙක්ම අපේ ගමේ සිටන බව රහසක් නෙවෙයි. ඒ වාගේම සුදු රෙදිකඩක්, හැට්ටයක් තුවායක් සපය ගන්න කාසිපනම් නැතුව හූල්ලන දුක්වෙන වයස්ගත උපාසිකාවන් කිහිප දෙනෙකුත් ඉන්නව. මෙන්න මේ උදවියට පිහිට විය හැකි වැඩ පිළිවෙළක් සකස් කර ගන්න අපට පුළුවන් නම් ඒක විසාල පුණ්‍ය කර්මයක් වෙන බව කියන්න මම කැමතියි.“
අබේසිංහ මහත්තය වාඩි වෙනවත් එක්කම කොන්දොස්තර ඇලඩින් නැගිට්ට.
“මම ඊයෙ පෙරෙයිද ඇල්ලගාව ගෙද සොමලිං ආච්චිගෙං ඇහුව ආච්චිත් මේ ගමන වෙසක් පෝයට සිල් ගන්නව නේද කියල. මේං එකපාර උන්දැගෙ දෑහැට කඳුළු පිරුණෙ නැතෑ.. අනේ ළමයො ඇඳ ගන්න එක සුදු රෙදි පාන්කඩයක් නැතුව මං කොහොම සිල් සමාදං වෙන්නද කියල උන්දෑ ඇහුව. මගේ ඇස්වලටත් කඳුළු ආව. ඇත්ත වසයෙන්ම උංදැට සුදු රෙදි පස් රියනක් අරගෙන දෙන්න මං තීරණය කෙරුව.“ කවුදෝ කෙනෙක් සාදු සාදු කියත්දි ඇල්බියන් මුදලාලි නැගිට්ටා. “අබේසිරි මහත්තය ගෙනාවෙ ඉතාම වැදගත් යෝජනාවක් බව කියන්න කැමතිය. ඔය කියන ආකාරයට ඇඳුම් සපයා ගන්න බැරිව ඉන්න දායක දායිකාවන්ගෙ නාම ලේඛනයක් සකස් කර ගන්න පුළුවං නම් ඒ හැමෝටම සිල් රෙදි පරිත්‍යාග කරන්න මම කැමතියි. මම හිතන්නෙ නෑ එහෙම වයසක දායක දායිකාවො දහ දොළොස් දෙනෙකුට වැඩිය අපේ ගමේ ඇති කියල.“
අත්පොළසන් හඬක් මැද සාදුකාර හඬක් ද නැඟිණ.
“මුදලාලි මහත්තය රැස්කරගන්න යන පිනෙන් කොටහකට දායක වෙන්න අපිත් කැමතිය. ඒ නිසා ඒ බරපැනට දායක වෙන්න කැමති කාටත් ඉඩ සලසා දීම වඩා හොඳ බව මට හිතෙනව“ යි විදානෙ මහතා කීවේය. මේ අදහසට සභාවේ සියල්ලෝම එකඟ වූහ. ඒ අනුව සිල් රෙදි ලැබිය යුතු අයගේ ලේඛනයක් සකස් කොට ඒ පුණ්‍යකර්මය සිදු කිරීමට තීරණය විය.
ශීල ව්‍යාපාරය ගැන පැවැති සාකච්ඡාව නිම වීමෙන් පසු සිරිත් පරිදි ගමේ පැවැත්වෙන වෙසක් සැරසිලි තරගය ගැන උදෝනිස් කංකානම කතා කරන්නට වුණා. ගමේ ගෙවල්වල තැනෙන වෙසක් කූඩු කැරකෙන කූඩු, සල්උයන් ඇතුළු සැරසිලි මෙම තරගයට පිවිසෙයි. ගමේ ඇති ගෙවල් ගණන අසූ හයකි. මේ හැම නිවසකම අඩු වසයෙන් එක වෙසක් කූඩුවක් හෝ දැල්වෙයි. විසේසයෙන් ගැටවරයෝ හා තරුණ තරුණියෝ පමණක් නොව බොහෝ වැඩිහිටියෝ වෙසක් සැරසිලි තරගයට උනන්දු වෙති.
ගිය වසරේ රුපියල් දහසේ පළමු තෑග්ග හිමිකර ගන්නා ලද්දේ වත්තේගෙදර සිරිමල් විසිනි. සිදුහත් උපත නිරූපණය කරමින් ඔහු නිර්මාණය කර තිබුණේ මනරම් කැරැකෙන කූඩුවකි. ගෙන් ගෙට ගොස් තරග විනිශ්චයෙහි යෙදුණේ ගමෙන් පිටස්තර විශ්‍රාම ගිය ගුරුවරු දෙදෙනෙක් හා ගුරුවරියක් හා යාබද ගමේ විහාරස්ථානයෙහි හිමි නමකි. මෙවර තරගයේ පළමු ත්‍යාගය රුපියල් ෙදදහස දක්වා වැඩි කිරීමට දායක සභාව තීරණය කළහ.
වෙසක් සැරසිලි තරගය පිළිබඳ තොරතුරු අඩංගු දැන්වීම් ගමේ තැපැල් කන්තෝරුවේ හා සමූපකාර කඩයේ අලවනු ලැබීය.
******
ගිය වතාවේ මැටිවළගෙර සුන්දර දින ගණනක් වෙහෙසී අලංකාර අටපට්ටම් කූඩුවක් සාදා ප්‍රදර්ශනය කළ ද ඔහුට රුපියල් දෙසිය පනහේ තුන්වැනි තැනවත් දිනා ගත නොහැකි විය.
“ඈ පුතේ උඹ මේ ගමන තරගෙට කූඩුවක් හදන්නෙ නැද්ද?“
ගමේ බොහෝ ගැටවරයින් සැරසිලි තරගය ගැන උනන්දු වනු දුටු ලිලි නෝනා පුතු විමසුවාය.
“වැඩක් නෑ අම්මෙ පහුණු ගමන පැටවු හතර දෙනෙක් ඇතුව මං හදාපු අට පට්ටං කූඩුව හරිම ලස්සනයි කියල හැමෝම කිවුව. කෝ මට ඒකට තුන්වෙනි තෑග්ගවත් ලැබුණෙ නෑනෙ.“
“තරගෙ කෙසේ වෙතත් ගෙදර පත්තු කරන්න කූඩුවක් දෙකක් හදන්නෙපායැ පුතේ... බඩු ගන්න තාත්තා සල්ලි දේවි“යි කියාගෙන අම්මා ගෙට ගියා.
තරගය නො දිනුවත් අලුත් නිර්මාණයක් කළ යුතු යැයි සුන්දර දින කිහිපයක් කල්පනා කරමින් සිටියේය. හතර පස් දිනකට පසු උදේ වරුවේ වත්ත පහළ බෑවුමේ බඩ වැටියට ගිය ඔහු සරුවට වැඩී තිබුණු බට පඳුරකින් බට කෝටු රැසක් කපා මිටිය බැඳගන ගෙදර ආවේය. මිදුලෙහි ඇති බටලී මිටිය දැක අම්මට හිනා යන හැටි සුන්දර දකී.
“හදන්නෙ නෑ කිවුවට ඔය කූඩු දහයකට පහළොවකට විතර බට කපං ඇවිත් තියෙන්නෙ?“
ලිලි නෝනා දෑස් විසල් කරල හිස නටවමින් හිනා වුණා. සුන්දර කට කොනට හිනාවක් මතු කරගෙන නිහඬ වුණා.
“මට පේන්නෙ මේ ගමන පුතා මිදුල හරහා ඇදල පත්තු කරන්න පහන්කූඩු පේළියක් හදන්න වගෙයි?“
අම්ම කලබල නැතුව ඉන්නකො.. මං කරන්නෙ මොකක්ද කියල දැන්ම කියන්නෙ නෑ...“
“අනේ මට ඔය අපබ්‍රංශ තේරෙන්නෑ“යි කියාගෙන අම්ම ගෙට ගියා. බට කෝටුත් ළං කරගන පිහියත් අතැතිව සුන්දර ආලින්ද ගැට්ටේ වාඩි වුණා. අඟල් හයක් දිග බට ලී කෑලි හැටක් කපල ඒව හතරට පැළුව. ඊළඟට අඟල් අටක් දිගට බට කෑලි තිහක් කපල ඒවත් හතරට පලල සුද්ද කෙරුව. සුන්දරගෙ සැලසුම වෙලා තියෙන්නෙ අඟල් අටක් උස හයේ හයේ හතරස් කූඩු තිහක් සෑදීමයි. පහුවදා හීන් කම්බි ගෙනැවිත් කූඩු බැඳීමට පටන්ගත් සුන්දර දවස් තුනකින් ඒ කටයුත්ත නිම කරල කාමරයේ අසුරා තිබ්බ. හතරවෙනි දවසෙ කඩයට ගොස් සුන්දර පාට පහකින් ටිෂූ කඩදාසි පහළොවක් ගෙනාව. ඊළඟට කූඩු හය බැගින් තනි පාටින් අලවලා දවස් තුනකින් වැඩ නිම කළා.
“දැං පංකාදුයි පුතේ.. මාරුවෙන් මාරුවට පාට පහේ කූඩු මිදුල හරහ වැලක එල්ලල බලුප් පත්තු කළහම හරි ලස්සනට හිටීවි.“ යි අම්මා කූඩු තිහ දිහා බලල ඇස් නැටෙව්වා. ඊට පසුව අඩි එකහමාරක් විශ්කම්බය ඇති ධර්ම චක්‍රයක් හදාපු සුන්දර ඒක රතු පාටින් ඇලෙව්ව.
දහ දවසකින් විතර කූඩුවල වැඩ අවසන් කළ සුන්දර වෙළේවත්තෙ නිල් උණ පඳුරේ හීන් දිග උණ ලී තුනක් කපාගෙන ආව. උණ රිටි දෙක අඩි දහයක් දිගට කපා ගත්ත. උණ පටියකින්ම අඩි හතක් පළල අර්ධ කවාකාර ආරුක්කුවකුත් හැදුව.
වෙසක් පෝය ලබාපු දවසෙ උදේ සුන්දර අඩි හතරක පරතය තියල රිටි දෙක මිදුලෙ හිටෙව්ව. ඊට පසුව ආරුක්කුව මුදුනෙ හරි මැදින් ධර්ම චක්‍රය සවි කල ආරුක්කුව රිටි දෙක මුදුනෙ සවි කළා. අඩි හතර හමාරෙ උණ ලී පටි පහක් කපා ගත්ත. පොළොවේ සිට අඩි අටකට ඉහළින් පළවෙනි හරස් පටිය කණු දෙකේ බැන්ද. ඊළඟට මුදුන් හරස් පටියේ සිට අඟල් අටක පරතරය තියලා ඉතිරි උණ පටි හතරත් උණ රිටි දෙකේ බැඳල හැන්දෑවෙ පහවන විට සැකිල්ලෙ වැඩ නිම කළා.
“ඈ පුතේ... ඔය හරස් පටිවල ද කූඩු එල්ලන්නෙ...?“
“ඔව් අම්මෙ... පුංචි විදිලි බුබුළු හයි කල කූඩු එල්ලන්නෙ අඳුර වැටුණට පස්සෙ තමයි..“
“ලස්සනට හිටීවි“ යි අම්ම කිවුව.
අඳුර වැටීගෙන එනවිට සුන්දර තාත්තාවත් හවුල්කරගෙන කූඩු හරස් පටිවල එල්ලන්න පටන් ගත්තා. ඉහළම පටිය එකටෙක ගෑවෙන තරම් ළං කරල නිල්පාට කූඩු හයක් එල්ලුවා. දෙවෙනි පටියෙ කහ පාට කූඩු හයකුත් තුන්වෙනි පටියෙ රතු පාට කූඩු හයකුත් එල්ලන විට, පුතා කරන්න යන හපන්කම අම්මටත් වැටැහුණා. හතරවැනි හරස් පටියෙ සුදු පාට කූඩු හය එල්ලල අන්තිම හරස් පටියෙ මදිටිය පාට කූඩු හය එල්ලුව. මදටිය පාට කූඩු හයේ යට වාටියෙ අඟල් හතක් පළල අඟල් අටක් දිග නිල්, කහ, රතු, සුදු, මදිටිය පාට ටිෂූ කොළ අළවා තිබීමෙන් බෞද්ධ කොඩිය අංග සම්පූර්ණ වෙලා තිබුණා.
“ඔය බෞද්ධ කොඩිය නියමෙට ඇවිල්ල තියෙන්නෙ.“
අම්ම පළ කළ ඒ අදහස සුන්දරගෙ හිතේ මහ උඩඟුකමක් එක්ක ආඩම්බරයක් ඇති කළා.
“දැං ඔය ස්විච් එක දාල කොඩිය විවෘත කරන්නකො තාත්තෙ.“
සීමන් අප්පුහාමි හිනාවෙවී ස්විච් එක දාපු ගමන් බෞද්ධ කොඩියෙ හැඩය ගත් කූඩු සියල්ල පළාතම ඒකාලෝක කළා. අම්ම සාදු සාදු කියල අත්පොළසන් දෙනව. දැන් අම්මයි තාත්තයි පුතයි අඩි දහයක් දොළහක් පස්සට ගිහින් කොඩියෙ සිරි නරඹනව. සුන්දර කොඩිය ඈතට කොහොම පෙනෙනවද බලන්න පාරෙ ඈත වංගුවට දිවුව. හරිම අපූරුවට පළාතම එළිය වැටිල. එකම අඩුවකට තියෙන්නෙ රෙදි කොඩියක් වාගෙ ලෙළ දෙන්නෙ නැති එක විතරයි. සුන්දර අහංකාර හිනාවක් නගාගෙන ආපසු ආව.
“කොහොමද පුතේ ඈතට?“
“ඈතට තමයි අම්මෙ හරිම ලස්සන“
“අපිත් ගිහිං බලල එමු.“
සීමන් අප්පුහාමිත් ලිලි නෝනත් මීටර් සියයක් විතර දුර දවට ගහ වංගුවට ගියා. පුංචි තොරණක් වාගෙ බෞද්ධ කොඩිය බොහෝම අලංකාටෙ පෙනෙනව. පුතණ්ඩියගෙ හපන්කම ගැන උදම් අන අනා අඹු සැමියො ආපසු එන විට පාරෙ යමින් හිටපු කිහිප දෙනෙකුත් මිදුලට ගොඩ වෙලා සැරසිල්ල නරඹනව. ඒ උදවියත් මේ අපූරු කොඩිය බොහොම අගය කළා. ආරුක්කුව මුදුනෙ ධර්ම චක්‍රයෙන් කොඩියට හොඳ එළියක් ලැබෙන බවත් සමහරු කිවුව.
**********
හැන්දෑවෙ හය හමාරට විතර ගමේ ගෙයින් ගෙට යන්නට පටන් ගත් විනිශ්චය මණ්ඩලය නවය වනතුරුත් සුන්දරලගෙ ගෙදරට ආවේ නැහැ.
“ඒ උදවිය ආවත් කූඩුවකට සල් උයනකට මිස මේ වාගෙ කොඩියකට තෑගි දෙන්න තීන්දු කරයි කියල හිතන්න බෑ.“
“කමක් නෑ තාත්තෙ. මං ඕක හැදුවෙ තෑගි ගන්න බලාගන නෙවෙයි.“ යි සුන්දර හිස ගස්සල කිවුව.
“නා ගහ යට කඩේ ගෙදර හදල තියෙන සල් උයන දිනාවි කියල තමයි හැමෝම කියන්නෙ.“
ලිලී නෝන තැවුල් සහගත පෙනුමක් මුහුණට නංවාගෙන කිවුව. සිදුහත් කුමරු සත් පියුම් මත වඩින අන්දම එතන නිරූපණය කොට ඇති බවත් ලිලි නෝන කිවුව.
විනිශ්චය මණ්ඩලයෙ හතර දෙනා කොඩිය බලන්න එන විට නවය හමාර විතර වුණා.
“කොඩිය ඈතට බොහොම අලංකාරෙට පේනව“ යි හාමුරුවො හිනාවෙවී කිවුව. විනාඩි පහක් විතර බෞද්ධ කොඩිය නරඹමින් හිටපු හතර දෙනා ඒක අතපතගාලත් බැලුව.
කොඩිය නිර්මාණය කළ අයගෙ නම ඇසූ විට එය තම පුත්‍රයා වන බෝපිටිය ගමගේ සුන්දර කළ වැඩක් බව සීමන් අප්පුහාමි කිවුවා. අතේ තිබුණු පයිල් කවරයෙ කොළයක නම ලියාගෙන ගියා මිස විනිශ්චය මණ්ඩලයෙ හිටපු ගිහියො මුකුත් කිවුවෙ නැහැ. විනිශ්චය මණ්ඩලය ගෙයින් ගෙට ගොස් රාජකාරිය නිම කරන විට පාළොස් පැය ඉක්ම ගොස් තියෙන්නට ඇති.
**********
වෙසක් පුණ්‍යොත්සවය නිම කරන්නට පුලිනතලාරාමයේ සංඝයා වහන්සේලා පාළොස් නමකටත් සිල් ඇත්තෝ එකසිය දොළොස් දෙනෙකුටත් දහවල් දානය සූදානම් කොට තිබුණා. ගමේ බාල, තරුණ, වැඩිහිටි පිරිසක් ද රැස්ව හිටියා. දානමය පින්කම අවසානයේ හොඳම වෙසක් සැරසිල්ලට හිමි තෑග්ග හිමි කර ගන්නේ කවරකු විය හැකිද යන්න කොයි කාගේත් සිත්වල මහත් කුතුහලයක් අවුළුවා තිබුණා. එක එක සැරැසිලි ගැන සඳහන් කරමින් එය තෑග්ග දිනාගනු ඇතැයි එකිනෙකා කසුකුසු ගාමින් මත පළ කළත් සුන්දරගේ බෞද්ධ කොඩිය ගැන විස්වාසය පළ කරන අය නම් අතළොස්සකට වඩා හිටියෙ නැහැ.
දානමය පින්කම අවසන් වීමෙන් පසු, වෙසක් වැඩසටහන නිමා කිරීමේ මහ රැස්වීම ධර්ම ශාලාව තුළ ඇරැඹුණා.
පුණ්‍යානුමෝදනාව සහිතව දීර්ඝ අනුසාසනාවක් කළ පුලිනතලාරාමාධිපති සිරිවිමල හිමියෝ එහි අවසාන අදියර වසයෙන්, හොඳම වෙසක් සැරසිල්ල ප්‍රකාශයට පත් කරන්නට වුණා. “සැදැහැවතුනි, මෙවර කටුපිටිය ගමේ වෙසක් සැරසිලි අතුරින්, ඉතාම නිර්මාණශීලී අලංකාර වෙසක් සැරසිල්ල වසයෙන් බෝපිටිය ගමගේ සුන්දර තරුණයා ඉදිරිපත් කළ ධර්ම චක්‍රය සහිත බෞද්ධ කොඩිය ජයග්‍රහණය කොට ඇති බව මම ඉතා සතුටින් සහ සැදැහැසිතින් ප්‍රකාශ කරන්න කැමතියි.“
මුළු ශාලාවම අත්පොළසන් සමඟ ඔල්වර හඬින් පිබිදෙන අතර බොහෝ පිරිසක් සාධුකාර දෙන්නට වූහ.