අලුත් මාකෝස් සහ පරණ මාකෝස් | සිළුමිණ

අලුත් මාකෝස් සහ පරණ මාකෝස්

සුගියදා පිලිපීනයේ පැවති ජනාධිපති සහ උප ජනාධිපති තේරීමේ මැතිවරණයෙන් එරට හිටපු ඒකාධිපති පාලකයකු වූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත්‍රයා වන බොන්ග්බොන්ග් මාකෝස් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය. මේ පුවත ලෝකයේ සෙසු රටවල් පුදුම කරවන සුලු විය. එයට හේතු වූයේ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ ඒකාධිපති පාලන කාලයේදී පිලිපීන ජනතාව විඳි දුක ගැන ලොවම දන්නා නිසාය. අවසානයේදී ෆර්ඩිනන්ඩ් මාකෝස්ට සිදු වූයේ පිලිපීනයෙන් පලා යෑමටය. ඒ සිදුවීමෙන් දශක තුනකට පමණ පසු එසේ පලා ගිය පියාගේ පුත්‍රයා යළිත් පිලිපීනයේ නායකත්වයට පත්ව තිබේ.

මෙය ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීමක් යැයි පැවසීමට හදිස්සි විය යුතු නැත. මේ මාකොස් ඒ මාකෝස්ගේ පුතා වුවද ඒ මාකොස් ගිය පාරේම මේ මාකොස් යනු ඇතැයි අවිශ්වාස කළ යුතු නැත. තාත්තලාට එරෙහිව කැරලි ගසන පුතුන් ඕනෑතරම් සිටින අතර තාත්තලාට වඩා සාර්ථක පුත්තු ද ඕනෑ තරම් සිටිති.

දැන් කෙසේ වුවද පිලිපීන ජනතාව යළිත් වරක් පිලිපීනය මාකෝස් කෙනෙකුගේ අතට ලබා දී අවසන්ය. එසේ පැවසීමට හේතුව පැහැදිලි කිරීමට අමතරව කරුණු දැක්විය යුතු වන්නේ මාකෝස් පාලනය යුගය දැන් පිලිපීන ජනතාවට මෙන්ම ලෝකයේ බොහෝ දෙනාට අමතකව ගොස් ඇති බැවිනි. මාකෝස් පියාගේ හෙවත් ෆර්ඩිනන්ඩ් එම්මානුවෙල් එඩ්රාලින් මාකෝස් ගැන අතීතය මඳක් සිහිපත් කිරීම වැදගත්ය.

පිලිපීනයේ ඒකාධිපතියා හෙවත් ෆර්ඩිනන්ඩ් මාකෝස් උපත ලැබුවේ 1917 සැප්තැම්බර් 11 පිලිපීනයේ සාරාත් හිඳීය. ඔහු මිය යන්නේ 1989 සැප්තැම්බර් 28 හවායි හි හොනලුලු හිඳීය. මේ වසර හැත්තෑ දෙක තුළ ඔහු කළ කී දේ බොහෝය. එබැවින්ම මාකෝස් යන නම ලොවට අමතක නැත. එබැවින්ම එය පිලිපීනයට අමතක යැයි පැවසීම පුදුම සහගතය. ඔහුගේ බිරිය ඉමෙල්ඩා මාකෝස්ය. පිලිපීනය ෆර්ඩිනන්ඩ් මාකෝස් අමතක වුවද ඉමෙල්ඩා මාකෝස් අමතක විය නොහැකිය. ඇය එරට ප්‍රථම කාන්තාව ලෙස සිටියදී අමතක කළ නොහැකි බොහෝ දේ සිදු කළාය.

ෆර්ඩිනන්ඩ් මාකෝස් පිලිපීන දේශපාලනයට කලඑළි බසින්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වුවද ඔහු ඊට පෙර ද කැපී පෙනෙන චරිතයක් බව කිව යුතුය. නීති ශිෂ්‍යයකු ලෙස නීතිය හදාරමින් සිටියදී ඇති වූ ලෝක යුද්ධයට සෙබළකු ලෙස වහාම සම්බන්ධ වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් යුද්ධයෙන් පසුව පිලිපීනයේ ලිබරල් පක්ෂයට සම්බන්ධ වන්නේය. එම පක්ෂය තුළ ඔහුට හිමි වන්නේ ශීඝ්‍ර නැඟීමකි.

ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ෆර්ඩිනන්ඩ් මාකෝස් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සමඟ නිතර ලිපි ගනුදෙනුවල නිරත වෙමින් යුද වන්දි ලබා ගැනීමට කටයුතු කළ බවයි. එහෙත් මේ ඇති කරගත් සබඳතාවල අවසානය වූයේ ඇමරිකාව සමඟ ඉතා යහපත් සබඳතාවයකින් යුතු පාලකයෙක් සහිත පිලිපීනය චීනය, වියට්නාමය ලාඕසය, මියන්මාරය වැනි වාමාංශික පාලනයන් සහිත අසල්වැසි රටවල් සමඟ නිරුපද්‍රිතව පැවතීමය.

මාකෝස් නියම ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේ ඔහු දෙවැනි වරටත් පිලිපීන ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමඟය. ඔහුට විරුද්ධව සිදු කළ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමෙන් ඇරඹි මාකෝස්ගේ ජනතා මර්දනය ඔහු අතිශය දරුණු මර්දනකාරී පාලනයක් ගෙන ගිය ඒකාධිපතියකු ලෙසින් ඉතිහාසගතවන තෙක්ම දීර්ඝව ක්‍රියාත්මක විය. හමුදා නීතිය මඟින් රට පාලනය කළ මාකෝස් තම දේශපාලන සතුරන් මරා දැමුවේ කිසිදු පැකිළීමකින් තොරවය.

ඔහුගේ මේ අන්තනෝමතික පාලනයට ඇමරිකාවේ සහාය ලැබුණු බව දන්නෝ දනිති. අවසන මාකෝස් තවදුරටත් තමන්ට අවශ්‍ය නැති බව තීරණය කිරීමත් සමඟ එවකට ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මාකෝස්ට ‘දැන් ඇති‘ යැයි පැවසුවේය. එතැන් සිට මාකෝස් ජීවත් වූයේ ඇමරිකාවේ ආරක්ෂාව යටතේය. පිලිපීන ජනතාව අමුඅමුවේ මරා දමමින් ප්‍රජාතන්ත්‍රවාදය ලැජ්ජා විරහිත ලෙස උල්ලංඝනය කළ මාකෝස් තම ජීවිතයේ අවසන් කාලය සුන්දර හවායි දූපත්වල අතිශය සාමකාමී ලෙසත්, සුඛෝපභෝගී ලෙසත් ගෙවා දැමුවේය. 

දැන් යළිත් පිලිපීනයේ බලයට පැමිණ සිටින්නේ එවන් වූ මාකොස්ගේ පුත්‍රයාය.

පිලිපීනය පමණක් නොව ලොවම පිළිකුල් කළ ෆර්ඩිනන්ඩ් සහ ඉමෙල්ඩා මාකොස්ගේ පුත්‍ර බොන්ග්බොන්ග් මාකෝස් මේ වන විට සිටින්නේ 64 හැවිරිදි වියේය. ඇතැම් විට ඔහුද තම පියාගේ පාලනයේ දුර්වලතා මේ වන විට හඳුනාගෙන සිටිනවා විය හැකිය. නැතහොත් දශක තුනකට පසු පිලිපීනයේ නූතන පරම්පරාවට පැරණි මාකොස්ගේ හපන්කම් අමතක වී ඇතුවා ද විය හැකිය. ‍කෙසේ වුවද මෙවර බොන්ග්බොන්ග් මාකෝසට ලැබුණේ අති විශාල ජනවරමකි. එපමණක්ද නොව ඔහු සමඟ ඔහුගේ සහාය අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුයිට්රේට්ගේ දියණිය වන සාරා ඩුයිටර්රේ ද මේ අති විශාල ජයග්‍රහණයට හිමිකම් කීවාය. ජයග්‍රහණය සමරමින් මාකොස් පුතා කීවේ තමන් සාරාගේ පියා වන රොඩ්රිගෝ ඩුයිට්රේගේ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන තමන් දිගටම ක්‍රියාත්මක කරන බවයි.

රොඩ්රිගෝ ඩුයිටර්ට් බලයට පැමිණි පසු ක්‍රියාත්මක කළ මේ මත්ද්‍රව්‍යවලට එරෙහි සටනින් සිවිල් වැසියන් සිය ගණනක් මරා දමනු ලැබීය. ඩුයිට්රේට් දැඩි ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීමට කටයුතු කළද, ඒ් සම්බන්ධව නීති පැනවූවද පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමට ඔහු සමත් වූයේ නැත. දැන් මාකෝස් පුතාට ද එම අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ.

අනික් අතට රොඩ්රිගෝ ඩුයිටරේට් චීනය සමඟ ගෙන ගියේ වෙනස්ම සම්බන්ධයකි. චීන මුහුදේ තම සීමාවන් පිළිබඳ චීනය සහ පිලිපීනය අතර බොහෝ කල් සිට පැවතෙන ගැටලු තිබියද රොඩ්රිගෝ ඩුයිටරේට් ඒ් සියල්ල අමතක කර චීනය සමඟ සුහද සම්බන්ධයක් පවත්වා ගැනීමට සමත් වූයේය. දැන් තම පියාගේ පාරේ යනවාට වඩා ඩුයිටරේට් ගේ පාරේ යෑමට මාකෝස් පුතා කැමැත්තක් දක්වන බව පෙනේ.

මෙවර පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සමස්ත අපේක්ෂකයන්ගේ ගණන දහයක් විය. එරට ක්‍රමයට අනුව උප ජනාධිපතිවරයකු සඳහා ද මේ අවස්ථාවේදීම ජනතාව ඡන්දය භාවිත කරන බැවින් උප ජනාධිපති අපේක්ෂකයන් ද එයට සමගාමීව තරග වැද තිබිණි. ඇතැම් අපේක්ෂකයන් උප ජනාධිපති ධූරය සඳහා පමණක් තරග වැඳ තිබුණෙන් උප ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් නව දෙනෙකු පමණක් ඉදිරිපත්ව තිබිණි. සමස්ත මැතිවරණයේදී භාවිත කළ ඡන්ද ප්‍රතිශතය සියයට අනූව ඉක්මවා යද්දී ජයග්‍රාහී බොන්ග්බොන්ග් මාකෝස්ට තරගයක් දීමට හැකියාව ලබා තිබුණේ ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටි ලෙනී රොබෙර්දෝ ය. සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබා දුන් පසු බොන්ග්බොන්ග් මාකෝස් සියයට 66.44ක් ලබා සිටි අතර ලෙනී රොබොර්දෝ සියයට 24.91ක් ලබා සිටියාය. සැබවින්ම ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ලෙනී ලැබූ මේ ඡන්ද ප්‍රතිශතයම ජයග්‍රහණයක් බව කිව යුතුය.

කෙසේ වුවද දැන් යළිත් පිලිපීනය මාකොස් සහ ඩුයිටරේට් යුවළ අතට පත්ව තිබේ. මේ සුසංයෝගය ජාඩියට මූඩිය සේ හැඳින්විය හැකිය. එහෙත් ඒ් නව පාලකයන් නොව ඔවුන්ගේ පියවරුන්ය. එබැවින් ඔවුන්ගේ දරුවන් වන නව පාලකයන් පිළිබඳ වැරදි ඇසින් බැලීම නොකළ යුතුය. ඇතැම් විට මේ නව මාකොස් - ඩුයිරේට් සුසංයෝගය පිලිපීනය වඩා සාර්ථක මාවතක ගෙන යෑමට සමත් වීමට ද ඉඩ තිබේ.

බොන්ග්බොන්ග් මාකෝස් පවසන්නේ තම පියා මෙන් පිලිපීනයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වමින් ආර්ථිකය නගා සිටිවීම අත අභිප්‍රාය බවයි. එහෙත් පිලිපින ඉතිහාසයේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා වූයේ ද 80 දශකයේ මාකොස් පාලනය අවධියේය. එබැවින් තම පියාගේ අඩි පාරේ යන බව නව ජනාධිපති මාකෝස් පවසන විට පිලිපීන ජනතාවට බිය සිතෙන්නට වුවද ඉඩ නැත. අනික් අතට ඔහු පවසා ඇත්තේ ඩුයිටරේට්ගේ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයද’ දිගටම ක්‍රියාත්මක කරන බවය. සැබවින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය ඉතා හොඳ දෙයක් වුවද රෝඩ්රිගෝ ඩුයිටරේට් ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග මුළු ලෝකයම තිගැස්වීමට සමත් විය. ඇතැම්විට මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සැක සහිත සිවිල් වැසියන් මහමඟ වෙඩි තබා දමනු ලැබුවේ කිසිදු නඩු ඇසීමකින් තොරවය. එහෙත් මාකෝස් පුතු සහ ඩුයිටරේට් දියණියට යළි කැමැත්ත පළ කිරීම මඟින් පිලිපීන ජනතාව පවසා ඇත්තේ තමන් මේ බිය උපදවන සුලු පාලකයන් කළ ක්‍රියා අමතක කළ බවය. එසේත් නැතිනම් ඔවුන් කළ දේට ඔවුන්ගේ දරුවන් ප්‍රතික්ෂේප නොකළ යුතු බවය. එසේත් නැතහොත් අතීතයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් මෙන්ම රොඩ්රිගෝ ඩුයිටරේට් ද කළ කී දෑ වැරදි නොවන බවය.

මේ මොන දේ කෙසේ වුවද දැන් පිලිපීනය යළිත් වරක් මාකෝස් කෙනෙකු අතට පත් ව අවසන්ය. එදා ෆර්ඩිනන්ඩ් මාකොස් පිටුපස ඇමරිකාව සිටියේය. ඩුයිටරේට් පසුපස චීනය සිටියේය. දැන් මේ මාකෝස් - ඩුයිටරේට් සුසංයෝගය පිටුපස සිටින්නේ කුවදැයි හරියටම පැහැදිලි නැත. එබැවින් පිලිපීන ජනතාව ගත් තීරණය සැබවින්ම නිවැරදිදැයි දැන ගැනීමට තවත් කලක් බලා සිටීමට සිදුවනු ඇත.

Comments