යුක්රේනයේ ඇවිළී තිබෙන යුද්ධය සමස්ත ලෝකයේ රටරටවල ගැටලු රාශියක් මතු කරමින් තිබේ. එමෙන්ම ලෝකය පළමුවැනි ලෝක යුද්ධ්‍යට සාපේක්ෂව මේ වන විට කෙතරම් වෙළෙඳ සබඳතා මත එකිනෙකා පරායත්ත වී ඇතිද යන්න සඳහා හොඳම ලිට්මස් පරීක්ෂාව බවට ද යුක්රේන යුද්ධය පත්වෙමින් ඇත.
යුක්රේනයට රුසියානු ප්‍රහාර එල්ල වූ වහාම නේටෝ සංවිධානයේ සාමාජික යුරෝපීය රටවල් යුක්රේනයේ සහයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළද එය එසේ නොවූයේ අන කිසිවක් නිසා නොව රුසියාව සහ යුරෝපා රටවල අතර ක්‍රියාත්මක වන නොබිඳිය හැකි වෙළෙඳ සබඳතා හේතුවෙනි. සමස්ත යුරෝපය රුසියාවේ ගෑස් මත යැපෙන අතර රුසියාව තරහා කර ගනිමින් තම සියලු නිෂ්පාදන කොටඋඩ යැවීමට යුරෝපා රටවල් සිතිවිල්ලකින් හෝ කැමැත්තක් නොදැක්වූ බව පැහැදිලිය. ඔවුන් වචනයෙන් පමණක් යුක්රේනයට සහාය දැක්වූ අතර, රුසියාව සමඟ පෙර මෙන්ම වෙළෙඳ සබඳතා පැවැත්වූහ.
දැන් මේ වෙළෙඳ ගැටලුවේ අලුතෙන්ම පැටලී ඇති රට වන්නේ ඉන්දියාවයි.
ඉන්දියාව යනු රුසියාවේ ප්‍රධානතම අවි මිලදී ගන්නෙකි. සෝවියට් සමාජවාදී රුසියාව පැවති යුගයේදී ඉන්දියාවේ පැවති කොංග්‍රස් ආණ්ඩු රුසියාව සමඟ ඉතා දැඩි මිත්‍රත්වයක් පවත්වා ගත් අතර ඉන්දියාව වාමාංශික මාවතේ ද සැලකිය යුතු දුරක් ඇවිද ගියේය. කෙසේ වුවද ඒ හිතවත්කම් මේ දක්වා ද අහෝසි වී නොමැති වන්නේ ඉන්දියාව සහ රුසියාව අතර ක්‍රියාත්මක වන වෙළෙඳ සබඳතා හේතුවෙනි. විශේෂයෙන්ම අවි ආයුධ වෙළෙඳාම සම්බන්ධයෙනි. මීට දශකයකට පමණ ඉහතදී ඉන්දියාව මිලදී ගත් අවිආයුධවලින් සියයට 80ක් පමණ රුසියාවෙන් මිලදී ගත් නමුත් මේ වන විට එම අවි අලෙවිකරුවන් අතරට ප්‍රංශය මෙන්ම ඊශ්‍රායලය ද පැමිණ තිබේ. එසේ වුවද ඉන්දියාව මෙන්ම රුසියාව ද එකිනෙකා සලකන්නේ වෙළෙඳ සබඳතාවලදී නැතිවම බැරි මිතුරන් වශයෙනි. වරක් ඉන්දීය විදේශ සබඳතා පිළිබඳ විශාරදයකු පැවසුවේ ඉන්දියාවට න්‍යෂ්ටික සබ්මැරීනයක් අලෙවි කිරීමට දෙවරක් නොසිතන එකම රට රුසියාව බවයි.
ඒ කෙසේ වුවද මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේදී ඉන්දියාව නිර්පාක්ෂික වීම විමතියට කරුණක් විය. රුසියාවටත් වඩා ඇමරිකාව ඉන්දියාවේ මිතුරකු වන්නේ චීනය සමඟ පවතින එදිරිවාදිකම් හේතුවෙනි. එහෙත් මේ ඡන්ද විමසීමේදී ඉන්දියාව නිර්පාක්ෂික වූ නමුත් රුසියාවට යම් තර්ජනයක් ද එල්ල කිරීමට පසුබට වූයේ නැත. එහෙත් දැන් ඉන්දියාව රුසියාව සමඟ යළිත් හිත් නොහොඳ වීමට හේතුවක් මතුවී තිබේ. ඒ තමන් චීනයෙන් අවි මිලදී ගැනීමට සූදානම් බව පසුගියදා රුසියාව කළ ප්‍රකාශයත් සමඟිනි. රුසියාවට ප්‍රබල චීනය තම පිලට ඈදා ගැනීමට ලොකු වුවමනාවක් පවතින අතර, චීනය තමන්ගේ ප්‍රබලතම එදිරිවාදියා ලෙස ඉන්දියාව සලකයි. රුසියාව චීනය සමඟ අත්වැල් බැඳ ගැනීමට ඉන්දියාව සලකන්නේ තම මිතුරා තම සතුරා සමඟ එක්වීමක් වශයෙනි. කෙසේ වුවද ඉන්දියාව මේ සම්බන්ධව මුනිවත රකිමින් සිටින බවක් පෙනේ.
මේ සියලු කරුණු අපට සිහිපත් කරන්නේ දෙවැනි ලෝක යුද සමයේදී මෙන් නොව ලෝකය අද වන විට වෙළෙඳ සබඳතා මත එක්නෙකා දැඩි සේ පරායත්ත වී ඇති බවයි. එමෙන්ම යුද්ධය හෝ සාමය තීරණය කරන්නේ සාධාරණත්වය හෝ බලය නොව වෙළෙඳ සබඳතා ද වන බවයි.