පකිස්තානුවන් හයක් පෝරකයට නවයක් ජීවිතාන්තය දක්වා සිරගෙට | සිළුමිණ

පකිස්තානුවන් හයක් පෝරකයට නවයක් ජීවිතාන්තය දක්වා සිරගෙට

සුගිය දෙසැම්බර් මාසයේදී පකිස්තානයේ සියල්කොට් හිදී මිනිසුන් 800ක පමණ පිරිසක් විසින් පහරදී මරා පුළුස්සා දැමූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතාගේ ඝාතනයට අදාළ නඩුවේ නඩු තීන්දුව පකිස්තාන අධිකරණය විසින් පසුගියදා ලබා දෙන ලදී. එම නඩු තීන්දුව ලබා දීමට පකිස්තාන අධිකරණයට ගත වී තිබුණේ මාස පහක වැනි කාලයක් වීම ඉතා සුවිශේෂී කරුණකි. සියල්කොට්හි කර්මාන්තශාලාවක ප්‍රධාන කළමනාකරු ලෙස සේවය කරමින් සිටි ප්‍රියන්ත දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ එම කම්හලේ සේවකයන් සමඟ එක්වූ ගම්වැසියන් පිරිසකගේ ම්ලේච්ඡ පහරදීම් හේතුවෙනි. 

සිදුවීමෙන් පැය කිහිපයක් ඉක්ම යෑමට පෙර පකිස්තාන පොලීසිය විසින් ඝාතනයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර ඉතා කෙටි කාලයක් තුළ නඩු පැවරීමද සිදු කෙරිණි.

එවකට පකිස්තානයේ අගමැති ධූරය හෙබවූ ඉම්රාන් ඛාන් පෞද්ගලිකවම මේ ම්ලේච්ඡ ඝාතනය හෙළා දකිමින් වරදකරුවන්ට දඬුවම් පැවරීමට අදාළ නීතිමය කටයුතුවලට විධිවිධාන ලබා දීමට කටයුතු කළේය. ඒ හේතුවෙන්ම මෙසේ ප්‍රියන්ත දියවඩනගේ ඝාතනය අදාළ නඩු තීන්දුව ඉක්මනින් ලබා දීමට කටයුතු පහසු වූ බව සිතිය හැකිය.

පසුගිය අප්‍රේල් 18වැනිදා ප්‍රකාශයට පත් වූ එම නඩු තීන්දුවට අනුව ඝාතනය අවස්ථාවේ එම ස්ථානයට රැස්ව සිටි පුද්ගලයන් 800ක ආසන්න පිරිසක් අතරින් නිශ්චිත සාක්ෂි මත හඳුනාගත් පුද්ගලයන් 89 දෙනෙකුට නඩු පවරා තිබූ අතර එම පිරිස අතරින් තහවුරු වූ සාක්ෂි මත පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට පකිස්තාන අධිකරණය කටයුතු කර තිබිණි. තවත් පුද්ගලයන් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබිණි. සෙසු පිරිසට වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම කළ බවට පුවත් වාර්තා විය. මේ දඬුවම් නියම කිරීමට අමතරව පකිස්තාන රුපියල් ලක්ෂ දෙක බැගින් නඩු ගාස්තු ලෙස ගෙවීමටද මේ පුද්ගලයන්ට නියම කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක කළමනාකරු ලෙස සේවයට ගිය ප්‍රියන්ත දියවඩන මහතා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාල සහෝදරයා වූ අතර පුතුන් දෙදෙනෙකුගේ පියෙක්ද වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය දිනා ගත් ප්‍රියන්ත දියවඩන මහතා 2010 වසරේ සිට පකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ සමාගමේ සේවයට එක්ව තිබේ. ඔහු මේ ම්ලේච්ඡ ඝාතනයට මුහුණ දුන්නේ එම සමාගමේ සේවයේ යෙදී සිටියදීය.

එම සිදුවීමට අදාළව සාක්ෂි මෙහෙයවිම සිදු කළ පන්ජාබ් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අනුව සමාගමේ කළමනාකරු වූ ප්‍රියන්ත දියවඩන මහතා මුස්ලිම් ආගමික පාඨ ඇතුළත් පෝස්ටරයක් ඉරා දැමීම හේතුවෙන් සේවකයන් කුපිත වී තිබේ. පසුව ඔහු පහරදී ඝාතනයට ලක් කර සිරුර පුළුස්සා දමා තිබේ. මේ සිදුවීම් බොහොමයක් ඝාතනයට සහය දුන් පුද්ගලයන් විසින්ම තම දුරකතනවලින් වීඩියෝ ගත කර සමාජ ජාලාවලට එක් කර තිබූ බැවින් සැකකරුවන් හඳුනා ගැනීම සහ සාක්ෂි තහවුරු කිරීම පහසු වී තිබේ.

මේ සිදුවීම දායක වූ 800ක පමණ පිරිස අතරින් ෆර්හාන් ඉඩ්රීස් නම් පුද්ගලයකු ප්‍රධාන සැකකරු ලෙස පොලීසිය විසින් නම් කර තිබුණි. පසුව හඳුනා ගැනුනේ මේ පුද්ගලයා සහ තවත් සියයක පමණ පිරිසක් පකිස්තානයේ ක්‍රියාත්මක තෙරීක් - ඉ - ලබ්බයික් නම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් බවයි. මේ සංවිධානය 2021 නොවැම්බර් මාසයේදී පකිස්තානය තුළ ක්‍රියාත්මක වීම අගමැති ඉම්රාන් ඛාන් විසින් තහනමට ලක් කළ සංවිධානයක් විය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව 2022 මාර්තු 12 වැනිදා සිට ත්‍රස්ත මර්දන විශේෂ උසාවිය මඟින් මේ නඩුව විභාගයට ගැණුනු අතර මසක් වැනි කෙටි කාලයකින් එහි තීන්දුවද ලබා දීමට එම උසාවියට හැකියාව ලැබිණි. එහිලා ශ්‍රී ලංකා වාසීන් ලෙස සමස්ත පකිස්තානයට මෙන්ම හිටපු අගමැති ඉම්රාන් ඛාන්ටද ස්තුතිවන්ත විය යුතු වන්නේ මෙතරම් කඩිනම් නඩු තීන්දුවක් ලබා දීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාමාර්ග මෙතරම් කඩිනම් නොවන බවද මෙහිලා සිහිපත් කළ යුතුව තිබේ.

එහෙත් පකිස්තානයේ ආරක්ෂක ඇමතිවරයා මේ සිදුවීමට අදාළව තම අදහස් පළ කරමින් ‘තරුණ පිරිස් හැඟීම්බර වූ විට මෙවැනි ඝාතන සිදුවිය හැකි බවට‘ කළ ප්‍රකාශයද ප්‍රියන්ත කුමාර ඝාතනයට අදාළ සිදුවීම් මාලවේ තවත් එක් සුවිශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ යුතුය.

කෙසේ වුවද මේ නඩු තීන්දුව සමඟ මෙවැනි ඝාතනවලට පෙලඹීමට ‘හැඟීම්බර වන තරුණ පිරිස්‘ දෙවරක් සිතීමට පෙලඹෙනු නොඅනුමාන බව නිසැකය. එමෙන්ම තම ගම්බිම් හැර දමා දුරු රට සේවය කරන තවත් බොහෝ දෙනාගේ සිත්වලට ආරක්ෂාව පිළිබඳ හැගීමක්ද මේ නඩු තීන්දුව සමඟ ඇති වනු නිසැක බවද පැවසිය යුතුමය.

Comments