යුක්රේන අර්බුදය ලෝක යුද්ධයක් වෙයිද? | Page 2 | සිළුමිණ

යුක්රේන අර්බුදය ලෝක යුද්ධයක් වෙයිද?

යුක්රේන අර්බුදය ලෝක යුද්ධයක් වනු ඇති බවට අනාවැකි පළ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. මේ වන විට එම ප්‍රකාශය සත්‍යයක් වෙමින් පවතින බව පෙනේ. මේ ඇති වී තිබෙන්නේ යුක්රේන නායකයා කිසිසේත් බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවන බව කිය යුතුය.

කෙසේ වුවද ප්‍රබල රුසියානු නායකයා කිසිසේත් තැබූ පය පස්සට ගැනීමට කටයුතු නොකරන බව නම් පැහැදිලිය. මේ ගෙවී යන මොහොත වන විට තවත් රටවල් කිහිපයක්ම අර්බුදයට ඈදෙමින් පවතින්නේ ලෝක යුද්ධයක් සඳහා අවශ්‍ය වන සියලු කටයුතු සම්පූර්ණ කරමිනි. ඒ සඳහා තවත් ඇති එකම අඩුව වන්නේ ඇමෙරිකානු හමුදා යුක්රේන භූමියට ගොඩබැසීමය. මේ වන විට ලැබෙන තොරතුරුවලට අනුව 8,500ක ඇමෙරිකානු හමුදා සීරුවෙන් තබා ඇත්තේ යුක්රේනයට පිටත් කර හැරීම වෙනුවෙනි. එසේ වුවහොත් ලෝක යුද්ධයක් සඳහා අවශ්‍ය සියලුම පසුබිම සැකසෙනු ඇත.

යුක්රේන අර්බුදය ලෝක යුද්ධයක් දක්වා මේ මොහොතේ පැතිරෙමින් පැවතියද එහි අක් මුල් 2014 වසර දක්වා අතීකයට පැතිරී තිබේ. යුක්රේනය ද ගෑස් සම්පත බහුල රටකි. සෝවියට් රුසියාව බිඳ වැටුණු අවස්ථාවේදී බෙදී වෙන්ව ස්වාධීන දේශයක් බවට පත් වූ යුක්රේනය සමාජවාදී රුසියාව සතු වූ ස්වභාවික සම්පත්වලින් පොහොසත්ම භූමි භාගයකි. පුටින් පාලනය යටතේ පැරණී සමාජවාදී සමූහාණ්ඩුව සමඟ එක්ව සිටි රටවලට රුසියාවෙන් වක්‍රාකාර බලපෑම් එල්ල වන බව ලොවම දන්නා කරුණකි. කලාපීය බලවතා ලෙස රුසියාව මේ සියලුම රටවල පාලනයට වක්‍රාකරයෙන් බලපෑම් කරමින් සිටී. පුටින් පාලනයට හිතවාදී පාලකයන් දශක ගණන් ඇතැම් රටවල් පාලනය කරමින් සිටින අතර ජනතා උද්ඝෝෂණ එල්ල වූවද ඒවා වහා පාලනය කෙරෙන්නේ රුසියානු හමුදාවල සහාය ලබමිනි. 

යුක්රේනය නිසි කලට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වු රටකි. 1991 වසරේදී රුසියානු සමූහාණ්ඩුවෙන් වෙන් වූ අවස්ථාවේ සිට මේ දක්වා ජනාධිපතිවරු හය දෙනෙක් යුක්රේනය පාලනය කර තිබේ. මේ වන විට එරට පාලනය කරමින් සිටින්නේ 2019දී පැවැත්වූ මැතිවරණයෙන් සියයට 73කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බලයට පැමිණි ව්ලොදිමීර් සොලෙන්ස්කිය.

බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට මෙන්ම යුක්රේන ජනතාවට ද තමන් ඡන්දයෙන් පත් කර ගන්නා පාලකයන් පිළිබඳව අප්‍රසාදය ක්‍රමිකව වර්ධනය වූ බව පෙනෙන්නේ ඔවුන් සොලෙන්ස්කි තෝරා ගැනීමත් සමඟය.

වොලොදිමීර් සොලෙන්ස්කි හතළිස් තුන් හැවිරිදිය. ඔහු 2019දී එරට මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ජනප්‍රිය නළුවෙකි. ජනතාව කිසිදු දේශපාලනමය පරිණත බවක් හෝ අවම තරමින් පළපුරුද්දක් හෝ නොමැති මේ නළුවාට අති බහුතර කැමැත්ත ප්‍රකාශ කර සිටියේ පෙර එක්කෝ ඔහුගේ ජනප්‍රියත්වයට විය හැකිය. නැතහොත් පෙර ඔවුන් කැමැත්ත පළ කළ දේශපාලනඥයන් කෙරෙහි අන්තයටම කලකිරුණු නිසා විය හැකිය.

කෙසේ වුවද දැන් යුක්රේනය මුහුණ දෙමින් සිටින්නේ දේශපාලනය නුහුරු සොලෙන්ස්කිට පමණක් නොව අතිශය දේශපාලන පරිණත බවකින් යුක්ත වු පාලකයකුට වුවද හසුරුවා ගැනීමට අපහසු තරමේ වාතාවරණයකටය.

මේ වන විට යුක්රේන කැරලිකරුවන්ට රුසියානු හමුදාවේ ආධාර ලැබෙමින් පවතින අතර යුක්රේන රජයේ හමුදා සඳහා නේටෝ හමුදා ආධාර ලබා දී තිබේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවට යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් චෝදනා එල්ල වන අතර රුසියාව චෝදනා කරන්නේ ඇමෙරිකාව යුක්රේනයට හමුදා එවමින් තත්ත්වය බැරූරුම් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අන්දමට මේ වන විට ලක්ෂයකට වැඩි රුසියානු හමුදා සාමාජිකයන් යුක්රේන දේශසීමාවේ සූදානමින් පසුවේ. ඇමෙරිකාව පසුගියදා යුක්‍රේනයේ සිටින ඇමෙරිකානුවන්ට දන්වා සිටියේ ඕනෑම මොහොතක රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කළ හැකි බැවින් වහාම එරටින් පිටවන ලෙසයි. රුසියාව චෝදනා කරමින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයේදී පරාජය ලද ඇමෙරිකාව ඒ වෙනුවට යුක්රේනය තුළ ගිනි අවුළුවන බවයි.

මේ කෙසේ වුවද යුක්රේනය තුළ යුද්ධයක් ඇති වීමේ ඔන්න මෙන්න අවස්ථාවක් උද්ගත වී තිබෙන අතර එරට සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බව ද වාර්තා වේ. රුසියානු හමුදා ප්‍රහාර වැළැක්වීමට එරට රජය යුක්රේන සාමාන්‍ය ජනතාව යොදා ගනිමින් සිටින බවට ද මාධ්‍ය වාර්තා දැක ගත හැකි වූ අතර එහිදී යුක්රේන - රුසියා දේශ සීමාවට යුක්රේන සාමාන්‍ය ජනතාව යැවීමට යුක්‍රේන රජය කටයුතු කර තිබේ. එවිට රුසියානු හමුදා ප්‍රහාර එල්ල වුවහොත් එය හමුදා ගැටුමක් නොව සාමාන්‍ය ජනතාවට එල්ල කළ හමුදා ප්‍රහාරයක් වන බැවිනි.

කෙසේ වුවද යුක්රේන බෙදුම්වාදීන්ට සහය දක්වන රුසියා හමුදා මේ ලියන මොහොත දක්වා යුක්රේන දේශසීමාව ඉක්මවා ගමන් කළ බවට තොරතුරු නොවීය.

පසුගිය සඳුදා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දීර්ඝ වේලාවක් යුරෝපා රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ දුරකතන සංවාදයක නිරත වෙමින් යුක්රේනය සම්බන්ධව ඉදිරියේදී ගත යුතු තීරණ සම්බන්ධව සාකච්ඡා කර තිබේ. නැඟෙනහිර යුරෝපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යුද ගුවන් යානා සහ නෞකා එම ප්‍රදේශයට යැවීමට නේටෝ සංවිධානය කැමැත්ත පළ කර තිබේ. රුසියාව පවසන්නේ බටහිර රටවල මේ අතපෙවීම් තත්ත්වය වඩාත් උග්‍ර කරවන බවයි.

සැබවින්ම මේ තත්ත්වය සමාන කළ හැකි වන්නේ දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමට පෙර ඔස්ට්‍රියා භූමියේ උද්ගත වූ තත්ත්වයටය. මේ වන විට රුසියාව මෙන්ම බටහිර ලෝකය ද යුක්රේන භූමියේ දෙපැත්තට වී එකිනෙකාට අවි අමෝරා ගනිමින් සිටිති. යම් හෙයකින් දෙපිරිසෙන් එක් පිරිසක් හෝ ප්‍රථමව පියවරක් ඉදිරියට තැබීමට කටයුතු කරන්නේ නම් නිවිය නොහැකි යුද්ධයක් ඇවිළී යනු ඇති බවට කිසිදු සැකයක් නැත.

කනගාටුවට කරුණ වන්නේ මේ දෙපාර්ශ්වය දෙපැත්තකට කරමින් යුක්රේන අභ්‍යන්තර ගැටලු නිවා ගැනීමට එරටටම ඉඩ සැලසිය යුතු බවට බලපෑම් කිරීමට තරම් ප්‍රබල තෙවැනි පාර්ශ්වයක් නොමැති වීමය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වුවද එබඳු බලපෑමක් කිරිමට තරම් ශක්තියක් මේ වන විට පවතින බවක් නොපෙනේ.

Comments