ඉන්දියාව පසුගිය ජනවාරි 26වැනිදා ස්වකීය 73 වැනි ජනරජ දිනය සැමරීය. ඒ අනුව ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරට තුළ ක්‍රියාත්මකවීම ඇරඹී වසර 73කි. එමෙන්ම ඉන්දියාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබී ලබන අගෝස්තු 15වැනි දිනට වසර 75ක් සපිරේ. ඉන්දීය නිදහස් සටන යනු ලෝක ඉතිහාසයේ විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු කාල පරිච්ඡේදයකි. එයට හේතුව එකී නිදහස් සටන එතරම්ම උද්‍යෝගී මෙන්ම සටන්කාමී වූ බැවිනි.
ඉන්දියාව යනු කුඩා ලෝකයකි. එහි නැති දෙයක් නැත. වනාන්තර මෙන්ම කාන්තාරද, හිමද, අති විශාල ගංගාද ඉන්දියාවේ තිබෙන්නේය. ගුවන් යානාවේ සිට අල්පෙනෙත්ත දක්වාද එහි නිපදවන්නේය. භාෂා 447කින් එකිනෙකා අමතාගන්නා මිනිස්සු මිලියන දහස ඉක්මවා එරටේ වෙසෙන්නෝය. එබැවින්ම ඉන්දියාව යනු කුඩා ලෝකයක් යැයි කිව හැකිය. එමෙන්ම ඉන්දියාව ලෝකයේ කෑපී පෙනෙන රටක් බවට පත්වීමට තවත් එක් හේතුවක් පවතින්නේය. ඒ හේතුව නම් එරටේ මිනිස්සුය. ඔවුන්ගේ ජිවන රටාව ඔවුන්ටම ආවේණිකය. ඉන්දියානුවන් බොහෝ හැඟීම්බර මිනිසුන්ය. බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් බුද්ධියට වඩා හැඟීමට මුල්තැන දෙන බව පෙනේ. මේ හැඟීම්බර මිනිසුන්ට බුද්ධිමත් නායකයන් හමුවූ තැන් සිට අද පවතින ඉන්දියාව බිහිවීම ඇරඹුණු බව පැවසිය හැකිය. ඒ එකී හැඟීම්බර මිනිසුන් බුද්ධිමත්ව මෙහෙයවූ විට ලැබුණාවූ ප්‍රතිඵලය බොහෝ යහපත් වූ බැවිනි. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්විය හැකි වන්නේ ඉන්දියානු නිදහස් සටනය.
ඉන්දියානු නිදහස් සටන යනු මේ පෘථිවි ගෝලය තුළ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දියත් වූ සියලුම සටන් අතරින් වඩාත්ම සංවිධානාත්මක, මෙන්ම වඩාත් තියුණුම සටන් කිහිපය අතරින් එකකි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව යටත් කර ගත් පසු ඔවුන්ට හිමි වූයේ සිතා ගැනීමට හෝ නොහැකි ධනස්කන්ධයකි. පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම පිහිටුවා ගනිමින් ආසියාවේ සියලු සේසත ඔවුහු තම නැව් මඟින් යුරෝපාකරයට ඇදීමට පටන් ගත්හ. එහෙත් ඉඩ ලැබුණු පළමුවැනි අවස්ථාවේ සිට මේ සූරා කෑමට විරුද්ධ විමට ඉන්දියානුවෝ කටයුතු කළහ. ඉන්දියානු නිදහස් සටන වසර 90ක් තරම් දීර්ඝකාලීන ඉතිහාසයකට හිමිකම් කියන්නේ ඒ හේතුවෙනි.
ඉන්දීය නිදහස් සටන ගැන විමසීමේදී පෙනී යන්නේ එහි ප්‍රථම වෙඩිමුරය දැල්වෙන්නේ 1857 තරම් ඈතකදී බවයි. එතෙක් කලක් තමන් පීඩනයට පත් කරමින්, තම ශ්‍රමය සූරා කමින් තම රටද අගාධයට ඇද දමමින් සිටින බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව අවි අතට ගැනීමට ඉන්දීය ජාතිකයන් 1857දී කටයුතු කළහ. එම ගැටුමේ අවසන් ප්‍රතිඵලය ලෙස සිවිල් වැසියන්ද ඇතුළුව පුද්ගලයන් ලක්ෂ අටක් මිය යෑම දැක්විය හැකි වුවද එහි දීර්ඝ කාලීන අතුරු ප්‍රතිඵල රැසක්ද විය. ඉන්දියාව යනු මේච්චල් කිරීමට අපහසු රටක් ලෙස හඳුනාගත් බ්‍රිතාන්‍ය පාලකයෝ ඉන්දියාවේ පාලන බලය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමෙන් මුදවා තමන් අතට පත් කර ගත්තේද මේ ගැටුමෙන් පසුවය.
එයට එකට එක කිරීමක් වශයෙන් මෙන්ම ඇවිළී ගිනි දැල් ජයග්‍රහණයෙන් මිස නිවා දැමිය යුතු නොවන බව තරයේ විශ්වාස කළ ඉන්දීය ජාතිකයෝ ආරම්භ කළ අධිරාජ්‍ය විරෝධී සටන ඉදිරියට පවත්වා ගැනීමට කටයුතු කළහ. එමෙන්ම මේ සටනේ අතුරු ප්‍රතිඵල ලෙස අධිරාජ්‍ය විරෝධී සටන වඩාත් සංවිධානාත්මක ලෙස වර්ධනය කර ගැනීමට මීළඟ පරම්පරාවන් කටයුතු කළහ. මෙලෙස සංවිධානය වීම පසුකාලීනව විමුක්ති ව්‍යාපාර දක්වා ද, එයිනුත් පසුව දේශපාලන පක්ෂ දක්වාද වර්ධනය විය. ඒ සඳහා උදාහරණ ලෙස 1867දී දාදාබායි නාඔරාජි පෙරදිග ඉන්දියා සංවිධානය පිහිටුවීමද, 1876දී සුරෙන්ද්‍රනාත් බැනර්ජි විසින් ඉන්දිය ජාතික සංවිධානය පිහිටුවීමද දැක්විය හැකිය. මෙලෙස මිනිසුන්ගේ සංවිධානය වීමක අවශ්‍යතාව තදින් දැනියදී, එවන් සංවිධාන වටා නිදහස අගය කළ මිනිසුන් බොහෝ සෙයින් ඒකරාශී වෙද්දී 1885 වසරේදී ඉන්දීය ජාතික කොංග්‍රසය බිහිවන්නේ ඉන්දියානුවන් බහුතරයකගේ සිත් තුළ පැවති දැවෙන හැඩැසක් පුරවමිනි. ස්ථාපිත කළ සැණින් ඉන්දීය ජාතික කොංග්‍රසය වටා බොහෝ ජනතාව ඒකරාශී වන්නට වූ අතර පසුකාලීනව මෙය දේශපාලන පක්ෂයක් දක්වා වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ප්‍රබලතම විරෝධය එල්ල කිරීමට සමත් වූ සංවිධානයද වශයෙනි.
මෙයට සමකාලීනව බල් ගංගාධර් තිලක් වැනි රැඩිකල් විප්ලවවාදීන්ද නිදහස් සටනට එක්වූයේ වඩාත් විප්ලවීය මත දරමිනි. ස්වරාජ්‍යය පිළිබඳ මතය ජනතාව අතරට ප්‍රථමයෙන්ම ගෙන ගිය පිරිස වහයෙන් මෙවැනි රැඩිකල් විප්ලවවාදීන් දැක්විය හැකිය.
1905දී බෙංගාලය වෙන් කිරීමට ලබා දුන් නියෝගයත් සමඟ ඉන්දීය ජාතිකවාදය ඉතා වේගයෙන් හිස ඔසවන්නට වූ අතර ඒ සමඟම ජාතිකවාදී ව්‍යාපාරය වර්ධනය වන්නට විය. එය ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය නිෂ්පාදන වර්ජනය කිරීම, බ්‍රිතාන්‍ය පුවත්පත් ප්‍රතික්ෂේප කිරීම යනාදී වශයෙන් ආරම්භ වී බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පාලනය වීම ප්‍රතික්ෂේප කිරිමක් දක්වා වර්ධනය විය. මෙයට සමකාලීනව ඉන්දිය මුස්ලිම් ලීගයේ වර්ධනයද සිදුවන්නට වූ අතර ඒ සඳහා නායකත්වය ලබා දිමට සයිද් අහ්මඩ් ඛාන් කටයුතු කළේය.
මේ සියල්ල අතරට පළමුවැනි ලෝකය යුද්ධය කඩා වදින්නේ ඉන්දියාවට කිසිඳු ඉස්පාසුවක් ලබා නොදෙමිනි. එහිදී වඩාත් අසීරුවට පත් වන්නේ ඉන්දියානුවන් නොව බ්‍රිතාන්‍ය ජාතිකයන් වීම ඉන්දීය නිදහස් සටනට වඩාත් ජවය සපයන්නක් විය. යුරෝපයේ යුද ගිනි ඇවිළ යද්දී ඉන්දීය නිදහස් සටන වඩාත් ශක්තිමත් වන්නට වූ අතර දෙපස දැල්වෙන විලක්කුවක් මෙන් යුද්ධයට මුහුණ දීමට මෙන්ම නිදහස උදෙසා සටන් කරන යටත්විජිත පවත්වා ගැනිමට ද බ්‍රිතාන්‍යයට සිදු විය.
මේ අතර නව සියවසේ උදාවත් සමඟ ඉන්දීය ජාතික ව්‍යාපාරය බිහි වූ අතර, එය එතෙක් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ශක්තිමත් කළ සංවිධාන අතරින් වඩාත් සංවිධානාත්මක මෙන්ම ශක්තිමත්ම සංවිධානයද, ව්‍යාපාරයද විය. මේ ව්‍යාපාරය වටා වැඩිවැඩියෙන් ඉන්දියානුවන් ඒකරාශී වූ අතර ඔවුන් සැබවින්ම නැවැත්විය නොහැකි බලවේගයක් වූහ. ලෝක යුද්ධ උණුසුම දැනීමත් සමඟ බ්‍රිතාන්‍ය ඉන්දියානුවන්ට පොරොන්දු ලබා දුන්නේ යුද උණුසුම පහවීමත් සමඟ වඩා ලිහිල් පාලන ක්‍රමවේද ලබා දෙන බව පවසමිනි. මේ යුගය වන විට නිදහස් සටනේ ඇතැම් පිරිස් වඩා ලිහිල් බ්‍රිතාන්‍ය පාලනයක් අපේක්ෂා කරමින් සිටි අතර තවත් පිරිසක් වඩාත් රැඩිකල්ව පූර්ණ නිදහස සහ ස්වයං පාලනය ඉල්ලා සිටියහ. මේ දෙපිරිස අතර දෝලනය වෙමින් පැවති මතවාදීමය ගැටුම තුලනය කිරීමට පැමිණියේ අසාමාන්‍ය මිනිසෙකි. ඔහු මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිය.
ගාන්ධි යනු මුල සිටම වෙනස් අදහස් දැරුවෙක් විය. දකුණු අප්‍රිකාවේ බැරිස්ටර්වරයකු ලෙස සේවය කළ කායලේ සිටම ඔහු අවිහිංසාව ප්‍රිය කළ අතර අවිහිංසාවාදීව සටන් කළ යුතු බව විශ්වාස කළේය. ඒ අනුව ක්‍රියා කළේය. ඉන්දීය නිදහස් සටනයට ප්‍රවිෂ්ට වෙමින් ඔහු ඉන්දියාව තුළ සාර්ථකව දියත් කරන්නේ එකී අවිහිංසාවේ විරෝධතාවය. 1917දී ඔහු පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරයෙන් ආරම්භ වී එතැන් සිට වසර කිහිපයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නවතම සටන්ක්‍රම ඉන්දීය ජනතාවට හඳුන්වා දෙමිනි. ඉන්දීයාව තුළ බ්‍රිතාන්‍ය පනවා ඇති නීතිවලට අනුගත නොවීම, කඩසාප්පු වසා දැමීමෙන් විරෝධය දැක්වීම සහ උපවාස කිරීම ගාන්ධි විසින් ඉන්දියාවටත්, එමඟින් සමස්ත ලෝකයටත් හඳුන්වා දුන් එම නවතම සටන් ක්‍රම විය. එහෙත් ගාන්ධිගේ අවිහිංසාවාදයත් සමඟම ඇතැම් ඉන්දීය නිදහස් සටනේ නායකයන් අවි අත දරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සංවිධානය වූ බවද අමතක කළ යුතු නොවේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ ඉන්දියාවේ සංකීර්ණත්වයයි. සෑම ජාතියකම මිනිසුන් ඉන්දියාව සතු විය. ඒ සෑම ජාතිකයම මිනිසුන් විවිධ ක්‍රම ඔස්සේ බ්‍රිතාන්‍ය පාලකයන්ට එල්ල කළ විරෝධතාව ඔවුන්ට දරා ගැනීමට අපහසු තරම් විය.
සුභාෂ් චන්ද්‍ර බෝස් වැනි පුද්ගලයන් මෙහිදී ගත් මාර්ගය ඉතා පැටලිලි සහගත විය. ඔවුන් දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්වයට විරුද්ධව යමින් අනාගත ඉන්දියාවේ නිදහස අපේක්ෂා කරමින් සටන් මෙහෙයවූ බවට සාක්ෂි වේ. ඒ කෙසේ කිනම් අන්දමකින් වුවද මේ සියලුම දෙනා බලාපොරොත්තු වූ එක් දෙයක් විය. එය නම් ඉන්දියාවට නිදහස ලබා ගැනීමයි.
මේ අන්දමින් දසතින් එල්ල වූ පීඩනයෙන් මිදිය නොහැකි තැන තමන් සතු වූ මිහිබට සුරපුර අත්හැර යෑමට හිත හදා ගැනීමට බ්‍රිතාන්‍යයට සිදු විය. එහෙත් එසේ අත්හැරිමට පෙර ඉන්දියා භූමිය කොටස් තුනකට බෙදා වෙන් කිරීමට බ්‍රිතාන්‍යයට හැකි වූයේ මහා භාරතයම ලේ ගංගාවක් බවට පත් කරමිනි. එපමණක්ද නොව එකී බෙදිම මත තවත් දශක ගණනාවක් දිග ඇදුණු දෙරටක යුද්ධයක් සමඟ තවත් ජීවිත ගණනාවක් අහිමි වුයේ භාරත මාතාවට සැනසීමක් ලබා නොදෙමිනි. එක් කලෙක එකම මවු රටක වාසය කළ මිනිසුන් තම ආගම අනුව බෙදා වෙන් කිරීමේ ප්‍රතිඵලය එසේ විය. ඒ අතරම මහත්මා ගාන්ධිගේ ඝාතනයද ඉන්දීය නිදහස් සටනට ජයග්‍රහණය සමඟ කඳුළද එකවිට රැගෙන ආවේය.
නිදහස ලැබීමත් සමඟ ඉන්දීය ජාතික කොංග්‍රසය රටේ පාලන බලය ලබා ගත්තේ ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය ජවහල්ලාල් නේරුට ලබා දෙමිනි.
එදා මුළු ලොව හෙල්ලූ ඒ අභීත නිදහස් සටන දැන් අවුරුදු හැත්තෑ පහක් වියපත්ය. ලබන අගෝස්තු 15 වැනි දිනයට ඉන්දියාවට නිදහස ලැබී වසර හැත්තෑ පහක් සම්පූර්ණ වන්නේය. ඉන්දියාව ජනරජයක් බවට පත් කරමින් එරට ව්‍යවස්ථාව ස්ථාපිත කර වසර හැත්තෑ තුනක් සම්පූර්ණ වූයේ පසුගිය ජනවාරි 26 වැනිදාටය.
දකුණු ආසියා කලාපය ස්ථාපිත කරමින් පකිස්තානය සහ බංග්ලාදේශය බිහි වූයේද ඉන්දීය නිදහස් සටනේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ නිදහස් සටන වෙනුවෙන් ඇපකැප වූ බොහෝ දෙනාට ඉන්දීය නිදහස් සටන ශක්තියක්ම විය. එනයින් බලන විට ඉන්දීය නිදහස් සටන යනු දකුණු ආසියාවටම අති විශාල බලපෑමක් කළ සිදුවීම් මාලාවකි. වසර අනූවක් පුරා එයට දායක වූ, තම රුහිරු හෙළු ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සැබවින්ම වීරයන්ය.