![බිග් ටිකට් ජැක්පොට් දිනුම් ඇදීමෙන්් ඩිරාම් මිලියන 15ක් ජයගත් රසික](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/11/b2.jpg?itok=EL9KLLpp)
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර දිනුම් අදින ලොතරැයියක අති විශාල ජයමල්ල දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයකු සමත් වී තිබේ. ඔහු රසික ජේඩීඑස් නමින් හඳුන්වා දී තිබේ.
රසිකට හිමිවී ඇති ත්‍යාග මුදල එක්සත් අරාබි ඩිරාම් මිලියන 15කි.
රසික මේ වන විට ඩුබායි හි සේවය කරමින් ඩුබායි හි රාස් අල් කාහිමාහ් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු මේ ලොතරැයිය මිලදී ගෙන ඇත්තේ අන්තර්ජාලය හරහාය.
රසික තමාට මේ අති විශාල ලොතරැයි දිනුම හිමිවූ බව දැනගත් අවස්ථාවෙදී පවසා ඇත්තේ ‘තම ජිවිතය මුළුමනින්ම වෙනස් වීමට යන’ බවයි. එක්සත් අරාබි එම්රේට්ස් හි දිනුම් අදින මේ ලොතරැයිය හඳුන්වන්නේ බිග් ටිකක් ජැක්පොට් යනුවෙනි. මෙහි ඇති දිනුම් හිමිවීමේ සම්භාවිතාව හේතුවෙන්ම වැඩි දෙනා එය මිලදී ගැනීමට පෙලෙඹන බව කියවේ. මේ වන විට මෙහි දිනුම් වාර 228ක් ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකාවේ රසිකට හිමිවී ඇත්තේ එහි 228වැනි දිනුම් වාරයේ ජයග්‍රහණයයි. රසික විදෙස් ගත සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් ඩුබායිහි සේවය කරන බව විදෙස් මාධ්‍ය දක්වා තිබිණි. ඒ ඩුබායිහි සීඩීඑම් ස්මිත් සමාගම වෙනුවෙනි.
රසික මිලදීගෙන තිබූ ටිකට් පතේ අංකය 213288ය. තමාට දිනුම හිමිවූ බව ඔහු දැන තිබුණේද අන්තර්ජාලය ඔස්සේ ය. එමෙන්ම ඔහු පවසා තිබුණේ තමා මේ දිනුම තවත් අට දෙනෙකු සමඟ බෙදා ගැනීමට කටයුතු කළ යුතු වන බවයි. රසිකට පසුව ලොතරැයියේ දෙවැනි ත්‍යාගය ලෙස ඩිරාම් මිලියනයක මුදලක් හිමිකර ගැනීමට සමත්ව තිබුණේ පිලිපීන ජාතිකයෙකි. තුන්වැනි ස්ථානය ලෙස ඩිරාම් ලක්ෂයක මුදලක් ඉන්දියන් ජාතිකයකුට හිමිවී ඇති අතර හත්වැනි සැනසිලි ත්‍යාගය ලෙස ඩිරාම් 60,000ක මුදලක් ශ්‍රී ලංකාවේ සුලෙන්තිරන් රසෙන්තිරන් නම් පුද්ගලයකුට හිමිවී තිබේ.
මෙයට පෙර පසුගිය මැයි මාසයේදීද මේ ලොතරැයියේ ප්‍රථම ත්‍යාගය සඳහා අති විශාල දිනුමක් ශ්‍රි ලාංකියකුට හිමිවූ අතර ඔහු මොහොමඩ් මිශ්ෆාක් නම් වේ. ඔහුටද ඩිරාම් මිලියන 12ක් හිමිවී තිබේ. එම දිනුම හිමිවන අවස්ථාවෙදී මිශ්ෆාක් නිවාඩුවක් සඳහා සියරට බලා පැමිණ තිබූ අතර ඔහුටද තම ජයග්‍රහණය පිළිබඳව දැනුම් දී තිබේ.
කෙසේ වුවද මේ ආසන්න අවස්ථා දෙකකදී ශ්‍රී ලාංකිකයන් තරගයේ ජය මල්ලට උරුමකම් කී එකම අවස්ථාව ලෙස වාර්තා වී තිබේ.
අබුඩාබි හි මේ බිග් ටිකට් ජැක්පොට් ලොතරැයිය දීර්ඝ ඉතිහාසයක් හිමි ලොතරැයියක් ලෙස සඳහන්ය. එමඟින් ලබා දෙන විශාලතම ජයමල්ල ඩිරාම් මිලියන 20කි.