ඉම්රාන් ඛාන් දැවී යයි | සිළුමිණ

ඉම්රාන් ඛාන් දැවී යයි

යළිත් වරක් පකිස්තාන අගමැතිවරයකුට ස්වකීය ධූර කාලය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අනීතික වන පකිස්තාන අධිකරණය තීන්දු කිරිමත් සමග යළි පාර්ලිමේන්තුව කැඳවීමට අගමැති ඉම්රාන් ඛාන්ට සිදුවූ අතර විශ්වාස භංගය මුහුණ දීමටත්, එමගින් පරාජය ලැබීමටත් ඔහුට සිදු විය.

මේ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉන්දියාවට නිදහස ලබා දීමත් සමඟ ස්ථාපිත කෙරුණු පකිස්තානයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ තවත් අගමැතිවරයකුට ස්වකීය ධූර කාලය අවසන් වන තුරු ධූරයේ රැඳී සිටීමට නොහැකි විය. කනගාටුවට කරුණ වන්නේ නිදහසෙන් පසු පකිස්තානයේ මහජන ඡන්දයෙන් පත්වුණු කිසිඳු අගමැතිවරයකුට ස්වකීය ධූර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීමයි.

අතීතය දෙස හැරී බලන විට පකිස්තාන දේශපාලනය යනු සුමටව ගලා ආ දිය පහරක් නොවේ. එය සුළී, කුණාටු, වක්කලම්වලින් ගහන චණ්ඩ දිය පහරක් වැනිය. 1947 නිදහස ලැබීමෙන් පසු මේ දක්වා පකිස්තානයේ පාලනයක් මහජන මැතිවරණවලින් මෙන්ම හමුදා කුමන්ත්‍රණවලින්ද බිහිවී තිබේ. මහජන මැතිවරණවලින් රාජ්‍ය නායකයන් 18 දෙනෙකු සහ වැඩබලන අගමැතිවරුන් ඇතුළුව අගමැතිවරුන් 22දෙනෙකු බිහිව තිබුණද ඔවුන් කිසිවකුට හෝ ස්වකීය සම්පූර්ණ ධූර කාලය ධූරයේ රැඳී සිටීමට නොහැකි වීම අති විශේෂ ලක්ෂණයකි. සම්පූර්ණ කාලය හෝ වසර පහකට වඩා කාලයක් ධූරයේ රැඳී සිටියා නම් ඒ හමුදා පාලකයන් පමණකි.

සෙසු මහජන ඡන්දයෙන් පත්වීම් ලැබූ අගමැතිවරු එක්කෝ විශ්වාසභංග චෝදනාවන්ට ලක් වූ අතර එක්කෝ ඝාතනයන්ට ලක් වූහ. මේ කිනම් අන්දමකින් සිදු වුව පකිස්තානයේ අගමැතිවරු හෙල්ලෙන දත් මෙන් ටික කලක් පැවතී සිට හැලී ගියහ. ඒ සියල්ලේ පාඩුව පකිස්තාන ජනතාවටම විය. පසුගියදා පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ද ස්වකීය ධූරයෙන් නෙරපා හැරුනේ පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවක් මගිනි.

ඒ අනුව පකිස්තානය තවත් මැතිවරණයක් අබියස සිටින අතර ඉදිරියේදී තවත් අගමැතිවරයකු පත් කර ගැනීමට නියමිතය.

ඉම්රාන් ඛාන්ගේ විශ්වාසභංගයත් සමග පකිස්තානයේ තේරී පත්වන අගමැතිවරුන් මුහුණ දෙන කනගාටුදායක ඉරණම ගැන මඳක් සොයා බැලීම වැදගත් යැයි සිතේ. එයට හේතුව දකුණු ආසියාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් අවභාවිත වන්නේද යන්න විමසා බැලීමය. පකිස්තානයට නිදහස හිමි වන්නේ 1947දීය. පකිස්තානයේ ජාතියේ පියා ලෙස සැලකෙන මොහොමඩ් අලි ජින්නා පකිස්තානය ස්ථාපිත කිරීමෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කර සිටියේ ලික්වාත් අලි ඛාන්ටය. මුස්ලිම් ලීගය පිහිටුවමින් අගමැති ලෙස පකිස්තානය පාලනය කළ අලි ඛාන්ට ධූරයේ සිටිමට හැකි වූයේ වසර හතරකුත් දින 63ක් පමණි. ඔහුව ඝාතනයට ලක් වූ බැවින් පකිස්තානයට නව අගමැතිවරයකු පත් කර ගැනීමට සිදු විය. මෙලෙසින් ආරම්භ වූ අගමැතිවරුන්ගේ සේවා කාලය සම්පූර්ණයෙන් ගත කිරීමට කිසිවකුට හැකි නොවූ අතර ඇතැමුන් ඝාතනය වන විට ඇතැමුන් විශ්වාසභංග මඟින් එළවා දමන ලදී. ඒ අතරින් අගමැතිවරු වැඩි සංඛ්‍යාවක් ගෙදර යන්නේ විශ්වාසභංග පරාජයට පත් වීමෙනි. අගමැති මොහොමඩ් අලි බොග්රා, චෞද්රී මොහොමඩ් අලි, හුසේන් ශහීඩ් සුහ්රාවර්ඩි, ඊබ්‍රාහිම් ඉස්මායිල් චෞඩ්‍රිගර් සහ ඉම්රාන් ඛාන් යන අගමැතිවරු පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා සම්මත වීම මගින් ධූරයෙන් ඉවත් කෙරුණු අතර මේ අගමැතිවරු අතරින් ඇතැමුන්ට ස්වකීය ධූර කාලයෙන් වසරක්වත් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැත.

තවත් අගමැතිවරු කිහිපදෙනෙක්ම ධූරයෙන් ඉවත් වූයේ හමුදා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීම හේතුවෙනි. ශ්‍රීමත් ෆෙරෝස් ඛාන් නූන් සහ නවාස් ශරීෆ් යන අගමැතිවරු ඒ අතරින් ප්‍රධානය. ඔවුන් ස්වකීය ධූර කාල ගත කරමින් සිටින අතර හමුදා කුමන්ත්‍රණ මගින් ධූරයෙන් පහ කෙරුණු අතර හමුදා ප්‍රධානීන් රටේ පාලන බලය එතරන් සිට වසර කිහිපයක්ම හොබවනු ලැබීය. එලෙස පත් වූ නායකයන් අතරින් පර්වේස් මුෂාරාෆ් ඉතා වැදගත් වන්නේ ඔහු දීර්ඝ කාලයක් පකිස්තානය පාලනය කිරීම හේතුවෙනි.

අගමැති සුල්ෆිකාර් අලි භූතෝ මෙන්ම ඔහුගේ දියණිය බෙනාසීර් භූතෝද අගමැති ධූරය හොබවමින් සිටියදී ඝාතනයට ලක් වූවෝ වෙති. අගමැති යුසුෆ් රසා ගිලානි ඇතුළු තවත් අගමැතිවරු කිහිප දෙනෙකුම ජනාධිපති විසින් ව්‍යවස්ථාවට අනුව බලයෙන් පහ කර තිබේ.

2004 අගොස්තු මාසයේ සිට 2007 නොවැම්බර් 15 දක්වා පකිස්තානයේ අගමැති ධූරය හෙබවූ ශවුකත් අසීස් පමණක් ධූර කාලය සම්පූර්ණ කළ එකම අගමැතිවරයා ලෙස ඉතිහාස ගතවී තිබුණද ඔහු ධූරකාලය ලෙස ගත කර තිබුණේ අවුරුදු 3කුත් දින 79ක් පමණි.

දැන් ඉම්රාන් ඛාන්ටද අගමැති ධූරය හැර යෑමට සිදුවී තිබේ. ඔහු අගමැති ලෙස ගත කර තිබුණේ වසර තුනකුත් දින 235ක කාලයක් පමණි. ඔහුගේ විශ්වාසභංගයට ඡන්දය දීම සඳහා ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයට සහය දුන් අතර ජනතා කැමැත්ත කෙසේ වුවද ඉම්රාන් ඛාන්ට ව්‍යවස්ථාදායකයේ කැමැත්ත මත ධූරය හැර යෑමට සිදු විය.

ඔහු පසුගිය සතියේදී දේශපාලන තුරුම්පුවක් ගසමින් නියෝජ්‍ය කථානායකගේ සහය ලබා විශ්වාසභංගය ඡන්ද විමසිමට නොගෙන විසි කර දැමීමට කටයුතු යෙදූ අතර ඒ සමඟින් ඔහු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළේය. එහෙත් පකිස්තාන අධිකරණය තීන්දු කර සිටියේ අගමැතිවරයාට එසේ කිරීමට බලයක් නොමැති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව යළි රැස්වූ අතර විශ්වාසභංගය ඡන්ද විමසීමට ලක් විය. පරාජයට පත්වූ ඉම්රාන් ඛාන් පකිස්තාන ඉතිහාසයට එක් වූයේ ධූර කාලය සම්පූර්ණ නොකළ තවත් අගමැතිවරයකු වශයෙනි.

කෙසේ වුවද ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මහජනතාවගේ ආශිර්වාදයෙන් තමන් යළිත් වතාවක් අගමැති ලෙස පත්වීම් ලබන බවයි. එමෙන්ම දූෂණ චෝදනා ලබා සිටින විපක්ෂයේ සහයට තම පක්ෂයේ අයද එක් වුවද මහජනතාව තමන් සමඟ සිටින බවද ඔහු පවසා ඇත.

 

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙනු ඇති මහමැතිවරණයෙන් යළිත් ඉම්රාන් ඛාන් තරග බිමට පිවිසෙනු ඇති අතර ඔහු පිළිබඳව නිවැරදි වන්නේ මහජනතාවගේ තීරණයද, පකිස්තාන ව්‍යවස්ථාදායකයේ තීරණයද යන්න දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Comments