
බෞද්ධ දර්ශනය සරලව සුගමව සන්නිවේදනය කිරීමයි මගේ වෑයම
- දර්ශනශූරි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි
මාපැවිදිබිමට පත්වන්නේ වැලිගම ජඹුරේගොඩ ශ්‍රී නාධාරාම පුරාණ විහාරස්ථානයේදී යි. දැනට එම විහාරයේ විහාරාධිපති තනතුර උසුලනවා. මූලික අධ්‍යාපනය ලබන්නේ වැලිගම අග්‍රබෝධි පිරිවෙනෙන්. උසස් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳව ගෞරව උපාධිය ලබනවා.
පසුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති, දර්ශනපති, පර්යේෂණ උපාධි වැඩ කටයුතු අවසන් කරනවා. ඒ බෞද්ධ අධ්‍යාපන විද්‍යාව පිළිබඳවයි. පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව, අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරි ආචාර්ය උපාධියේ කටයුතු අවසන් කරන මම දැනට ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියටයි කටයුතු කරන්නේ.
සාහිත්‍යකරණයේ නිරත භික්ෂූන් වහන්සේ නමක් හැටියට විශේෂයෙන්ම ගීත රචනයට යොමු වෙනවා. ඒ වගේම ධර්ම සන්නිවේදනය කරන යතිවරයෙක් හැටියටත් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ උපාධි ලබපු රාජ්‍යය සම්මානලාභි ලේඛකයෙකු හැටියටත් කටයුතු කරනවා. මූලික වශයෙන්ම ගී නිර්මාණකරණයට මා පිවිසෙන්නේ ගීත රචකයකු හැටියට යි.
“රන් කරල් පැහී
ඇල් පවනෙ සැලී
ගොවි බිසව් මුවින්
හසරැලි විසිරේ
රන් කරල් කැපේ
අස්වැනුත් මැනේ
අතු පැළේ සිනා
කඳු ළැල්ල පිරේ ”
කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන මා ලියූ මෙම ගීතයෙන් කියවෙන්නේ ගොවි ජනයාට සිදුවන අසාධාරණය යි. ඔවුනගේ ඛේදවාචකය යි. එමෙන්ම විශාරද ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, අසංග ප්‍රියමන්ත පීරිස්, ප්‍රදීපා ධර්මදාස, මාලිනි බුලත්සිංහල, ජානක වික්‍රමසිංහ වැනි ගායක ගායිකාවන්ට දැනට මම ගීත රචනා එකසිය පණහක් පමණ ලියා තිබෙනවා.
මගේ සාහිත්‍ය ජීවිතය පිළිබඳව ද පොත් පෙළක්ම ලියමින් සිටිනවා. එහි පළමු කෘතිය “නා ගස් මණ්ඩිය” නමින් පසුගියදා එළි දැක්වුණා. “බුදු සමය හා අපරාධ විද්‍යාව” නමින් මා ලියූ ග්‍රන්ථයට රාජ්‍ය සම්මානය ද හිමිවුණා. එය ඇතුළු ශාස්ත්‍රීය ග්‍රන්ථ, බණ දහමට අදාල පොතපත වශයෙන් ග්‍රන්ථ පණහක් පමණ මේ වන විටත් මා ලියා තිබෙනවා. විශේෂයෙන්ම වර්තමානය තුළ ස්වාධීන මත දරන මැදහත්, නිර්මාණශීලි සහ සමාජශීලි යතිවරයන් වහන්සේ නමක් හැටියට පෙනී සිටින්න මම සැමවිටම උත්සාහ ගන්නවා. මා කරගෙන යමින් සිටින පර්යේෂණයක් ගැනත් මෙහිදී පෙන්වා දෙන්න කැමතියි.
ඒ අනුව මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වන සාහිත්‍යයක් තියෙනවාය යන්න ගැනත් අධ්‍යයනය කරමින් සිටිනවා. මේ රටේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සාහිත්‍යයේ මහා සම්ප්‍රදාය හැටියට මම දකින්නේ බෞද්ධ සම්ප්‍රදාය මත පදනම් වූ සාහිත්‍යයක්. නමුත් මේ බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය නිවැරැදිව හඳුනාගත්ත, නිර්මාණකරණයේ යෙදෙන කෙනෙකුට හෝ පර්යේෂකයකුට තවදුරටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉඩක් තියෙනවා.
අද අපේ රටේ බෞද්ධ සාහිත්‍යයෙන් තොරව සමාජගත චින්තනයක් හදාරන්න බැහැ. වර්තමානයේ වුණත් බෞද්ධ භික්ෂුවට සහ බෞද්ධ සමාජයෙන් බැහැරව සාහිත්‍ය සහ ජාතික ව්‍යාපාරයකට නැගී සිටින්නට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ රටේ මූලික පදනම වැටිල තියෙන්නේ බෞද්ධ ආගමික සන්නිවේදනයෙන් වීම.
ඒ බෞද්ධ ආගමික සන්නිවේදනය වාචික සහ ලිඛිත බෞද්ධාගමික සන්නිවේදනයක් හැටියට කොටස් දෙකකට බෙදෙනවා. මිනිසුන්ගේ සිත් හදවත් සකස් වුණේ, මානව ඥානයෙන් පිරුණේ බෞද්ධ සංකල්පය තුළිනුයි. ඒ නිසා මේ රට ආක්‍රමණය කරන්න වුණත් කෙනෙක් උත්සාහ ගන්නවා නම් ඒ පුද්ගලයාත් බෞද්ධ සම්ප්‍රදායට අනුගත විය යුතුයි. එහෙම වුණොත් තමයි මිනිස්සු ඒ ගැන උනන්දු වෙන්නේ. වාචික බෞද්ධ සන්නිවේදනය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදුවට එය බෞද්ධ චින්තනය යන එක වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ ගැඹුරු බෞද්ධ දර්ශනය සරලව සුගමව සමාජගත කිරීමේ වෑයමකයි මා යෙදී සිටින්නේ. එය තවදුරටත් සකස් කර ගැනීම සඳහා මම සිංහල බෞද්ධයාව අධ්‍යයනය කරමින් ද සිටිනවා.
ස්වදේශීයත්වය, ජාතිකත්වය, දේශමාමකත්වය ජාතිවාත්සල්‍යය ඒ තුළ තමයි අපේ ජාතිකත්වය මතු වෙන්නේ. ජාතිවාදය නමින් දේශපාලන කෝණයකින් දකින්න ලැබුණ ද, එය එළුකිරිස්, බලුකිරිසියේ හෙළා දැකිය යුත්තක්. එතැන බුද්ධාගම ගෑවිලාවත් නෑ. එතැන ජාතිවාදයටත් වඩා මා දකින්නේ අවස්ථාවාදයක්. ඒ නිසායි මම ස්වදේශාභිමානි කියළා අලුත් තරුණ පිරිස් සමඟ දේශපාලනයෙන් තොර ජාතිකත්වය මතු කරන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නේ. මා වඩාත්ම ගරු කරන අපේ රටේ භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගැනත් මෙහිදී කිව යුතුව තිබෙනවා. ඉන් එක් භික්ෂූන් වහන්සේ නමක් තමයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො. උන් වහන්සේ වාචික සන්නිවේදනයෙන් ලොකු සමාජ චින්තනයක් සමාජගත කළා. අනිත් හාමුදුරුවන් වහන්සේ තමයි පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ.
උන් වහන්සේ ධර්මය පරෝපාකාරයක් හැටියට සමාජගත කරන්න උත්සාහයක යෙදුණා. පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන් තමයි මා වඩාත් ගරු කරන අනිත් ස්වාමීන් වහන්සේ. උන් වහන්සේ බෞද්ධ සාහිත්‍ය දර්ශනගතව සමාජයට ලබා දුන්නා. ඒ හාමුදුරුවන් වහන්සේලා තුන් නම කලවම් කරලා එකතු වෙලා එන නාමය තමයි පාතේගම ඥානිස්සර (හිමි) කියලා කියන්නේ.
***************************
පැවිදි වූ පසු මා වඩාත් නැඹුරු වුණේ කවියටයි
- බටුවන්ගල රාහුල හිමි
මගේ සාහිත්‍ය හා කලා ජීවිතය ආරම්භ වන්නේ ළමා කාලයේදි සිටමයි. මා ගිහි ළමයකුව සිටියදී මහදැන මුත්තා නාට්‍යයේ ඉඳිකටු පැංචාගේ චරිතය රඟපෑවේ අවුරුදු නමයක් තරම් වයසේදීයි. ඒ ගාල්ල උඩුගම මහා විද්‍යාලයේ තිබූ වාර්ෂික විවිධ ප්‍රසංගයේදීයි.
මාත් මගේ පංතියේ මා ළඟින්ම ඇසුරු කළ අමරසිරිත් සිරිලුත් ඇතුළු යාලුවො කීපදෙනෙක් අප ඉගෙන ගනු ලබන කතන්දරවල කොටස් පංති භාර ගුරුතුමියගේ අවසරය ඇතිව පංතිය ඉදිරිපිට රඟපෑමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් ඉදිරිපිට මහදැනමුත්තා නාට්‍යයේ ඉඳිකටුපැංචාගේ චරිතය මට රඟපාන්නට ලැබුණා.
මා තුන වසරේ සිට බටුවන්ගල පාසලට ඇතුළත් වූ අතර එහිදීත් වෙස්සන්තර නාට්‍යයේ ජාලිය කුමාරයාගේ චරිතය රඟපාන්න ලැබුණා. බටුවන්ගල අපගේ නිවස අසල සිටින අප මිත්‍ර හේමචන්ද්‍රත් මාත් සිරිසිදුහත් ළමා සමාජයේ රැස්වීම්වලදී කුඩා නාට්‍ය කොටස් ඉදිරිපත් කොට ඒ සභාව විටින් විට සන්තෝෂයට පත්කළ හැටි මතකයි.
මඩවල පංසලට ආ කාලයේ පැවිද්දට පෙර අවුරුද්දක පමණ වු කාලය පුරා දහම්පාසල් නාට්‍ය කණ්ඩායමේ පළාත් තරඟ දක්වා තේරුණු වෙස්සන්තර නාට්‍යයේද වෙස්සන්තර රජුගේ චරිතය රඟපෑම සිදු කළා.
පැවිදි දිවියට ඇතුළත් වූ පසුව කවියටයි මා වැඩිපුරම ලෙන්ගතු වුණේ. පන්සලේ සල්පිලක හිටිවන කවියන් කවි කියද්දී වයස දොළහක් තරමේ වූ කුඩා මම ඉතා කැමැත්තෙන් ඒ දෙස බලා සිටි හැටි මතකයි. මටත් හිටිවන කවියකු වීමේ කැමැත්තක් ඇති වුණා. මා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ අධ්‍යාපනය ලබද්දී එසේ පළමු වරට පද හතරක කවියක් ලියා අපේ යාලුවන්ගේ සමච්චලයට ද ලක් වුණා.
එහෙත් මගේ අධිෂ්ඨානය අත්හැරුණේ නෑ. එක්වරම සභාවක් මැද හිටිවන කවි කියන්න පසුව මම සමත් වුණා.
මට පළමුව සම්මානයක් ලැබෙන්නේද හිටිවන කවිය වෙනුවෙනි. කොහොමවුණත් මට ලිවීමට හුරුවත් කැමැත්තත් වැඩිපුරම ඇති වන්නේ මගේ කවි පංති දෙකක් බුදුසරණ පත්තරයේ පළවීමත් සමඟයි.
ඒවා අප ගුරුවරුන්ගේ අගය කිරීම්වලට ලක්වෙද්දී මම එයින් තව තවත් දිරිමත් වුණා.
මගේ මුද්‍රණය නොකරන ලද පළමු නවකතාව සාමාන්‍ය පෙළ විභාගයවත් නොලියා තිබූ කාලයකයි ලියැවුණේ.
එය “වසන්තය නිමාවිය” නම් වුණා. එය අතින් ලියූ ඉතා සාමාන්‍ය කතාවක් වූවත් පාසල් ළමුන් අතර ජනප්‍රිය වුණ බවත් කියන්න ඕන.
කොපි පොතක ලියන ලද එම නවකතාව අවසානයේ හිස්ව තබා තිබූ පිටුවල ළමුන් විවිධ සටහන් තබා පොත මා වෙත එවද්දී මා ලැබුවේ අපමණ සතුටක්. මා “සුදු නැන්දා” නමින් තවත් කතාවක් අතින් ලියා අතින් අත යැව්වේ ඒ උත්තේජනය නිසාමයි. මා අතින් මුද්‍රණද්වාරයෙන් පළමුවතාවට ”උපන්ලපය” නමැති කෙටිකතා පොත ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළියට එන්නේ ඉහත සිදුවීම්වලින් බොහෝ කාලයකට පසුවයි. ඒ 2002 වසරේදීයි.
පළමු කෙටිකතා සංග්‍රහයටම 2003 වසරේදී රාජ්‍ය සම්මාන ලැබීමෙන් පසුව මගේ සාහිත්‍ය ලෝකය පුළුල් වුණා.
ඒ වගේම සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් දැන හඳුනාගන්නට අවස්ථාවත් ලැබුණා. එයින් පසුව මෙතෙක් මා ආ ගමන හෙමින් හෙමින් පැමිණි ගමනක් බවත් පෛන්වා දෙන්න කැමතියි.
************************
බොදු හැදියාවෙන් අප වැඩුණේ ජාතික මිතුදම ද සමඟිනි
-මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිංහලකමත්, බෞද්ධකමත් කුඩා කල පටන් මා සිතෙහි වැඩුණේ ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය, ආගමාලය, මෙන්ම භාෂා ප්‍රේමය ද සමඟයි.
බාලවියේ අප හැදී වැඩුනු නාවල කොස්වත්ත ප්‍රදේශයේ සිංහල, දෙමළ, බර්ගර් වගේම මැලේ පවුල් සිටි අතර ඔවුන් හා පැවතුණු මිතුදම ගැනද මෙහි සඳහන් විය යුතු යි. ඒ මිතුදම මෙන්ම සුහදත්වය තුළ පැවැත්වු උත්සව සැමරුම් සමාජ සංස්කෘතික අවස්ථාවලදී විදහා පෑ සමාජ හැසිරීම්, ඇවතුම් පැවතුම් අදටත් මා සිතෙහි පහන් සංවේගයක් ඇති කරයි.
බෞද්ධ කොඩිවැල් එල්ලා පහන් කුඩු දල්වා සැරසෙන අපේ නිවස දෙස ඇස් දල්වා ගෙන සිටිමින් කුඩාවියේ සිට ලද ඒ සතුට අදටත් අනුස්මරණීය යි. නොකඩවාම දහම් පාසල්වල ඉගෙන ගත් මම කේරි විද්‍යාලය, නාලන්දාව හා ආනන්ද විද්‍යාලය ඇසුරේ අකුරු උගත් ඒ කාලය සිහිනෙන් ගෑ සුවඳක් වැනි යි.
මා පියාණන්ගේ සේවා ස්ථානය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුුලි සංස්ථාවයි. එකල්හි ඔහු හමුවීමේ අටියෙන් කවියන්ද, ලේඛකයන්ද, සංගීතඥයන්ද අප නිවසට ආ ගිය සැටි මට මතකයි. මා පියාණන් විසින් ලියන ලද “නිෂාදි” 1959 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබා ගත් අතර ඒත් සමඟ මට අමතක නොවන දෙයක් ද මෙහිදී කියන්නට කැමතියි.
එනම් ඔහු නිෂාදි කෘතිය පිරිනමා තිබුණේ කුළුඳුලේ උපන් පුතු වන මගේ නමටයි. බෞද්ධ ගද්‍ය පද්‍ය සාහිත්‍ය විචාර හා නිර්මාණ කෘතියක් ද වනපස මලින් පුද යන නමින් මගේ පියා විසින් ලියා තිබුණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පිවිසෙන මම එහි ශාස්ත්‍රපති උපාධියට “බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව” නමින් ලියූ නිබන්ධනය ඒ සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව බරණැස හින්දු විශ්ව විද්‍යාලයට ගොස් 90 දශකය මුල සිට ගත කළ ඒ සමය ද කිසිදා මතකයෙන් බැහැර නොවන ජීවන සිහිවටනයක් වැනි යි. අමරපුර නිකාය - වැලිතොට ගම පාදක කොට ගෙන ආචාර්ය උපාධිය ලියවුණේ ඉන් පසුව යි. බරණැස විසූ ඒ සමය අමතක නොකල හැකි වූ නිසාම “බරණැස් නම් නුවර” ලියවුණු බවද කිව යුතු ය. ඉන්දියාවේදී ලැබූ අත්දැැකිීම් හා දැනුම් අවබෝධය මත ලියවුණු ඒ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු බවද ඒත් සමඟම කිව යුතුයි.
ශ්‍රී සත්‍ය සායිතුමා හමුවීමත්, බුද්ධ පූර්ණිමා වෙසක් උත්සවය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුට්ටපර්තියේදී බුදුුන් වහන්සේ හා බුදු දහම ගැන දේශනයක් පවත්වන්න මා ලද ඒ අවස්ථාව ජීවිතයේ අනුස්මරණීය මතකයක්මයි. සංස්කෘතීන්, ශිෂ්ටාචාර, සාරධර්ම, අගනාකම්, පරාරෝපාකාරය, ස්වේච්ඡා සේවයට පැටිවියේ සිට හුරුවීම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ලෙස ඒකමතිකවම පත්වීමට මට මඟ සෑදුවා විය යුතුයි. රටක් වශයෙන් අප ප්‍රතිපත්තියට වඩා ආමිසයටත්, ශ්‍රද්ධාවට වඩා භක්තියටත්, පරාර්ථයට වඩා ආත්මාර්ථයටත් ආසක්තයි.
එහෙත් අදටත් ප්‍රඥාවන්ත, පුණ්‍යවන්ත, සීලවන්ත, ගුණවන්ත ගිහි පැවිදි පිරිස් නැතුවාම නොවේ. රටක් වශයෙන් අප දියුණු නොවූයේ මන්ද යන්න මා සිතේ ඇති කරන්නේ සංවේගයක්මයි. අපේ හැසිරීම්හි පවත්නා වංක, කුටිල, කුහක බව වැඩිවන තරමටම වංචනිකත්වය ද වැඩි දියුණු වෙයි.
මා ගී පද රචකයකු වීමට රෝහණ සිරිවර්ධන මගේ ගී පද මහාචාර්ය සරත් නන්දසිරිටත්, මල්කාන්ති නන්දසිරිටත් ගෙන ගෙන ගොස් දීම හේතුවක් වූ බව කිව යුතුයි.
“සිංහලයකු වී ඉපදීමෙන්” නම් ගී පද රචනා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු අතර “සංහිඳ පාමුල” ගී පද සංග්‍රහය වෙසෙස් ඇගයුමකට ලක් වු බව ද ඇත්තයි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උප්පලවණ්ණා සහ පත්තිනි චිත්‍රපටවලට ද ගී ලිවීමේ අවස්ථාවද ලද මා පත්තිනි චිත්‍රපටියට ලියූ “රන් හසුන්” ගීතයට සිග්නිස් සම්මානය ලැබෙනවා. ජපානයේ බුන්කා සම්මානයත්, කලාශුරි ඇතුළු රාජ්‍ය සම්මානත් ලද මා ඒ සියල්ල දෙස අද උපේක්ෂාවෙන් බලා සිටිනවා. මගේ පියාණන්ගේ හැසිරීම වුණේද එයමයි. මා ජීවිතයේ බොහෝ දෑ උගත්තේ මවගේ ඇසුර තුළිනුයි.
මානව විද්‍යා පර්යේෂණ කරද්දී දුෂ්කර වූ සමාජ ජීවිතය, අධ්‍යාපනය මෙන්ම බිඳුනු ආර්ථිකය, අසංවර දේශපාලනය ගැන නෙක හැඟීම් මා සිතේ පහල වෙයි. මේ රට දියුණුවට ගෙනයාමට අප කොතරම් ඇප කැප විය යුතුදැයි මට සිතෙයි.
ජනනී ජන්මභූමින්ච
ස්වර්ගා දපි ගරීයති
හැදූ වැඩූ මවත්, උපන් බිමත් දෙව් ලොවට වඩා වටී. වෙසෙන මේ ලොවට අප ණය ගැතියි. ඒ ණය නොගෙවා නික්ම යා නොහැකියි. මම එසේ සිතමි. භේදයෙන් තොරව මිනිසත්කමට ආදරය කරමි. ඇප උපකාර කරමි.
***********************
සුදු හංසයන් ඉගිළ යන්නේ පස් පියුම් විල් ගැන ඇලීමකින් තොරවයි
- භද්‍රජි මහින්ද ජයතිලක
සිදුහත් කුමරු උපන් දිනම තමයි වින්ද නම් සිඟන දරුවාද උපදින්නේ. පාදයක් බිඳුන සිඟන්නෙකුට දාව උපදින මේ දරුවා ඇතුළු සිඟන පවුල මහ මඟයි ජීවත් වුණේ.
වැඩි විය පත්වන සිදුුහත් කුමරු අස් රිය පෙරහැරෙන් ඒ මාවතේ ගමන් කරන විට ඒ හා වයසට පත්ව සිටින මේ සිඟන තරුණයා ඇතුළු පවුල මාර්ගයෙන් ඉවත් වෙමින් ඒ දෙස බලා සිටිනවා. ඒ වගේම යසෝධරා කුමරිය විවාහ කරගැනීමේ මංගල උත්සවය රජ මැඳුරේ පැවත්වෙද්දී වින්ද නම් මේ තරුණයාට ද සිය පෙම්වතිය සමඟ සිටීමට ආශාවක් ඇති වෙනවා. නමුත් රජ මැඳුරේ දාසියකු වූ ඇය සමඟ එසේ නිදහසේ සිටීමට පහසු ඉඩකඩක් ඔහුට ලැබෙන්නේ නැහැ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් විභූතිමත් ලෙස අප දකින ගිහි පැවැත්මේ නිස්සාරත්වය දැක කළකිරෙන තරුණ සිද්ධාර්ථ නිරිඳුන් ගිහි පැවැත්ම අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වය ද ලද පසු ඒ යථාර්ත අවබෝධය සොයා උන්වහන්සේ වෙතට පැමිණෙනවුන් අතර වින්ද නම් තරුණයාද සිටිනවා. බෞද්ධ වංශයෙන් උපන් ඒ සමාජය තුළ උසස් පහත් යැයි පන්ති බෙදීමක් තිබුණේ නැහැ.
“සුදුු හංසයෝ ඉගිල ගියහ” නම් මගේ බෞද්ධ නවකතාවේ එන කතාව ඉතාම කෙටියෙන් තමයි ඒ විදිහට මම විස්තර කළේ. ධම්මපදයේ එන අරුතින්, පස් පියුමින් සැදුණු විල්හි සැරි සරන සුදු හංසයන් අවසානයේදී ඒ විල් වෙතින් ඉගිල යන්නේ පස් පියුමින් සැදුනු විල් ගැන කිසිදු ඇලීමකින් තොරවයි. ඒ අරුතින් තමයි ‘සුදු හංසයෝ ඉගිල ගියහ‘ යන නම මේ කෘතියට යොදා ගත්තේ. සුනිල් මිහිඳුකුළ නම් ලේඛකයා පවසන අන්දමට සිංහල සාහිත්‍යයේ ප්‍රථම බෞද්ධ නවකතාව වන්නේ මෙයයි. මාර්ටින් වික්‍රමසිංහයන් ඒ වන විට “බව තරණය” ලියා තිබුණේ නැහැ. මට මතක හැටියට වරක් මම වික්‍රමසිංහ මහතාව හමුවූ අවස්ථාවේ දී මගේ මේ නවකතාවේ පිටපතක් ඔහුට ලබා දුුන්නා.
බෞද්ධ සාහිත්‍යයට අදාල මගේ ලිවීම එතනින් අවසන් වුණේ නැහැ. විසාලා, දිනෙක කුසිනාරාවේ, ප්‍රසේනජිත් යනුවෙන් මා ලියු ඒ නවකතා ත්‍රිත්වයටම බෞද්ධ සාහිත්‍ය සම්මේලනය විසින් පිරිනමන සම්මානය හිමිවුණා.
“තීර්ථය” නම් නවකතාවට පාදක වුණේ අනේපිඬු සිටාණන්ගේ චරිතය යි. ඒ වෙනුවෙන් ධම්මපදය සහ පන්සිය පණස් ජාතක පොත මූලාශ්‍ර වශයෙන් පරිහරනය කරා. කොහොමටත් මම බෞද්ධ නවකතා ලිවීමේදී මේ බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍ර දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.
සම්මානනීය බෞද්ධ සාහිත්‍ය කෘතියක් වන “ලයිට් ඔෆ් ඒෂියා” යන ඒ කෘතිය “පෙරදිග පහණ” නමින් සිංහලට පරිිවර්තනය කරන්නත් මම කටයුතු කළා. ඒ වගේම වල්පොල පියනන්ද හිමියන්ගේ සියලුම පොත් පරිවර්තනය කරන්නත් මම කටයුතු කරල තියෙනවා. ඒත් සමඟම ‘විසාලා‘ නමින් මා ලියූ කෘතිය ගැනත් කෙටියෙන් හෝ යමක් කිවයුතු යි. විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍ය කියවීම තුළ (මා අමෙරිකාවට පැමිණි පසු ඉංග්‍රීසි බසින් ද බොහෝ බෞද්ධ පොතපත කියෙව්වා.) බෞද්ධ දර්ශනයට අදාලව අපේ මේ පැවැත්ම කුමක් ද? මම නමින් කෙනෙක් නැත. එසේ නම් මමංකාරය යනු කුමක් ද? යන ඒ මතු කිරීම් එම කෘතියට පසුබිම් වුණා යැයි මා සිතනවා. ජීවන දහර, සංසාර සයුර, දැැහැමි දසුන යනු ද මා අතින් ලියවුණු බෞද්ධ කෘති කිහිපයකි. බෞද්ධ දර්ශනය ගැන කතා කරන විට මගේ වියට්නාම ගුරු, ඒ ඇසුර තුළ මගේ ශරීරයට අදාළව චක්‍ර විශ්ලේෂණය කිරීමක් මා අතින්ම සිදු වුණා. අපේ පංචස්කන්ධය ගත්තම ශරීරයේ ත්‍රිකෝණාකාර පිහිටීමක් දකින්න පුළුවන්. සංඥා ලබාගැනීම සිදුු වන්නේ ඒ ත්‍රිකෝණයේ මුදුනින්ම ය. නාමරූප පිහිටන්නේ පහල දෙකොන්වල යි. ඒ අතර මැද වළලු ආකාරයෙන් පිහිටීමක් තියෙනවා. අපගේ ශාරීරික සහ මානසික වේදනා විඳීම සහ සුවපත් වීම (සංස්කාර පැවැත්ම) අප විසින් අත් විඳිනු ලබන්නේ ඒ නිසා යි.
පසුගිය සුනාමි කාලයේ ලංකාවේ බොහෝ දේපල විනාශ වුණත් ඒ අතර වූ බුදුු පිළිම විනාශ නොවුන බව අප දන්නවා. ඒ ගැන විවිධ අදහස් පල වුණත් අප තේරුම් ගතයුතු යථාර්තයක් එහි තිබෙනවා. භාවනායෝගීව සිටින ඉරියව්වකදී අපේ ශරීර ත්‍රිකෝණාකාර පිහිටීමක් ගන්නවා. පිරමීඩයක් ගත්තම එහි පරම පිහිටීම ත්‍රිකෝණාකාරයි. විශ්ව පැවැත්ම පිළිබඳව රූපාකාර සත්‍යයක් මේ අනුව අපට පැහැදිලි වෙනවා.
බෞද්ධ ඉගැන්වීම්වල එන විග්‍රහයන් අතර, ඉපදිය හැකි ස්ථාන, ආකාශ වාර්තා, නාඩි වාක්‍ය, සාමුහික විඥානය, රූප කලාප යන හැදෑරීම් ද පවතිනවා.ඒ වගේම පංච නියාම ධර්මයද බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීමක්. මෙය කොන් පහක පංචාශ්‍රයකට සමාන කළොත් ඉහළින්ම පවතින්නේ ධර්ම නියාමයි. ඒ වගේම අන්ත දෙකක් ගැනත් මෙහිදී පැහැදිලි කරන්න වෙනවා. එය එළිය සහ අඳුර වශයෙන් ගත හැකි යි. සුප්‍රකට සංකේතයක් වන මාළු දෙන්නාගේ රූපය ගැන සිතා බලන්න. එකම රවුමක් තුළ එක්ව සිටින මේ මසුන් දෙදෙනා සුදු සහ කළු වශයෙන් දැකිය හැකියි. සුදු මාළුවාට කළු ඇසකුත් කළු මාළුවාට සුදු ඇසකුත් තිබෙනවා. පැවැත්මේ ධර්මතාව නියාම ධර්ම ඔස්සේ පැහැදිලි වන එක් ආකාරයක් තමයි ඒ. සෘතු නියාමය සහ බීජ නියාමය මිනිසා මුල් කොට ගත් ජීව පැවැත්ම ගැන පැහැදිලි කරනවා. අව්ව වැස්ස වැනි සාධක හේතු කොට ගෙන පැවැත්මේ ශක්තිය නිර්මාණය වීම, චිත්තය හේතු කොටගෙන දැනීම ඇතිවීම වගේම විඥානය මුල් කොට ගනිමින් ඇසට නොපෙනෙන ශක්තිය බිහිවීම යන මේ සත්‍යයන් චිත්ත සහ කර්ම නියාම ඔස්සේ තවදුරටත් පැහැදිලි කෙරෙනවා.
අපගේ මේ පැවැත්ම පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් ගැඹුරු දාර්ශනික හරයක් සහිතයි. එය හුදෙක් පොතපත වලින් පමණක් ලද හැකි ඥානයක් ම නොවෙයි.