
සුමංගල හිමි දිවිමඟ සටහන්
උපත - 1827 ජනවාරි 20 දා
උපන් ස්ථානය - හික්කඩුවෙ හෙට්ටිගොඩ
මුල් නම - දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන
පියා - දොන් ජොහානිස් අබේවීර ලියනාරච්චි මහලියනආරච්චි
මව - දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ
සහෝදර සහෝදරියන්- 5කි. දොන් ලුවිස්, දොන් දුමිංගු, දොන් හෙන්ද්‍රික්, දොන් අන්ද්‍රිස්, දොන් කොරනේලිස්. ඔහු පවුලේ පස්වැන්නාය.
මූලික අධ්‍යාපනය - හික්කඩුවේ හෙට්ටිගොඩ තිලකාරාම පන්සලෙන් සිංහල සහ පාලි මුලික අධ්‍යාපනය ලැබීම
පැවිද්ද ලැබීම - 1940 නොවැම්බර් හික්කඩුවේ සුමංගල නමින් ඓතිහාසික තොටගමුවේ විජයබා පිරිවෙනේදී පැවිදි වෙයි
1848 - විහාරස්ථ උපෝසථගාර පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්වීම
ලැබූ පදවි - ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය, පණ්ඩිත, සාර්වභෞම, ශ්‍රීපාදස්ථානයේ හා දකුණු බටහිර පළාත්වල ප්‍රධාන නායක ධූරය
සම්පාදිත කෘති - පාලි මහාවංසය (බටුවන්තුඩාවේ පඬිතුමා සමඟ) සිංහලට පරිවතර්නය කිරීම, බලාවතාරය නම් පාලි ව්‍යාකරණ ග්රන්ථයට ''බාලාවතාර සුබෝධිකා'' නමින් ටීකාවක් ද, සිදත් සඟරා සන්නය, බ්රහ්මධර්ම කාව්‍ය සන්නය, කාව්යසේකර සන්නය වැනි සන්න හා පරිවර්තන කෘතිද, වර්ණතිය මාසර්තු ලක්ෂණය, සත්‍ය සංග්‍රහය, සන්ධි ග්‍රහය, සීමා විභාගය හා ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදී ග්රන්ථ සම්පාදිතයි
1886 - කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටුවීමට පුරෝගාමී මෙහෙයක් කරයි
විද්‍යෝදය පිරිවෙන ඇරඹූයේ 1873 දෙසැම්බර් ය
අභාවය- 1911 අප්‍රේල් 29 වැනිදා
************************
අප මේ කියන්නට යන්නේ අධිරාජ්‍යවාදය විසින් අප මුළුමනින් ම යටත් කරගෙන සිටි කාලයේ සිදු වූ සිදුවීමක් සම්බන්දයෙනි. කොළඹ සිට උඩරට බලා යෑමට දුම්රියේ පළමු පන්තියට ගොඩ වූයේ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකි. වටපිට බලද්දී ඔවුන් දුටුවේ පළමු පන්තියේ ගමන් කරන භික්ෂුවකි. එවැනි කාලයකදී භික්ෂුවක පළමු පන්තියේ ගමන් කරනු දැකීම එක්තරා විස්මය දනවන සුළු අරුමයකි. සිය අධිරාජ්‍යවාදී හැඟුමෙන් ඔළුව උදුම්මා ගත් විදේශිකයෝ දෙදෙන විවිධ ආක්‍රොෂ පරිභව කරමින් භික්ෂූන් වහන්සේට අපහාස උපහාස කරන්නට වූහ. එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් භික්ෂූන් වහන්සේ සුපුරුදු නිහතමානීත්වයෙන් හා සංයමයෙන් යුතු ව ඒ කිසිවක් නොදැක්කා, නොඇසුණා සේ ගමන් කළහ.
එදා උඩරට යන මඟීන් හා රජරට යන මඟීන් පොල්ගහවෙලදී වෙන වෙන ම දුම්රියවලට මාරු විය යුතු ය. පොල්ගහවෙලදී වෙනත් දුම්රියක පැමිණි එවකට ආණ්ඩුකාරවරයා මෙකී භික්ෂූන් වහන්සේ දැක එකත්පස් ව වැඳ ගරු බුහුමන් ව මඳක් කතා බහ කර ගියේ ය. භික්ෂූන් වහන්සේ ද චතුර ඉංග්‍රීසි බසෙන් සිය ප්‍රධානියා හා කතා කරනු දුටු සුද්දෝ දෙදෙනා මවිත වූහ. වහා ගොස් වැඳ සමාව ගත් හ. එ් වැනි දෑ උන්වහන්සේට කොහොමත් සිය නියපොත්තෙන් උඩට දැනෙන්නෙක් නොවේ.
විදේශිකයන්ගෙන් පවා අධිරාජ්‍යවාදී සමයෙක ගෞරව ලැබූ මේ භික්ෂූන් වහන්සේ සඟ පීතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ ය. විද්‍යෝදය පිරිවෙන ආරම්භය, බෞද්ධ පාසැල් ආරම්භ කිරීමට මුල් වීම, බෞද්ධ පොතපත නැවත සංශෝධනය කොට මුද්‍රණය කරවීම, විවාදාපන්න කාරණාවල දී මැදහත් ව ඒවා විසඳා දීම ආදී බොහෝ සේවා විෂයයෙහි උන් වහන්සේගේ මැදිහත් වීම ගෞරව සම්ප්‍රයුක්ත ය. දහනව වන සියවසේ දෙවැනි දශකයේදී පමණ බිහිවූ දෙස් විදෙස් පතළ හා ජනාදරයට ලක්වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ජාතික, අධ්‍යාපනික, ආගමික හා සංස්කෘතික ප්රබෝධයේ නියමුවාණෝ වෙති. 1858 දී පමණ ලංකෝපකාර නම් මුද්‍රණාලයක් පිහිටුවා එහි ලංකාලෝක නම් පුවත්පත හා තවත් කුඩා පොත් හා සඟරා මුද්‍රණය කරවා බෙදාහරිමින් බෞද්ධ පරිසරයක් නිර්මාණය කිරීමේ ලා උපස්ථම්භක මෙහෙවරක් උන්වහන්සේ ඉටු කළහ. එතැනින් නොනැවතුණු උන්වහන්සේ ගාල්ලෙන් කොළඹ මාළිගාකන්දට වැඩම කර විද්‍යෝදය පිරිවෙන පිහිටුවා දැනුම්වත් සමාජයක් බිහිකිරීමේ පදනම ශක්තිමත් ව පැළ කිරීමේ පදනම දැමූහ.
පිරිවෙන් සංස්කෘතිය ලංකාවට අලුත් නැත. අනුරාධපුර යුගයේ එකී යුගය ප්රභාවත් කළ පිරිවෙන් රැසක් වූහ. යාපනයේ පලග්ග පිරිවෙන දක්වා වූ පිරිවෙන් ඉතිහාසයේ මූල කඳවුර වූ දික්සඳ සෙනෙවියා පිරිවෙනෙන් මහා ලේඛක මහානාම හිමි බිහි විණි. විදෙස් රටවල්වල වැඩියෙන් ප්‍රසිද්ධ වූයේ අභයගිරි පිරිවෙන් ය. ලොව විශාලතම චෛත්‍යය වන අභයගිරි දාගැබ ඇසුරේ පිරිවෙන් දොළහක් තිබූ බවත් තමන් වහන්සේ ඉන් එක් පිරිවෙනක දෙවසරක් අධ්‍යාපනය ලැබූ බවත් පාහියන් හිමියෝ ලියා තැබූහ. මේ පිරිවෙන් සංස්කෘතියේ දහනව වැනි විසිවැනි සියවස් නියෝජනය කරන අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ විද්‍යෝදය පිරිවෙනයි. එය නිකාය බේදයකින් තොර ව දෙස් විදෙස් ප්‍රචලිත වූවකි. විද්‍යෝදය පිරිවෙන පෙරදිග ථේරවාදී සම්ප්රදායේ කේන්ද්‍රස්ථානය වීමට වැඩි කලක් ගත නොවූයේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සුපේෂල ශික්ෂාකාමී භික්ෂු පෞර්ෂය හේතුවෙනි; භාෂා පටුවත්වයේ පැවැති පෘථූල බව හේතුවෙනි; ධර්ම, න්‍යාය ආදී විෂයයන්ගේ දැනුම්වත් ප්‍රභාව විසිනි. එය ලක්දිව නිලනොලත් විශ්වවිද්‍යාලය බවට පත්වෙන්නේ ඒ ශක්ති ප්‍රභවයේ ආනුභාවයෙනි. මෙකී අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ඇති කිරීමේදී උන්වහන්සේ සිතෙහි කිසිදු පටු හෝ විෂම ආකල්පයක් නොවීය. අවැසි වූයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බිහි කිරීම පමණෙකි.
විද්‍යෝදය පිරිවෙනෙහි විෂය නිර්දේශය පරිපූර්ණ විද්වතකු බිහි කිරීමේ ලා අවශ්‍ය කරන සියල්ල අන්තර්ගත පරිපූර්ණ වූවකි. මගධ, සකු, ප්රාකෘත, සිංහල, ඉංග්‍රීසි, තර්ක, න්‍යාය, ගණිත, විද්‍යා, ධර්ම, ජ්‍යෝතිර්, වාස්තුවිද්‍යා, සෞන්දර්ය කලා ආදිය යථෝක්ත විෂය නිර්දේශයෙන් ආවර්ණිතය. එය මුළුමනින් ම සියලු අංශවලින් උපයුක්ත වූ පරිපූර්ණ බුද්ධිමතකු නිර්මාණය කිරීමේ ලා පදනම සකසා තිබූ බැව් මේ විෂය මාලාව දකින ඕනෑම කෙනකුට ප්රත්යක්ෂ වනු නියතය. උන්වහන්සේ ජාතික හා ශාසනික සේවය නඟාසිටුවීමට අනුගමනය කළේ සපුරා පැරැණි නොවූ ද, සපුරා අලුත් නොවූ ද ස්වකීය පිළිවෙතකි.
එමෙන්ම අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයද ශ්‍රී සුමංගල හිමියන් අතින් අතහැරුණේ නැත. උන් වහන්සේ විද්‍යෝදය අධ්‍යාපනික පරිශ්‍රය සුරක්ෂිත කිරීම සම්බන්ධ පරිපාලන කටයුතු ද නිසියාකාරව කිරීමට පසුබට වූයේ නැත. ඒ සඳහා ගිහි පැවිදි දෙඅංශය ම ඇතුළත් පාලක මණ්ඩලයක් පත් කරන්නේ ඒ නිසා ය. ඒ අනුව විද්‍යාධාර සභාව පිහිටුවන අතර, එහි ආරාධනයෙන් පරිවේණාධිපති වහන්සේ තෝරා ගැනීමට ද නීති සකස් කරන ලදී. ස්වාර්ථ සාධනය සඳහා කිසිදු ඉඩක් තබන්නට උන් වහන්සේ ඉඩ තැබුවේ නැත. විද්‍යෝදය විශ්වවිද්‍යාලයක් වීමේ සියලු අරමුණු සැකසෙන්නේ ඒ අනුව ය. මේ විචක්ෂණ බව නිසා ම ලෝකය පුරා විද්‍යාර්ථීන්ගේ ඇස මේ විශ්වවිද්‍යාලය වෙත යොමු වෙයි. උන්වහන්සේගේ ක්‍රියාදාමය තුළ අර්ථ පූර්ණත්වය, ප්රතිභාපූර්ණත්වය නිරන්තරයෙන් දිස් වන බව විචාරක මතය වන්නේ මේ වැනි කරුණු හේතුවෙනි.
නාහිමියන් ඇසුරේ ශාස්ත්‍රය ලොව පුරා ගෙන ගිය ප්‍රාමාණිකයෝ බොහෝ වෙති. ඔසකා විශ්වවිද්‍යාලයේ පාලි මහාචාර්ය ධුරයට පත් තචිබානා හිමි ඒ අතරෙන් එක් හිමිනමක් වෙති. ත්තර භාරතයේ පාලි භාෂා ශාස්ත්‍ර ව්‍යාප්ත කිරීමෙහි නියැළි ඛේරවදාසයන් ද, අසහාය සංස්කෘත විශාරදයකු ලෙස මුළු මහත් භාරතයේම සම්භාවනාවට පැමිණි කෝසම්බික ධම්මානන්දයන් ද විදුදය බබළවමින් ලොවට සේවයක් කළ ශාස්ත්රාභිලාභියෝ වෙති. පාලි ග්රන්ථ දේවනාගරී අකුරින් පළ කරවූ ගුජරාටි ජාතික එන්.කේ. භගවාන්, බුදුසමය ද්‍රාවිඪ සමාජයේ ව්‍යාප්ත කරවූ ද්‍රාවිඪ විමලබුද්ධි හිමියන් ද උන් වහන්සේ ඇසුරෙහි පෝෂණය ලද්දෝ වෙති.
පෝල් ඩාල්කේ වැනි වියතුන් ද ඕල්කට්තුමන් වැනි සුධීමතුන් ද බුදුසමය හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ ඇවැසි දැනුම උපයා ගත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඇසුරේ ය. ජපන් ජාතික කොජින් ගුණරතන, කොජිමා කොණ්ඩඤ්ඤ, සතො, තච්බන ආදී උගතුන් ද, ඉන්දියාවේ කෝසම්බි ධම්මානන්ද, සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ වැනි උගතුන් ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙති
උන්වහන්සේ ලොවට දායාද කළ ධර්මදානයද අනගිභවනීයහ. ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමෙන් නොනැවතුණු ශ්‍රී සුමංගල හිමියෝ තමා අනුදත් දේ ලොව ප්‍රයෝජනය පිණිස ලියා තැබීමේ උත්සුක වූහ. ඒ අනුව ශාස්ත්‍රීය ලෝකයට ඇවැසි දැනුම සම්පාදිත කෘති ගණනාවක් උන්වහන්සේ අතින් බිහි විණි. වර්ණරීතිය, බ්රහ්මධර්මය නම් අනුශාසනා සංග්‍රහය, සංදේශකථා, සිදත්සඟරා සන්නය, කච්චායන වණ්ණනා, සීමා විභාගය, සුබෝධාලංකාරය, සත්යසංග්රහය, ගඩලාදෙණි සන්නය, කාව්‍යශේඛර සන්නය, සන්ධි සංග්‍රහය, බාලාවතාර සුබෝධිනී ටීකාව ඒ අතරෙන් කිහිපයකි.
ශ්‍රී සුමංගල නාහිමි වැඩ සිටි සමය ශාස්ත්‍රීය වාද ඇවිළුණු යුගයකි. මේ වාද ආගමික වාද හා ශාස්ත්‍රීය වාද වශයෙන් ප්‍රභේද දෙකක් යටතේ වෙන් කරගත හැකිය. ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ මැදිහත් වීම මත බද්දේගම වාදය, උදම්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය, ඌරුගොඩවත්තේ වාදය යන පංච මහා වාද සහ අධිමාස වාදය, සව්සත්දම් වාදය, පාරුපන වාදය, නණළල වාදය ආදී වාද විවාද රාශියක් සිදුවිණි.
මේ වාදවලට සහභාගී වූ කථිකයන් ට අවැසි කරුණු සපයාදෙමින් ඔවුන් ශාස්ත්‍රීය වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කළේ සුමංගල හිමියෝ ය. මේ අතරෙන් පානදුරා වාදය ඉමහත් කතාබහට ලක් වූවකි.
මෙයින් ඇති වූ ප්රබෝධය අංශ ගණනාවක් පුරා විහිදිණි. භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය, අධ්‍යාපනය හා සංඝ සමාජයේ හැඩගැසීමට මේවා ඉවහල් විණි. 1873 අගෝස්තු 26 හා 28 දෙ දින පාණදුරේ ජෙරමියෙස් දියෙස් මහතාට අයත් දොඹගහවත්ත නමැති භූමියේ ඉදිකරන ලද වේදිකාවක පාණදුරා වාදය පැවැත්විණි. හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, බුලත්ගම ධර්මාලංකාර සිරි සුමනතිස්ස, පොතුවිල ඉන්දජෝති, කොග්ගල සංඝතිස්ස, රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති, තලාහේනේ අමරමෝලි, රන්දොඹේ ධම්මාලංකාර හා එවක පාණදුරේ රන්කොත් මහා විහාරාධිපතී වල්පිට ගුණරතනතිස්ස වැනි මහ තෙරුන්වහන්සේලා හා බටුවන්තුඩාවේ දේවපතිරාජ පඬිතුමා බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් දාර්ශනික දායකත්වය ලබා දුන් අතර, වාදීභසිංහයන් ලෙස ලොව පතළ වූ අතිපූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමිපාණන්වහන්සේ බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදයට අභිමුඛ වූහ.
ක්‍රිස්තියානි පාර්ශ්වයට මතවාදී දායකත්වය ඇස්. ලැන්ග්ඩන්, ආර්. ටැබ්, ඇස්. කොලින්ස්, සී. ජයසිංහ, පී. රුද්‍රිගු ප්‍රනාන්දු, ඇල්. නතානියෙල්ස්, ඕ. ජේ. ගුණසේකර, ජේ. එච්. අබේසේකර, එච්. මාටිනස්. ජුවන් ද සිල්වා ඞී. පොන්සේකා හා චාර්ල්ස් ද සිල්වා වැනි පියතුමන්ලා විසින් ලබා දෙනු ලද අතර වාදාභිමුඛ වූයේ දාවිත් ද සිල්වා දෙවගැතිතුමා සහ සිරිමාන්න කතිසේරුතුමා පමණි. තව ද, හුණුපොළ නිලමේ, සුසෙව් ද සොයිසා මුදියන්සේ රාලහාමි හා ස්ටේපල් දොස්තර මහතා ද ක්‍රිස්තියානි පාර්ශ්වයේ සහයට පැමිණ සිටියහ.
දස දහස් ගණනක් ජනතාව මේ වාදය නැරඹීමට හා ඇසීමට එක් වූ අතර මෙහිදී කුමන හෝ නොසන්සුන්තාවක් ඇතිවුවහොත් මුහුණ දීම උදෙසා පාණදුරේ පොලිසියේ මුලාදෑනිවරු කිහිපදෙනෙක් ද රැස් වී සිටියහ. එහෙත් එවන් ශාස්ත්‍රීය වේදිකාවන්හි කලබල ඇති නොවන පරිසරයක් සංවිධානය වී තිබුණු බව ලැන්ග්ඩන් පියතුමා සඳහන් කර තිබිණි. මේ සියල්ල පිටුපස සිටි අයෝමය ශක්තිය ශ්‍රී සුමංගල නාහිමිපාණෝ ය.
මේ වාද නිසා ඇතිවූ ශාස්ත්‍රෝන්නතිය නිසා විදේශීය උගත්හු ලංකාවට ලොබ බැන්දහ; මේ කරුණු හා ප්රබෝධය සොයා එන්නට පටන් ගත්හ. එසේ පැමිණි අය අතරෙහි කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් පෝල්, ඩාල්කේ, බ්ලැට්වැස්කි, මේරි මියුසියස්, හිගින්ස් ආදී විද්වත්හු ප්රමුඛ වෙති. ජාතික පුනරුදයේ ප්‍රධාන නියමුවා ලෙස බුහුමනට පාත්රවෙන අනගාරික ධර්මපාලතුමන් දස වියැති ළමයකු ලෙස පාණදුරා වාදය නරඹා තිබීමෙන් ජාතික චින්තනයේ මූල බීජයන් එතුමා තුළ රෝපණය වීමට ඉන් ලද පිටිවහල පෙන්නුම් කෙරෙයි.
කර්නල් හෙන්රි ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන්නේ සිලෝන් ටයිම්ස් පත්‍රය විසින් අතිරේකයක් ලෙස මුද්‍රණය කර බෙදා හැර තිබූ පාණදුරාවාද වාර්තාව මත පදනම්ව ජේ. එම්. පීබල්ස් විසින් පාණදුරා වාදය පිළිබඳව රචනා කරන ලද පොත කියැවීමෙනි. ඕල්කට්තුමා සුමංගල නා හිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙනගෙන ලක්දිව පුරා සැරිසරමින් බුදුදහම ව්‍යාප්තිය වෙනුවෙන් දේශන කළේ ය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා එමඟින් බෞද්ධ පාඨශාලා ආරම්භ කරවූහ.
ලොව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමේ ලා මූලික පියවර තබන ලද්දේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ මැදිහත් වීමෙන් වන්නේ ඒ නිසා ය.
බෞද්ධ දර්ශනය අනාගත පරපුර සඳහා දායක කිරීමේ මහඟු පුණ්‍යකර්මය ද උන් වහන්සේ අතින් සිදු විණි. විදේශ ආක්‍රමණයන්ගෙන් සිංහල ජනගහනයෙන් තුනෙන් පංගුවක් විනාශ කළ හැකි වුවත් බෞද්ධ උරුමය විනාශ කළ නොහැකි වූයේ තද් යුගයේ මහ තෙරවරුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා මඟ පෙන්වීම නිසා ය. බැමිණිතියාසායෙන් බැට කෑ පරපුරේ යතිවරු බුදු දහමෙහි මුඛ පරම්පරාගත උරුමයේ අවිනිශ්චිත බව දැක බිය ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරයි. දිඹුලාගල මහාකාශ්‍යප හිමි ශාසන සුද්ධියක් කර සසුන සුරක්ෂිත කළේ ය. ඒ හා සමානව ම ශ්‍රී සුමංගල නාහිමිපාණෝ ද ත්‍රිපිටකය කියවා සුද්ධකොට අටුවා ටීකා සහිතව ලියන්නන් ලවා පුස්කොළ පුස්තකාරූඪ කොට සුරක්ෂිත කර තැබීම මහඟු ශාස්ත්‍රීය වෑයමක් වූයේ ය. එය අනාගතය වෙනුවෙන් බෞද්ධ දර්ශනය ඉතිරි කිරීමට කළ සද්කාර්යයකි.
ශ්‍රී සුමංගල මහානාහිමියෝ සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, ප්‍රංශ, රුසියන් ආදී භාෂා ගණනාවක කෙළ පැමිණියේ වූහ. ථෙරවාද ත්‍රිපිටකය අට්ඨකථා, ටිකා ප්රකරණ ආදී සියල්ල කියවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ත්රිපිටකවාගිශ්වරාචාර්ය වූ උන්වහන්සේ වේදාන්ත, ඡන්දෝලංකාර, තර්ක න්‍යාය ආදිය ද ඉගෙන අනභිභවනීය වූ මහා ප්‍රඥාවන්තයෙක් වූහ. කච්චායන, මොග්ගල්ලායන, සද්දනිති, රූපසිද්ධි ආදී පාලි ව්‍යාකරණ ග්රන්ථ කියවා ලඝු සිද්ධාන්ත, මහාසිද්ධාන්ත, මුග්ධ බෝධ ව්යාකරණයන්ද ආශ්‍රය කරගෙන කරන ලද බාලාවතාර සුබෝධිනී ටීකාව පාලි භාෂාව පිළිබඳ උන් වහන්සේගේ ගැඹුරු අවබෝධය ප්‍රකට කරයි. පාලි භාෂාවෙන් පැවැති මහාවංශය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම විද්‍යාර්ථීන් ඇතුළු ශාස්ත්රාභිලාෂීන්ට මහඟු මෙහෙයක් විණි.
යුගයක් එකලු කර තවත් යුගයකට නැණැස පෑදු යතිවර ලකුණක අසිරිය මෙවන් කෙටි ලිපියකින් ලියා අවසන් කළ නොහේ. අනාගතයක් උදෙසා සිය ජීවිත කාලය ම කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී කැපවුණු ජාතියට මඟ පෙන්වූ පැවිදි පඬිරුවනක ගුණ මහිම වෙසක් අසිරියෙන් විශ්වය සැරසෙන මේ මොහොතේ සටහන් කර තැබීමට ලැබීම ම භාග්‍යයකි. දෙස, බස, රැස රැකගැනීමෙහිලා නැණ නුවණින් මෙන්ම දයානුකම්පිත හදවතකින්ද යුතු ව සිය දිවි කැප කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ සැමදා බොදු දන මන හිත බැබළෙන්නේ ය.
සුමුදු චතුරාණී ජයවර්ධන