සවුදිය හැරෙන අත | Page 2 | සිළුමිණ

සවුදිය හැරෙන අත

 

සවුදි අරාබි රජය චීන ජනාධිපති ක්ෂි ජින්ග් පින්ග්ට රියාද් නුවර සංචාරයකට එක්වන ලෙස නිල වශයෙන් ආරාධනා කළ බව පසුගියදා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබිණි. එහි නිල අරමුණ ලෙස සවුදි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ බෙයිජිනය සමඟ සබඳතා තර කර ගැනීමේ සවුදිය සතු අවශ්‍යතාවයි. බෙයිජිනය එයට පිළිතුර වශයෙන් ලබන අප්‍රේල් මාසයේදී චීන ජනාධිපතිවරයා රියාද්හි සංචාරය කරන බව තහවුරු කර තිබේ. එමෙන්ම සවුදි නිල ප්‍රකාශකයන් ප්‍රකාශ කර ඇත්තේ සවුදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු සහ චීන ජනාධිපතිවරයා ඉතා හොඳ මිතුරන් බවයි.

 

මේ පුවත බැලූ බැල්මට දෙරටක් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණූ කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස විග්‍රහ කර ගත හැකිය. එහෙත් එහි යටිපෙළ නම් අටේ ආර්ථිකය සම්බන්ධව ඉතා තියුණූ දුර දක්නා නුවණින් යුක්තව කටයුතු කරන අනාගත රාජ්‍ය නායකයකුගේ දක්ෂතාවයි. මේ දක්ෂ අනාගත රාජ්‍ය නායකයා අන් කිසිවකු නොව සවුදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුය. ඔහු සවුදි ආර්ථිකයේ අනාගතය සම්බන්ධව සිතන්නට ගත්තේ අදින් වසර දහයකට පමණ ඉහතදීය. ඒ වන විටත් ලෝකය ෆොසිල ඉන්ධන වෙතින් වේගයෙන් ඉවත් වෙමින් තිබිණී. ෆොසිල ඉන්ධන ලොව බලවත්ම බලශක්තිය වශයෙන් පැවති යුගයේ ඇමරිකාවට සවුදිය තරම් රටක් තිබුණේ නැත. ලොව සෑම රටක්ම සවුදිය සමඟ මිත්‍රශීලීව කටයුතු කළේ ලෝකයේ බොරතෙල් වෙළෙඳපොළේ අරාබි බලයට හොඳම උදාහරණ සපයමිනි. එහෙත් ෆොසිල ඉන්ධන නුදුරේදීම අවසන් වන බවත්, එයින් මේ වන විටත් සිදුවන පරිසර විනාශය මහත් බවත් වටහාගත් ලෝකය විදුලිබලය සහ අනෙකුත් බලශක්තීන් වෙත වේගයෙන් විතැන් වන්නට විය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ සවුදියට තම අනාගතය ගැන බියක් දැනීමය.

මේ බිය නැති කිරීමේ කර්ත්‍රව්‍ය සවුදි බලධාරීන් විසින් පවරනු ලැබුවේ එරට ඔවුන් හිමි බින් සල්මාන් කුමරුටය. ඔහු ඉතා දූරදර්ශී ලෙස කටයුතු කරමින් සවුදියට ඉන්ධනවලින් තොරව තවත් ආදායම් ඉපදවිය හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන්නට වූයේය. එහිදී සංචාරක කර්මාන්තයට ප්‍රධාන තැනක් ලබා දුන් අතර මුස්ලිම් ආගම විසින් සිර ගත කරනු ලැබූ සවුදි සංස්කෘතිය බොහෝ දුරට විවෘත කරමින් සංචාරකයන්ට තම රට තෝතැන්නක් බවට පත් කළේය. තවත් බොහෝ රටවල අපනයන තම රටට ගෙන එමින් ඒවා ප්‍රති අපනයනය කරමින් මුදල් ගලා එන මාර්ග සකස් කළ සවුදි බලධාරීහු ඉන්ද නොනැවතී ලෝකයේ අනාගත ආර්ථීක නායකත්වය වන චීනය සමඟ දැඩි මිත්‍රත්වයක් පවත්වා ගැනීමටද කටයුතු කළහ.

ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස කොවිඩ් රෝගය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත බටහිර ලෝකයම ප්‍රතික්ෂේප කරද්දී සවුදිය එය තම රටේ ජනතාවට ලබා දීමට කටයුතු කිරීමය.

දැන් බින් සල්මාන් කුමරු චීන ජනාධිපතිවරයාට තම නිවසටම ආරාධනා කර තිබේ. වාසි පැත්තට හෝයියා කීම දීප්තිමත් අනාගතයක සුබ පෙරමඟ ලකුණු බව සවුදිය ලොවටම පෙන්වා දෙමින් සිටින බවද සටහන් කළ යුතුය.

 

Comments