පකිස්තානය, නේපාලය, ආර්ජන්ටිනාව ඇතුළු තවත් රටවල් රැසක් ලංකාවේ අඩි පාරේ | සිළුමිණ

පකිස්තානය, නේපාලය, ආර්ජන්ටිනාව ඇතුළු තවත් රටවල් රැසක් ලංකාවේ අඩි පාරේ

ප මේ වන විට පසුකරමින් සිටින්නේ ඉතාම දුෂ්කර අවධියකි. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වේගයෙන් ඉහළ යමින් පවතින අතර ඉන්ධන, ගෑස් මෙන්ම ඖෂධ පවා හිඟවී ඇති වටාපිටාවක මිනිසුන් දුෂ්කර ජිවිත ගෙවමින් සිටී. රාජ්‍ය ආදායම වියදම පියවා ගැනීම කිසිසේත් සමත් නොවන වාතාවරණයක් මත රටේ ආර්ථිකය පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකය.

අපේ රටේ මේ ආර්ථීක වාතාවරණය ඇතිවීමට දීර්ඝකාලීන හේතු පැහැදිලිව හඳුනාගත හැකිය. එහෙත් ඒ සඳහා බලපැම් කළ කෙටිකාලීන හේතු ද පවතින බව අමතක කළ යුතු නොවේ. එමෙන්ම පසුගිය දෙවසරක කාලයේදී පමණ මුළු ලොවටම බලපෑම් කළ කරුණු හේතුවෙන් ලෝකයේ තවත් රටවල් රාශියක් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බව ද කිව යුතුය.

ගත කළ පසුගිය දෙවසර සැබවින්ම මුළු ලෝකයටම වෙනස්ම අත්දැකීම් ලබා දුන් කාලයක් විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ රටවල් සියල්ලම පාහේ වසා දැමුණු අතර බහුතර ආර්ථික කටයුතු නවතා දැමිණි. ඒ හේතුවෙන් සමස්ත ලෝකයේ ආනයන අපනයන ආර්ථික කටයුතු අඩාළ විය.

2020 වසරේ පළමුවැනි කාර්තුවේ සිට ඇතිවු මේ බිඳවැටීම් හේතුවෙන් ලෝකයේ සෑම රටකම වැසියන්ට රැකියා අහිමිවීම්වලට මුහුණ දීමට සිදු විය. කෘෂිකාර්මික කටයුතු ද අඩාළ වීම හේතුවෙන් ආහාර සැපයීම සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවක් දක්නට විය.

විශේෂයෙන් මේ තත්ත්වයන් දැක ගත හැකි වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. කොවිඩ් වසංගතය සමස්ත ලෝකයට බලපෑම් කළද බොහෝ ධනවත් රටවල් ඉක්මනින් තම ආර්ථිකය සාමාන්‍ය තත්ත්වය කරා ගෙන ඒමට සමත් වූ බව පැවසිය යුතුය. ඒහෙත් දුගී රටවල් කොවිඩ් වසංගතයෙන් මිදුණේ දැඩි ආර්ථීක පරිහානයකට මුහුණ දෙමිනි. නවතා දැමුණු ආර්ථීක ක්‍රියාකාරකම් යළි අරඹන විට බොහෝ දෙනා රැකියා විරහිතයන් බවට පත්ව අවසන් අතර යළි ආර්ථීක යන්ත්‍රණය ද පෙර පැවති තත්ත්වයට ගෙන ඒමේ බොහෝ අසීරුතා විය. බොහෝ රටවලට කොවිඩ් එන්නත් වෙනුවෙන් ද විශාල මුදල් ප්‍රමාණයන් වැය කිරීමට සිදු වී තිබිණි.

කොවිඩ් වසංගතයෙන් ලෝකය මිදීමත් සමඟ තවත් ව්‍යසනයකට මුහුණ දීමට ලෝකයට සිදු විය. ඒ් රුසියා - යුක්රේන යුද්ධයයි. රුසියාව මෙන්ම යුක්රේනය ද ලෝකයේ ආර්ථික කටයුතුවලදී කැපී පෙනෙන රටවල් වේ. රුසියාව සමස්ත ලෝකයේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවන් අතර ඉදිරියෙන් සිටින රටකි. යුක්රේනය ද ලොව බොහෝ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා දෙන රටකි. මේ දෙරට අතර ඇතිවූ යුදමය වාතාවරණය ලොව සෑම රටකටම පාහේ වක්‍ර ආර්ථික බලපෑම් කිරිමට සමත් විය.

කෙසේ වුවද මේ වන විට නිවී යන රුසියා - යුක්රේන ගිනිදැල් හමුවේ තම ආර්ථිකයන්ට සිදුවූ බොහෝ හානි පූරණය කර ගැනීමට ඇමරිකාව ඇතුළු බලවත් රටවල් රැසක් සමත් වී තිබේ.

චීන ආර්ථීකය වසා දැමීම ද ආසියාවේ තවත් රටවල් රැසකට ආර්ථීක ගැටලු ඇති කිරීමට සමත් විය. චීනය යනු ලෝකයේ විශාලතම ආර්ථිකයන්ගෙන් ඒකකි. චීන ආර්ථිකය සමඟ ලොව බොහෝ රටවල් විශේෂයෙන් ආසියානු රටවල් බැඳී පවතී. මේ හේතුවෙන් චීන ආර්ථිකයේ යම් උච්චාවචනයන් ලොව බොහෝ රටවලට බලපෑම් ඇති කරයි.

කොවිඩ් වසංගතයත් සමඟ චීනය දැඩි ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම හේතුවෙන් පීඩාවන්ට පත්වූයේ චීනය නොව අසල්වැසි කුඩා රටවල්ය. චීනය ගත් යම් යම් ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් බොහෝ රටවලට ආර්ථීකමය වශයෙන් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය.

මේ හේතු මත ලොව තවත් රටවල් කිහිපයක්ම ආර්ථිකමය වශයෙන් පීඩාවන්ට ලක්වුවද ඒ් කිසිදු රටක් ශ්‍රී ලංකාව තරම් පීඩාවට පත්ව නොමැති බව පැවසිය යුතුය. දීර්ඝකාලීන දේශපාලන අස්ථාවර භාවය මෙන්ම බීරූට් වරායේ මහා පිපිරීම ඇතුළු හේතු රාශියක් මත ක්‍රමයෙන් බිඳ වැටුණු ලෙබනනය ද ඉක්මවා ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ දැවැන්තම ආර්ථීකමය බිඳ වැටීම පෙන්නුම් කරමින් සිටියි. සැබවින්ම ශ්‍රී ලංකාවට මෙසේ වීමට බලපෑ ප්‍රධානම කරුණ වන්නේ අන් කිසිවක් නොව අධික ණය ලබා ගැනීමය.

ශ්‍රී ලංකාව තරම් ම නොමැති වුවද ඒ මඟෙහිම ගමන් කරමින් සිටිනා තවත් රටවල් කිහිපයක් ගැන ඉන්දීය ජනමාධ්‍ය පසුගියදා හෙළිදරව්වක නිතර විය.

ඉන්දීය ජනමාධ්‍ය පවසන අන්දමට මේ වන විට පකිස්තානය, නේපාලය, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, ඉතියෝපියාව, ඝානාව සහ පීරු යන රටවල් සිටින්නේ ආර්ථිකමය අවපාතයකට මුහුණ දෙමිනි. මේ රටවලට තම විදෙස් ණය ගෙවා ගැනීමේ අසීරුතා උද්ගත වී තිබෙන අතර, විදේශ සංචිතවල හිඟයක් ද මතුව ඇතැයි වාර්තා වේ.

නේපාලය ද මේ වන විට විදේශ සංචිත ක්ෂය වීමේ ගැටලුවට දැඩිව මුහුණ දෙමින් සිටින රටකි. නේපාලයේ පසුගිය ජූලි මසෙන් ඇරඹි ආර්ථීක කාර්තුව තුළ විදේශ විනිමය වර්ධනයක් පෙන්නුම් කළද මේ වන විට ඒරට විදේශ විනිමය සංචිත වේගයෙන් පහත වැටෙමින් පවතින බව වාර්තා වේ.

පකිස්තානය ද විදේශ ණය හේතුවෙන් වසර කිහිපයකට සිට පීඩාවට පත්ව සිටින රටකි. මේ වන විට ඒරට සංචිත හිඟය හේතුවෙන් දැඩි ගැටලු මතුව තිබේ. පකිස්තානය දැනටමත් අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අරඹා ඇති අතර සවුදි අරාබිය සහ චීනයෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබේ.

කෙසේ වුවද මේ සෑම රටක්ම තම ආර්ථිකයන්ට ඔරොත්තු නොදෙන තරටම ණය ලබාගෙන ඇති බව නම් පැහැදිලිය. මේ තත්ත්වය මත තවතවත් ණය ලබා ගැනීම යනු අර්බුදයට විසඳුම නොවන බව නම් පැවසිය යුතුය. එහෙත් නිෂ්පාදන ආර්ථික රටාවක් ගොඩ නඟා ගැනීමකින් තොරව දැනට උග්‍ර වී ඇති අර්බූදයෙන් ආරක්ෂිත ස්ථානයකට පැමිණීම කළ නොහැකිය. නිෂ්පාදන ආර්ථික රටාවක් ඇති කර, ආයෝජන වර්ධනය කර ගනිමින් ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීම මාස කිහිපයකින් කළ හැකි පහසු ක්‍රියාවක් නොවේ. ඒ් සඳහා ක්‍රමික මාර්ගයක ගමන් කළ යුතුය. ඒතෙක් විදෙස් රටවල ණය ලබා ගැනීමෙන් තොරව දීර්ඝකාලීන පිළියම් කරා ළඟා විය නොහැකි වන්නේ ලංකාව මෙන්ම පකිස්තානය ඇතුළු තවත් රටවල් මේ වන විට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා නොමැති උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බැවිනි. ඒහෙත් ණය ලබා ගැනීම යනු යළි යළිත් විෂම චක්‍රයක පැටලීම බව ද පැවසිය යුතුමය.

දැනට මේ රටවල් කිහිපයකම කොටස් වෙළෙඳ පොළද කඩාවැටීම ලක්ව ඇති අතර පකිස්තානය විදුලිය ඇතුළු බලශක්ති කප්පාදුවකට ද මුහුණ දෙමින් සිටී. සංචර්ධිත රටක තත්ත්වයේ සිට දකුණු අප්‍රිකාව අද පත්ව ඇති වතාවරණය කනගාටුදායකය. මේ සියල්ල සඳහා මේ රටවල පාලකයන්ගේ අදූර්දර්ශී වැඩපිළිවෙළ හේතු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විශේෂයෙන්ම ලෝකයට විවෘත වරායන් වැනි භූදේශපාලනික වශයෙන් වැදගත් පිහිටීම් සහිත රටවල් ණය උගුලේ පැටලීම යනු අහඹු ක්‍රියාවක් නොවන බව නුවණින් විමසා බලන විට පෙනේ. ඒ් සියල්ල අතරට බලලෝභී පාලකයන් අතට එම රටවල පාලනය ලැබීම යනු මේ රටවල ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගැනීම තුළින් ලෝකයේ පාලනය තම අතට ගැනීමට කැස කවන බලවත් රටවල සිහිනයන් ඉටු කිරිමකි. තම සංවර්ධන අරමුණුවල වෙනත් රටවල් උපාය මාර්ගිකව පැටලවීම තුළින් තම අරමුණු කරා ගමන් ගනිමින් සිටින බලවත් රටවල් ද අඩු වැඩි වශයෙන් මේ රටවල් අද මුහුණ දී සිටින ගැටලුවලට වගකිව යුතු බව ද පැවසිය යුතුමය.

Comments