මැයි දිනයයි උද්ඝෝෂණයයි | Page 3 | සිළුමිණ

මැයි දිනයයි උද්ඝෝෂණයයි

ලොව මැයි දින සැමරුම් ආරම්භය සිදුවූයේ 1886දීය. මෙවර 2022 මැයි පළමුවැනිදා සමරන්නේ එහි 136වැනි මැයි දින සැමරුමයි. ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම ආරම්භ වූයේ 1927දීය. මෙවර ශ්‍රී ලංකාවේදී සමරන්නේ 95වැනි මැයි දිනයයි.

1977 දී බලයට පත් ජේ ආර් ජයවර්ධන කිසිදු මැයි පළවෙනිදාවක් සාම්ප්‍රදායික ලෙස සැමරුවේ නැත. ඉතිහාසයේ පටන් 1976 දක්වා මේ රටේ පැවැත්වුණු මැයි දින උළෙල සියල්ලම බලගතු සටන් පාඨ, රතු පාට ප්‍රමුඛ කරගත් ඒ ඒ පක්ෂවලට අයත් වර්ණවල කොඩි, ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාව යනාදියෙන් පිරී පැවතුණේය. බලයට පැමිණි පසු ජේ ආර් ජයවර්ධන එකී සාම්ප්‍රදායික මැයි දින රැලි ක්‍රමයෙන් කඩා ඉවත්කර ගෝල්ෆේස් පිට්ටනියේ සංගීත සංදර්ශනයක් පවත්වමින් මැයි දිනය සැමරුවේය.

මෙකී සංදර්ශනයේ සින්දු කීම සඳහා ඉන්දියාවෙන් ගායක ගායිකාවන් ගෙන්වන ලදී. සංගීත සංදර්ශනය බැලීමට පැමිණි යූ එන් පී කාරයන් සියලු දෙනාටම අරක්කු භාගයකුත් බත් පාර්සලයකුත් රුපියල් 10 කුත් දීම ජාතික සේවක සංගමයට බාර විය. ජාතික සේවක සංගමය මුදල් අච්චු ගසනු නොලැබේ. එබැවින් අරක්කු සහ බත් සඳහා කොළඹ සිටින මුදලාලිලා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්හ. මේ සංගීත සංදර්ශනය බැලීමට ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ පාර්ලිමේන්තුවම පැමිණියහ. සංගීත සංදර්ශනයට පැමිණි යූ එන් පී කම්කරු පන්තිය නිර්දන පන්ති ආඥාදායකත්වය පිළිබිඹු කරන පැරණි රණ ගී පසෙක තබා වේදිකාවේ ගැයෙන හින්දි ගීතවලට කාවඩි නැටූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට පාලනය කළ හැත්තෑ ගණන්වල මැයි දිනය වූ කලී දවස් 364 ක් පුරා අමතකව ගිය කම්කරු පන්ති හැඟීම 365 වන දවසේදී යළි මතක් කර දුන්නකි.

ජේ ආර් ජනාධිපතිතුමා පෙළපාළි හෝ සටන් පාඨ රහිත ස්වකීය මැයි දින සංගීත සංදර්ශනය මඟින් ඉතා සියුම් ලෙස කම්කරු පන්ති හැඟීම මිනිස් සිත් වලින් දුරු කළේය. තවත් වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. නිර්දන පන්ති ආඥාදායකත්වය යනු කාල් මාක්ස් ට පමණක් විෂය වූ පල් බොරුවකි. නිර්දන පන්ති ආඥාදායකත්වය එය පැවති හැම රටකදීම නිලධාරීවාදයෙන් අවසන් වී ධනවාදයට මාරුවිය. මේ මොහොතේදී කොළඹ ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයද 1977 න් පසු ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද අසංස්කෘතික ක්‍රමයේ දිගුවකි. මෙය එක් පැත්තකින් සංගීත සංදර්ශනයකි. තවත් පැත්තකින් පාටියකි. 1978 න් පසු මැයි පළමුවැනිදා යූ එන් පී සංගීත සංදර්ශනයේ නැටු කාවඩි ඒ ආකාරයෙන්ම මෙතැනදීද නටනු ලැබේ. ජේ ආර් ගේ සංගීත සංදර්ශනයට වඩා වෙනසක් මෙහි ඇත. ඒ සංදර්ශනයේදී ජාතික සේවක සංගමයේ කට්ටිය කුදාර් වී විකාර කතා කරමින් සිටියාට කුණුහරුප කිව්වේ නැත. එහෙත් ගෝල්ෆේස් විරෝධතාව කුණුහරුප විමානයකි.

ගෝල්ෆේස් විරෝධය දිවා කාලයේදී පැවැත්වෙන්නේ නැත. එය සක්‍රීය වන්නේ රාත්‍රියටය. ඒ නාගරික සහ නූතන අර්ධ නාගරික මානසිකත්වයට අයත් නයිට් ලයිෆ් සංස්කෘතියේ ස්වරූපයකි. මෙතනට අඩු බොරු කකුල්කාරයන් පමණි. ඒ හැරෙන්නට දූෂිත සහ සම්මිශ්‍රිත සංස්කෘතික සංදර්ශනයකට අවශ්‍ය සියලුම අංග මෙයට අයත්ය. මේ ආණ්ඩුව පෙරළීම සඳහා මෙයට අවුරුදු දෙකකට පමණ පෙර විදේශික බලවේගයක් විසින් දෙමළ ඩයස්පෝරාවේ සහ ඉස්ලාමීය අන්තවාදීන්ගේ සල්ලි එකතුකර මදි හරිය තම අතින් දමා රුපියල් කොටි 65 ක් සාදා එම මුදල ලංකාවට එවීය. එයින් රුපියල් කෝටි 30 ක් මාධ්‍ය ආයතනයකට දෙන ලදී. ඉතිරි සල්ලි ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ අතර බෙදාහරින ලදී. මෙවැනි ක්‍රියා සඳහා තෙවැනි පාර්ශ්වවලින් ලැබෙන මුදල් නිසි ලෙස වියදම් කෙරෙන්නේද යන්න හරියටම විගණනය නොකෙරේ. ඒ නිසා එම මුදල් ලබන අය එයින් 75% ක් ස්වකීය පුද්ගලික පරිහරණය වෙනුවෙන් තබාගෙන සෙස්ස කඩාකප්පල්කාරී වැඩ සඳහා වැය කරයි. ගෝල්ෆේස් පිට්ටනියේ රෑට සිටින විරෝධතාකරුවන්ට බුරියානි බෙදන්නේත්, බියර් බෙදන්නේත් මේ මුදල්වලින්ද යන සැකය මේ වනවිට පහළ වී තිබේ.

සාමාන්‍යයෙන් මැතිවරණ ව්‍යාපාරයකදී ආණ්ඩුව පෙරළීම සඳහා රුපියල් බිලියනයක හෙවත් මිලියන 1000 ක ප්‍රතිපාදනයක් දළ වශයෙන් අවශ්‍යය. මේ ආණ්ඩුව පෙරළීම සඳහා එවන ලද රුපියල් කෝටි 65 මිලියන වලින් කීවොත් 650 කි. ගෝල්ෆේස් විරෝධයෙන් ආණ්ඩුව පෙරළා ගැනීමට බැරි උනොත් ආණ්ඩුව පෙරළීමේ කොන්ත්‍රාත්තුව භාරගත් අය කියනු ඇත්තේ තවත් රුපියල් මිලියන 350 ක් තිබුණේ නම් වැඩේ ගොඩදමා ගැනීමට හැකිව තිබූ බවය.

ආණ්ඩුවක් පෙරළීම සඳහා මහජන උද්ඝෝෂණ යොදාගත හැකිය. මෙවැනි විරෝධතා මීට පෙර විවිධ රටවල හටගෙන තිබේ. ඒ හැම විරෝධතාවකටම බහුජන පදනමක් තිබිණ; නායකත්වයක් ද තිබිණ. ගෝල්ෆේස් විරෝධතාවට බහුජන පදනමක් නැත. රාත්‍රී කාලයේදී එය බැලීමට එන වැඩිදෙනා එමඟින් සංගීත සංදර්ශනයක ෆන් එක ගැනීමට අපේක්ෂා කරති. මෙය මෙහෙයවන යූ ටියුබ් නාළිකා අයිතිකාරයන් කිහිපදෙනා විරෝධතාවයේ ඒකාධිකාරය තමන් අත තබාගනු පිණිස මේ දිනවල ගහ මරා ගනිමින් සිටිති. දේශපාලන නායකත්වයක් හෝ මතවාදී නායකත්වයක් නැති නිසා විරෝධතාකරුවන්ට සිදුවන්නේ රෑ 12 වනතුරු කුණුහරුප කියමින් පිස්සු නටා නොමිලේ ලැබෙන යමක් කා ගෙදර යෑමටය. පහුවෙනිදා ඔවුන්ට රැකියා සඳහා යාමට තිබේ. මෙවැනි සංදර්ශනයකට සහභාගී වන ශ්‍රමිකයාට වැඩ බිමේදී වැඩ කිරීමට කිසිදු ෆිට් එකක් නැත. එයට හේතුව නිදිමතය.

මෙහිදී කිව යුතු තවත් වැදගත් දෙයක් තිබේ. ගෝල්ෆේස් තරුණ පිරිසගේ ජවය සහ ශක්තිය කෙරෙහි කිසිදු අවතක්සේරුවක් අප තුළ නැත. අපට දුක මේ ජවය සහ ශක්තිය වඩා ඵලදායි කාර්යයක් සඳහා යොදා ගැනීමට මේ තරුණ පිරිසට බැරි වීමය. හැට නව ලක්ෂයක ජන වරමක් ඇති ආණ්ඩුව උද්ඝෝෂකයන් හමුවේ හෙළවෙන්නේ නැත. එසේම ගෝල්ෆේස් නයිට් ලයිෆ් එකට පුරුදු වී සිටින කට්ටිය එය අතහරින්නේද නැත. මේ ගැන කල්පනා කරන විට ඇතිවන්නේ මාර නිදිමතකි.

Comments