ලොව වටා | සිළුමිණ

ලොව වටා

 

වඳුරු වසූරියට බයවෙමුද

 

මේ දිනවල ලොව පුරා වේගයෙන් පැතිර යමින් පවතින වඳුරු වසූරිය රෝගය තවත් රටවල් තුනකින් සොයා ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා දැනුම් දී තිබේ. එම රටවල් තුන වන්නේ එක්සත් අරාබි එමිරේට්ස්, චෙක් රිපබ්ලික් සහ ස්ලෝවේනියාවයි. ඒ අනුව මැද පෙරදිග කළාපයේ රටවල් අරතින් ප්‍රථම වඳුරු වසූරිය රෝගියා වාර්තා කළ රට බවට එක්සත් අරාබි එමිරේට්ස් පත්ව තිබේ. ඒ හැර මේ වන විට යුරෝපයේ රටවල් රැසකින් මෙන්ම ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් වඳුරු වසූරිය රෝගීන් වාර්තා වී තිබේ.

මීට පෙර අප්‍රිකා මහාද්වීපයේ ඇතැම් රටවලින් පමණක් වාර්තා වූ වඳුරු වසූරිය රෝගයට අදාළ වයිරසය මේ අනුව ලොව පුරා පැතිර යමින් පවතින බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ තවමත් රෝගීන් 237ක් පමණක් ලොව පුරා රටවලින් වාර්තා වී ඇති මේ රෝගය වසංගතයක් වීමට ඇති ඉඩකඩ අවම බවයි.

 

 

විදේශ ලේකම් අරුණි විජේවර්ධන

 

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නව විදේශ ලේකම් ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පසුගියදා පත්වීම් ලබා ගත්තාය. පසුගිය මැයි 20 වැනිදා ඇය පත්වීම් ලැබූ අතර පසුගිය මැයි 23 වැනිදා සිට ඇය තම ධූරයේ වැඩ භාර ගත්තාය.

නව ලේකම් අරුණි විජේවර්ධන ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකාවක වන අතර වසර 34ක් පුරා විදේශ සේවයේ නිතර වෙමින් විවිධ තනතුරුවල කටයුතු කර තිබේ. විවිධ රටවල ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සේවය ලබා දී ඇති ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නියෝජිතවරියක ලෙස ජිනීවා හිද සේවය කර තිබේ.

බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මෙන්ම එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ලබා ඇති අරුණි විජේවර්ධන දෙදරු මවකි.

 

තලේබාන් ඇෆ්ගනිස්තානයේ කෑලි විකුණයි

 

පසුගිය වසරේදී ඇමරිකානු හමුදාවන්ගෙන් නිදහස් කර ගත් ඇෆ්ගනිස්ථානයේ මර්මස්ථාන ලෝකයේ විවිධ රටවල සමාගම් වෙත පැවරීමට තලේබාන් සංවිධානය මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ යටතේ ප්‍රථම වරට ඔවුන් ඇෆ්ගනිස්ථානයට ඇති එකම ගුවන් තොටුපොළ වන කාබුල් ගුවන් තොටුපොළ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ක්‍රියාත්මක සමාගමක් වෙත පැවරීමට කටයුතු කර තිබේ.

පසුගියදා ඇෆ්ගනිස්ථාන අගමැති කාර්යාලය නිකුත් කළ ලිපියක සඳහන් වූයේ කාබුල් ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය එමිරේට්හි මෙම සමාගමට පවරාදෙන බවය.

දකුණු ආසියාවේ කඩා වැටෙන ආර්ථිකයන් අතර ඇෆ්ගනිස්ථානය පසුගිය වසරේ සිටම ඉදිරියෙන් සිටි අතර තවමත් එරටේ ආර්ථීකය පවතින්නේ තර්ජිත තත්ත්වයකය.

 

 

ඇමරිකාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 21යි

 

පසුගියදා ඇමරිකාවේ ටෙක්සාස් හි පාසලක සිදුවූ වෙඩි තැබීම හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ. එම 21 දෙනා වාර්තා වන්නේ පාසල් දරුවන් 19ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු වශයෙනි. මේ සම්බන්ධව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ද තම කනගාටුව ප්‍රකාශ කරමින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල ගිනි අවි සාමාන්‍ය වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මෙවැනි පොදු සමාජයේ සිදු කරන ගිනි අවි ප්‍රහාර අවම වශයෙන් වසරකට දෙකක් හෝ තුනක් එරටින් වාර්තා වේ. කනගාටුවට මෙන් මේ අතරින් එක් සිදුවීමක් හෝ පාසල්වලින් වාර්තා වන අතර ගිනි අවි ප්‍රහාරකයාද පාසල් දරුවකු වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළය.

මේ සිදුවීම් වළක්වාලීමට ඇමරිකානු සමාජය ගන්නා ප්‍රතික්‍රියාවන්ද මේ දක්වා සාර්ථකත්වයක් අත් කර ගැනීමට සමත් වී නැත.

Comments