මගීන් දහස් ගණනක් සමඟ ගොඩබිම ගිය නැව | Page 2 | සිළුමිණ

මගීන් දහස් ගණනක් සමඟ ගොඩබිම ගිය නැව

 

කැරිබියන් මුහුදු සීමාවේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යය පසුගියදා අමුතුම පුවතක් නිල වශයෙන් තහවුරු කර සිටියේය. ඒ තම රටේ සිට ඇමරිකාවට අයත් වර්ජින් දූපත් කරා ගමන් ඇරඹූ නෝර්වීජියන් ස්කේප් නම් දැවැන්ත කෘෘස් වර්ගයේ අධි සුඛෝපභෝගී නෞකාව ගොඩබිම මත යාත්‍රා කර ඇති බවයි. මේ පුදුම සහගත පුවත සනාථ කරමින් ඩොමිනිකන් රිපබ්ලික් හි නාවික හමුදාවේ වයිස් අද්මිරාල් රාමොන් ගුස්ටාවෝ පවසා ඇත්තේ නෞකාව ඩොමිනිකන් රිපබ්ලික්හි පුවෙර්තෝ ප්ලාතා වරායෙන් නික්ම ගමන් අරඹා වෙරළට සමාන්තරව ගමන් කරමින් තිබියදී නෞකාව ගොඩබිම මත වේගයෙන් සැලකිය යුතු දුරක් ගමන් කර ඇති බවයි. ඔහු දක්වා ඇත්තේ මෙසේ වීමට හේතුව එම අවස්ථාවේ අදාළ මුහුදු කලාපයේ පැවති දැඩි සුළඟ බවයි. ඒ අවස්ථාවේ පැයට නොට් 30ක පමණ වේගයෙන් සුළං හමමින් පැවති අතර නෞකාවේ ගමන් දිශාව ද වෙනස් කරමින් ගොඩබිම මතට තල්ලු කිරීමට එම ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහයට හැකිවී තිබේ.

මෙලෙස ගොඩබිම මතුයෙහි ගමන් ගන්නා අවස්ථාව වන විට නෞකාවේ මගීන් 3000ක් ද, කාර්ය මණ්ඩලය 1600ක් ද සිට ඇත. මේ කිසිවකුට සිදුවීමෙන් පීඩාවක් වී නොමැති නමුත් නෞකාව තවමත් ගමන් මාර්ගයට ගැනීමට නොහැකිවී ඇති බව පසුගිය බදාදා දිනයේදී ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොමිනිකන් බලධාරීන් පවසා තිබේ.

නෝර්වීජියන් ස්කේප් නෞකාව මීටර් 326ක් දිග, ටොන් 1,650,000ක් බරැති දැවැන්ත නෞකාවකි. එයට මගීන් 4200ක ධාරිතාවක් රැගෙන යාත්‍රා කළ හැකිය. 2015 වසරේදී ජර්මනියේ නිෂ්පාදිත මේ නෞකාව අයත් වන්නේ ඇමරිකානු නෞකා සමාගමකටය.

කෙසේ වුවද ටග් යාත්‍රා යොදමින් නෞකාව ගොඩබිමෙන් යළි මුහුදට ඇද දැමීමට ඩොමිනිකන් බලධාරීහු උත්සාහ දරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Comments