වර්ජන, ගර්ජන හා දරුවෝ | Page 3 | සිළුමිණ

වර්ජන, ගර්ජන හා දරුවෝ

ප ගෙවමින් සිටින්නේ එකිනෙකා සිනා වෙනවා ද ඔරවනවා ද කියා නොදන්නා මුව ආවරණයෙන් වැසුණු වුවනතක් දරා ගනිමිනි. මාස 16ක් පුරා අපි මේ තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නෙමු. දරුවන් ට පාසල් භූමිය අමතකව ගොස් ඇත. කෙළිදෙලෙන් කවටකමෙන් ගත කළ පාසල් සමය වෙනුවට උදේ සිට දැන් දරුවෝ ඉන්නේ පරිගණකය හෝ ජංගම දුරකථනය දෙස බලා ගෙන ය. මානව සම්බන්ධතා යන්න තිරයකට පමණක් සීමා වී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බෙහෙවින් කතා වෙන යුගයක වර්ජනයක් සිදු වීම ගැන නම් දෙවරක් සිතන්නට වන්නේ ය. ලොව පුරා රැකියා වියුක්තිය හා වේතන අඩුවීම් ගැන නැඟෙන මැසිවිලි ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයන්ට එතරම් බලපෑවේ නැත. රජය එසේ වීමට ඉඩ තැබුවේ නැත. දරුවන් සේම ගුරුවරුනුත් මුළු දවස පුරා පරිගණකය ඉදිරියේ වාඩිවී කරන මේ මෙහෙය ගැන අපි කිසිසේත් අවතක්සේරු නොකරන්නෙමු. එහෙත් මේ වැනි වයිරසයක් මුළු ලොවක් දණ ගැස් වූ මොහොතක නම් වර්ජනයකට පිළිපන් වීම සවිඥානික ජනතාවට අනුමත කළ නොහැකිය.

පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වට රවුම අසල කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කළ ගුරු වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය නායකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන යෑමට එරෙහි ව ගුරුවරු වෘත්තීය ක්‍රියාකාරීත්වයකට පිළිපන් වීම කෙතරම් සදාචාරාත්මක ද යන්න දෙවරක් සිතිය යුතු වන්නේ මෙවන් පසුබිමක ය. ඒ අනුව ජූලි 12 වැනිදා සඳුදා ලංකාව පුරා ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වූහ. මේ ලියන මොහොත වනවිට එය නැවැත්වූවා යැයි කියා ඇතත් නිල නොවන මට්ටමින් තාක්ෂණික බාධා ඊට එල්ල වෙමින් පවතී. දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ බාධාව තවමත් පහ ව ගොස් නැත.

ගුරුවරුන් තම ඉල්ලීම් දිනා ගැනීමට දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට තැබීම සාධාරණ නොවන බව බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයයි. ගුරුවරුන්ට ආණ්ඩුව හෝ පොලිසිය සමඟ ඇති ගැටලුවලට දරුවන් වගකිව යුතු නැත.

සෞඛ්‍යමය වශයෙන් හා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණයක් ගෙවන මේ කාලයේ ඇතැම් වෘත්තීය සංගම් බලන්නේ තම අයිතිවාසිකම් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ නෙළා ගැනීමට ය. ඔවුන්ට අවශ්‍ය හුළං පිඹින්නේ විපක්ෂ දේශපාලනයයි. එය ඉතා පැහැදිලිව විද්‍යමාන වන දෙයකි. මේ දේශපාලන බලවේග මේ වේලාවේ තමන් අතින් පාලනය වන වෘත්තීය සමිති උසිගන්වන්නේ රජය හැකි තාක් අපකීර්තියට අසීරුතාවට පත් කරමින්, කලකිරවමින් එහි වාසිය ඔවුන්ට හිමි කරගැනීමට ය. පසුගිය කාලයේ එවැනි වෘත්තීය සටන් කිහිපයක්ම එක දිගට පෙළගැසිණි. කල දුටු කලට වහ ඉහගන්නා සංස්කෘතියෙන් ගුරුවරුන් ද ප්‍රයෝජන ගන්නට තනන්නේ නම් ගුරුවරුන්ට දෙවියන් සේ සලකන රටක තත්ත්වය කනගාටුදායක ය.

‍ලෝකයේ දියුණු රටවල ඉහළ ම වැටුප් ලබන වෘත්තිකයෝ ගුරුවරු වෙති. එනිසාම වත්මන් ආණ්ඩුව; ගෙවී ගිය කාලය ඇතුළත ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි. ඉන් පළමුවැන්න වන්නේ ගුරු වෘත්තියට උපාධිධාරීන් පමණක් බඳවා ගැනීමයි. දෙවැන්න වන්නේ සමාජයේ අභිමානවත් ලෙස ජීවත්වීමට අවැසි ඉහළ වැටුපක් ලබා දීමයි. මේ යෝජනා දෙක ම ගුරු භූමිකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබ පෙර නිමිති ය. මෙවැනි ගෞරවනීය පසුබිමක් ගුරුවරයා වෙනුවෙන් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික සැලැස්මක් වත්මන් ආණ්ඩුව විසින් සකස්කර තිබියදීත් මේවැනි දේ කිරීම ගැන සාධාරණ කනගාටුවක් ඇති වේ.

වෘත්තීය අරගල ලොව කිසිදු රටකට ආගන්තුක නොවේ. ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස එය ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ව්‍යාපාරයට ඇත්තේ දිගු ඉතිහාසයකි. වාමවාදී දේශපාලනික ව්‍යාපාර තුළ පෝෂණය වූ මේ වෘත්තීය සමිති සහ ඔවුන් විසින් මෙහෙයවන ලද වෘත්තීය සටන් තුළ යම් යම් ගුණාංග තිබිණි. මේ වෘත්තීය සමිති නායකයෝ එය විද්‍යාවක් ලෙස හැදෑරූහ; යම් විද්‍යාත්මක පසුබිමක සිට සමාජීය ප්‍රශ්න කෙරෙහි සංවේදිතාවක් ඇතිව සටන්වල නියැළුණහ. එහෙත් මේ වන විට මේ වෘත්තීය සමිතිවල ගෞරවනීයභාවය වර්තමාන වෘත්තීය සමිති නායකයන් විසින් විනාශ කර දමනු ලැබ ඇත. අද වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් මෙහෙය වන දේශපාලන අතකොලු පිනවමින් ඔවුන්ට අවැසි බලය ලබා දෙමින්, තමන්ගේ වෘත්තීය ජීවිතයේ විවිධ හිණිමං තරණය කිරීම ය.

වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සාකච්ඡාව පවත්වන්නේ ද ගුරුවරු පිරිසකි. 1891 දී මිනුවන්ගොඩ ප්‍රදේශ‍යේ පැවැත්වූ ඒ සාකච්ඡාවට අනුව 1891 ජනවාරි 18 වැනිදා ‘ගුරු සංගමය’ නමින් සංවිධානයක් ඇරඹිණි. 1892 ජනවාරි 22 වැනිදා ඒ ගුරු සංගමයේ ප්‍රථම මහ සභා රැස්වීම පැවැත්වුණු අතර එය ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය ලෙස සැලකේ. ප්‍රථම වෘත්තීය සමිතිය මෙය වුව ද මීට පෙර විවිධ වෘත්තීය අරගලවල සේවකයන් නිරත වූ අවස්ථා තිබේ‍. පෞද්ගලික පාසල් ගුරුවරුන් කිහිපදෙනකු 1860 දී වර්ජනයක නිරතවූ අතර නැගෙනහිර පළාතේ වාරිමාර්ග කම්කරුවෝ පිරිසක් ද 1860 දී වර්ජනයක නිරත වී තිබේ. මේවා ක්ෂණික අරගල හා නැඟී සිටීම් පමණි. පාලකයන්ට දැනෙන අන්දමේ හා බලපෑමක් ඇති කළ හැකි අන්දමේ වර්ජනයක් කේවි සමාගම විසින් සංවිධානය කර තිබේ. 1906 දී ගැල් කරුවන් විසින් කොළඹදී පවත්වන ලද වර්ජනයෙන් ද සැලකිය යුතු බලපෑමක් විය. ඉන්පසු විවිධ වෘත්තීන්හි නිරත කම්කරුවන් වෘත්තීය සමිති පිහිටුවා ගත් අතර 1922 දී එයට ඊ.ඒ. ගුණසිංහගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු සංගමය මඟින් නායකත්වය දීම ආරම්භ විය.

ඒ අනුව වෘත්තීය සමිති ඉතිහාසයේ පෙරමුණේ ම සිටින්නේ ගුරු වෘත්තිකයන්ය. ලංකා ගුරු සංගමයේ නායකත්වයෙන් ගුරු සම්මේලනයේ ද සහාය ඇතිව 1975 දී රුපියල් 355 ක නව ගුරු වැටුප් සටන ඇතුළු ගුරු ඉල්ලීම් රැසක් දිනා ගැනීමට ද ගුරුවරුන් සමත් වෙන්නේ මේ අනුව ය. 70 දශකයේදී පාලකයන්ගේ උදහසට හා අක්‍රමිකතාවලට යට වී සිටි ගුරු පරපුර ඉන් මුදාගෙන ගුරු අයිතීන් රැකදීමේ ක්‍රියාවලියේ මූලිකත්වය ගත්තේ ලංකා ගුරු සංගමයයි. නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ද ඔවුහු පෙනී සිටියහ.

ගුරුවරයා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අසාධාරණ නැත. එහෙත් ඒ හා සමගාමීව වන අ‍නිකුත් ක්‍රියා ගැන ද ඔවුන් සවිඥානික විය යුතු ය.

මේ පවතින තත්ත්වය ගැන කිසිවක්ම නොසිතා වසංගතයෙන් පීඩා විඳින දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මේ වැනි මොහොතක ගුරුවරුන්ට ඔබින්නේ නැත. අයිතීන් වුව ද ඉල්ලිය යුතු වෙලාවක් තිබේ. මේ ඊට කිසිසේත්ම ඔබින මොහොතක් නොවේ. පෞද්ගලික අරමුණු වෙනුවෙන් දරුවන් පාවිච්චි කිරීම ගුරු වෘත්තිය වැනි වන්දනීය වෘත්තියකට තරම් නොවේ. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකිව ලතවෙන දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ද නතර කර දමන්නට තරම් ගුරුවරුන් ආත්මාර්ථකාමී වීම කනගාටුදායක ය.

මේ සියලු කාරණා සලකා බැලීමේදී හොඳ ම දේ දරුවන්ට බව කියූ වී. අයි. ලෙනින් අපට සිහිපත් වීම වැළැක්විය නොහැකිය.ලෙනින් එසේ කීවේ කට කහනවාට නොවන්නේ මෙන්න මේ කරුණ නිසා ය.

Comments