
- ආණ්ඩුව ෆේල් කියලා කැම්පේන් ඕනෑ නැහැ; ජනතාවට දැනෙන්න ඕන
- මේ අය වැයෙන් කලාකරුවන්ට ලැබුණේ මස් කට්ටක් විතරයි
- මේ තුනෙන් දෙක කෘතිමව නිර්මාණය කරගත් බලයක්
- පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වයන් පිළිබඳව පිළිකුලක්, ඇති වෙනවා
මෙවර අය වැය ලේඛනය පිළිබඳව ඔබගේ අදහස?
මෙවර අය වැය ලේඛනය පිළිබඳව අපිට ඉතා පැහැදිලිව පෙනුණු දෙයක් තමයි රජය කටින් කියන කාරණා සහ ක්‍රියාත්මක කරන කාරණා අතර පැහැදිලිව තිබෙන වෙනස. මේ රටේ වර්තමාන රජය බලයට ගේන්නට මුල් වුණු ජාති මාමක දේශමාමක සහ දේශීයත්වය අගය කරන අය වෙනුවෙන් මස් කට්ටක් දීලා ජාවාරම්කාර තමුන්ගේ ගජමිතුරන්ට සහ තමුන්ගේ වර්ගයාට මස් කුට්ටිවලින් දමලා ගහලා අරන් පලයන් කියලා කියපු අය වැයක් විදියට මෙය පෙන්වා දිය හැකියි.
උදාහරණයක් විදියට ග්‍රාමීය විහාරස්ථාන සඳහා මේ අයවැයෙන් වෙන්කරලා තිබෙන්නේ රුපියල් මිලියන පනහයි. රුපියල් මිලියන පනහක් කියන්නේ ලක්ෂ පන්සියයි. මාතර දිස්ත්‍රික්කය ගතහොත් විහාරස්ථාන පන්සියයක් තිබෙනවා. ලංකාවම ගතහොත් එය විශාල ප්‍රමාණයක් විහාරස්ථාන තිබෙනවා. මේ තරම් පොඩි මුදලක් ලංකාවේ විහාරස්ථාන කීයකටද ලබාදීමට හැකියාව තිබෙන්නේ. ඉතාම සුළු ප්‍රමාණයකට නේද මේ ආදි වශයෙන් මට පෙන්නලා දෙන්න පුළුවන් තව බොහෝ කරුණු කාරණා.
විශේෂයෙන්ම මම කටයුතු කරපු කර්මාන්ත, වාණිජ කටයුතු, වෘත්තීය පුහුණු, සමුපකාර ආදී ආයතන වෙනුවෙන් දක්වා තිබෙන මුදල් වෙන්කිරීම කොතරම් අඩුද? මෙය ප්‍රතිශතයක් ලෙස ඉතා අගයක්. විශේෂයෙන් ම කලාකරුවන් මේ රජය බලයට ගේන්න විශාල වශයෙන් කටයුතු කරපු පිරිසක්. අද ඔවුනට මේ අය වැයෙන් මස් කට්ටක් විසි කරලා ඔන්න අහුලන් කාපියවු කියලා. මස් කුට්ටිය ජාවාරම්කරුවන්ට ලබාදෙන්නට කටයුතු කරලා තිබෙනවා. තමන්ගේ ගජ මිතුරන්ට මෙන්ම තමන්ගේ ඥාති පාර්ශ්වයන්ට මේ මගිනුත් හොඳ අවස්ථාවක් ලබාදීලා තිබෙනවා.
මෙන්න මේ නිසා මේ අය වැය ගැන ඉතා කෙටියෙන්ම කියනවා නම් ආණ්ඩුව බලයට ගේන්න වැඩියෙන්ම ගම් මට්ටමින් ඒ වගේම ජාතික මට්ටමින් කැප වුණු පිරිස්වලට මස් කටු ලබාදීලා ජාවාරම් කාරයන්ට ආණ්ඩුවේ අයගේ ඥාතීන්ට මස් කුට්ටි ලබාදීපු අය වැයක්.
ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ ඉදිරිපත් කරපු දෙවන අය වැය වාර්තාව සහ පළමු අය වැය අතර ඔබ වෙනසක් දකිනවාද?
ගෝඨාභය රාජපක්ෂයන් යටතේ ඉදිරිපත් කරපු පළමු අය වැය දැනට සතියකට ඉහතදී ඉදිරිපත් කරපු අය වැය නම් ඒක නිත්‍යානුකූල අය වැයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒ පිළිබඳව ප්‍රශ්නාර්ථ ගණනාවක් තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් අය වැයක් ඉදිරිපත් කරන්න ඕන ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මුදල් වර්ෂය සඳහා පෙර වර්ෂයේ අන්තිම මාස දෙකේදී. නමුත් ගතවන මෙම 20 අවුරුද්ද ගෙවිලා යනකම් කටයුතු කරලා අපගේ ආණ්ඩුව තිබුණු වෙලාවේ අතුරු සම්මත ගිණුම අපි ඉදිරිපත් කළා. දැන් මේ ආණ්ඩුව අතුරු සම්මත ගිණුම් දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා.
විශේෂයෙන් පාර්ලිමේන්තුව මැයි 01 වැනිදා අගෝස්තු 20 වැනිදා දක්වා කාලය තුළ අතුරු සම්මත ගිණුමක් ආවේ නැහැ. මෙහි බරපතළ නීතිමය ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. මේ කාලය තුළ මුදල් වියදම් කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඒ අය වැයට ඡන්දය දීමෙන් වැළකී සිටියේ. ඒ වගේම මේ අය වැය ඔය රජය සඳහන් කරන දිගු කාලීන දැක්මක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් ඉලක්ක කරපු අය වැයක් හැටියට පෙන්නුවාට එහෙම අය වැයක් නොවන බවත් පැහැදිලියි.
ගෝඨාභය ජනාධිපතිවරයා අසාර්ථකයි. ඔහු ෆේල් කියලා ඔබලා චෝදනා කරනවා නේද?
ඉතා පැහැදිලිව මුළු රජයම පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් රජය පිහිටුවීම පිළිබඳව කතන්දරය විතරක් නොවෙයි වර්තමාන ජනාධිපතිවරයා පත්වීමත් සමඟම ඒ අවස්ථාවේ සිටම ඉතා පැහැදිලිව ආණ්ඩු මාරුව සිද්ධ වුණා. ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා. මහින්ද රාජපක්ෂයන් අගමැතිවරයා බවට පත්වෙනවා. අපි පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් විපක්ෂයේ වාඩිවෙන්න තීරණය කරනවා. මේ කාරණාවල සිටමයි ගණන් හැදීමක් කළ යුතුව තිබෙන්නේ. ඒ ගණන් හැදීම තුළ කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තුළ බැලුවත් ඒ වගේම සංවර්ධන ක්‍රියාවලිය බැලුවත්, කොරෝනා සහන බෙදීම පිළිබඳව බැලුවත්, වන සංරක්ෂණය මාර්ග සංවර්ධන ඇතුළු තවත් අංශ ගණනාවක් පිළිබඳව ආපස්සට හැරී බලද්දී කාරණා සියල්ල සම්බන්ධව මේ රජය මෙන්ම ජනාධිපතිවරයා අසමත් කියන කාරණය ඉතා පැහැදිලිව ඕනෑම අයකුට දැක ගත හැකියි. එය ඉතා හොඳින්ම පෙනෙන කාරණයක් ලෙස අපිට ඕනෑ තරම් කරුණු කාරණා ඉදිරිපත් කරමින් පෙන්වා දිය හැකියි.
ඔබ එසේ කීවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට 69 ලක්ෂයක් ඡන්දය ලබාදෙනවා සේම පොහොට්ටුව ආණ්ඩුවක් පිහිටවන්නේ තුනෙන් දෙකක බලයක් සහිතව. ජනතාව ඔවුන් සමඟ කියලා තර්ක කරන්න පුළුවන් නේද?
මේ වගේම තත්ත්වයක් 2010 යේදී නිර්මාණය වුණා. 2010 වසරේදී යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ ආසන 144 ගන්න ලැබෙනවා; එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ රජයට. එහිදී නොයෙක් වරප්‍රසාද සහ වරදාන ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලිබා ගනිමින් තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුව තුළ ලබා ගන්නවා. එහිදී මන්ත්‍රීවරුන් 160 ඉක්මවා ගිය ආණ්ඩුවක් නිර්මාණය කරගන්නවා. හරියටම මේ අද පවතින ආණ්ඩුව වගේමයි.
නමුත් අප මතක තබාගත යුතු කාරණයක් තිබෙනවා. අසීමිත බලය විසින් පවතින ආණ්ඩුව විනාශ කරනවා. ඒක අතීතය තුළ බැලුවොත් සමගි පෙරමුණ ආණ්ඩුවටත් අදාළයි. 77 හදපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටත් අදාළයි. 2010 හදපු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවටත් අදාළයි. තුනෙන් දෙකක් සහිත ආණ්ඩු මේ රටේ බිහි වුණා. නමුත් ඒ ආණ්ඩු ඉතා පැහැදිලිව ඒ හදපු බලවේග විසින් ම ආපසු සැරයක් නැති කරන තත්ත්වයකට පත් වුණා. ඉතින් එය දැන් පවතින 2020 ආණ්ඩුවටත් බලපායි කියන එක අපි සිහි තබාගත යුතුයි. මොකද අපි එහෙම කියන්නේ, මේ තුනෙන් දෙකේ බලය කෘතිමව නිර්මාණය කරගත් එකක්.
20 වැනි සංශෝධනයට ඔබලා විරුද්ධ වෙන්නේ ඇයි?
ඉතා පැහැදිලිව අපි මේ පිළිබඳව බොහෝ දුර කතා කළා. පළමු කාරණය තමයි මේ 20 කුමක් සඳහා ද ගෙන එන්නේ. විගණන කොමිසම අහෝසි කිරීමේ කාරණය ගතහොත් එය නැවතත් ගෙන එනවා. ඒ අතර ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරනවා. ප්‍රසම්පාදනය කරලානේ අපි විගණනයකට යන්න ඕන. විගණන කොමිසම විරෝධය ආවම ඒක අහෝසි කරලා දානවා. ස්වාධීන කොමිසන් සභා ඇති කළේ රටේ වෙනසක් ඇති කරන්න. කිහිපයක් විතරයි මේ පෙන්වන්නේ. ප්‍රසම්පාදන කොමිසම වගේම ස්වාධීන කොමිසන් සභා පත් කිරීම ඇතුළු ඒ සියල්ල අද අක්‍රිය වෙනවා. ඒවා වලට ගැටලු තිබේ නම් ඒවා නිවැරදි කළ යුතු මිසක් ඒවා අහෝසි කිරීම බලවත් අර්බුදයක්.
අපි බලමු ද්විත්ව පුරවැසිභාවය. ද්විත්ව පුරවැසියන් සඳහා මේ ආණ්ඩුව ලබාදුන් අවස්ථාවෙන් අපි ගමන් කරන්නේ දේශපාලනික වශයෙන් ඉදිරි ගමනකට වඩා පසු ගමනකට කියන එක ඉතා පැහැදිලියි.
මෙන්න මේ කාරණා වගේම අගමැති සහ ජනාධිපතිවරයා අතර බල විභේදනයකට ගැළපෙන ආකාරයට සකස් කර තිබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව විසඳාගෙන එක් අයෙකුට එක් පුද්ගලයෙකුට බලය දෙනවාට වඩා බලය විභේදනය කරනවා වෙනුවට අසීමිත බලයක් එක් අයෙකුට ලබාදීමක් තමයි මේ 20 ගෙන ඒම තුළින් සිදු වුණේ. මීට වඩා තව බොහෝ කාරණා අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා රැසක් නිසා අපි 20 ට විරුද්ධයි.
යහපාලන රජය අසාර්ථක වෙමින් ජනාධිපති සහ අගමැතිවරයා අතර ගැටුම් හටගනිමින් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර එල්ල වී ආරක්ෂාව බිඳ වැටෙන්නේ 19 වැනි සංශෝධනය තුළ තිබූ දුර්වලකම් නිසා බව රජය පවසනවා. මෙය ඇත්තක්ද?
මැතිවරණ ව්‍යාපාරය තුළදී රජය 19 ය වෙනුවට 20 ක් ගෙන එන බව ප්‍රකාශ කළා. එම 20 ආකෘතිය මොනවගේද කියලා තිබුණේ නැහැ. ජනතාව මේ පිළිබඳව කිසිදු කරුණක් දැන සිටියේ නැහැ.
ඒ වගේමයි 20 ගෙන එද්දී ආණ්ඩුවේ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරුද්ධ වීම රජය ඉතා සැලසුම් සහගතව සිදු කරන ලද්දක්. එම මැති ඇමැතිවරුන් එහිදී නාටකයක් රඟ දැක්වූවා කියන එක මගේ මතයයි. ආණ්ඩුව විසින් ආණ්ඩුවේම පිරිසකට පවරලා තිබුණා එක්තරා කාලයක් යන තුරු 20 ට විරුද්ධව හඬ නඟන්න කියන කාරණය. 20 ට එරෙහිව ජන මතය විපක්ෂයට උකහා ගන්නට නොදී එය ආණ්ඩුවේ පැත්තට හරවා ගන්නට ආණ්ඩුව කටයුතු කළා. එම ක්‍රමවේදය මම කල්තියාම හඳුනා ගත්තා කියන එක මම කියන්නට ඕන. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර 19 ගැටුමක් ඇතිවෙලා තිබෙනවා කියන එක වෙනස් කළ යුතුව තිබුණේ සමස්ත ක්‍රියාදාමය ඉදිරියට ගෙන යමින් මිසක් ආපස්සට හරවමින් නොවෙයි කියන එක අපි පැහැදිලිව කිව යුතුයි.
නමුත් අවසානයේ සිද්ධ වුණේ දේශපාලන ප්‍රතිසංස්කරණවල ආපස්සට හරවන සාධනීය ගමන මොට කිරීමේ තැනකටයි 20 න් තල්ලු වුණේ. අන්න ඒකයි අපි දකින්නේ යථාර්ථවාදී නොවන සහ රටක් සමාජයක් ඉල්ලන පරිවර්තනීය වෙනසකට නොවෙයි 20 වැනි සංශෝධනය හරහා ආණ්ඩුව තල්ලු වුණේ කියලා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ 20 න් ඒකාධිපති පාලකයකු බිහි වන බවයි. මේ පිළිබඳව ඔබ සිටින්නේ කුමන මතයකද?
පැහැදිලිවම එය සත්‍යයක්. මේ 20 තුළින් ඒකාධිපති පාලකයකු බිහිවෙනවා. බෙදී තිබූ බලයක් 20න් කෙළින්ම එක් අයකුට පැවරීමක් සිදු කරනවා.
ජනාධිපතිවරයාට ඕනෑම කාරණයකට මැදිහත්වීමට ඍජුව බලය තිබෙනවා. නිදහස් තීන්දු තීරණ ගන්නා ඕනෑම කොමිසමකට බලපෑම් කිරීමට මේ මගින් ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු අභියෝගයක් කියන එක අපි මතක් කරන්නට කැමැතියි.
බැසිල් රාජපක්ෂයන් තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙන බව පැවසෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?
බැසිල් රාජපක්ෂද, වෙනත් මහත්මයෙක්ද; නෝනා කෙනෙක්ද කියන කාරණය නොවෙයි මෙහිදී වැදගත් වන්නේ.
ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයකුට පාර්ලිමේන්තුවට ඇතුළු වන්නට දීම තුළ අනාගතයේ ඇතිවෙන්නට පුළුවන් තත්ත්වයන් ගැන අපිට කියන්නට බැහැ. සමහර වෙලාවට අද අපි ගන්නා ක්‍රියාමාර්ගයකින් ඇතිවෙන තත්ත්වයන් තව මාසයකින්ද, සතියකින්ද, දවසකින්ද එහෙම නැතිනම් වසර ගණනාවකින් ද කියන කාරණය කියන්න බැහැ.
මෙන්න මේ නිසා ද්විත්ව පුරවැසියන්ට පැමිණීම තුළ තිබෙන අවදානම් තත්ත්වයක්.
බැසිල් රාජපක්ෂ ද; වෙන අයෙක්ද කියන එක නොවෙයි මෙතන තිබෙන ගැටලුව. මෙතන තිබෙන ප්‍රශ්නය ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්ට රාජ්‍ය තුළ තීරණාත්මක තනතුරු ලබාදීම තුළින් ඇති වන්නේ ඉතාම නරක තත්ත්වයක්.
ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ නාට්‍යය හරි ම පැහැදිලියි. ඒ නාට්‍යය අපිට හොඳට දකින්න පුළුවන්. එක පැත්තකින් 20 වැනි සංශෝධනය සම්මත වෙනවා. කථානායකවරයා ඊට දින කිහිපයකට පස්සේ මෙය බලාත්මක කිරීම සඳහා අත්සන් තබනවා. ඊට පස්සේ මන්ත්‍රීවරු එක් වෙලා ලියුම අත්සන් කරනවා. ඒ ආකාරයට ආණ්ඩුවේ චිත්‍රපටයේ තිරපිටපත රචනා කර ඇති විදියට සහ එය රඟ දැක්වෙන විදිය ඉතාම පැහැදිලියි.
කොරෝනා දෙවන රැල්ල මේ තරම් ව්‍යාප්ත වීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
මම වෛද්‍ය ක්ෂේත්‍රයට යම් කාලයක් සම්බන්ධ වෙලා හිටිය අයෙක්. මම විශ්වාස කරන්නේ තරයේම මේ දෙවැනි කොරෝනා රැල්ලට ප්‍රධානතම හේතුව වූයේ පළමු කොරෝනා රැල්ල මැඬලීම පිළිබඳව අප ළඟ තිබූ අධිතක්සේරුව. ඒ වගේම දිගින් දිගටම PCR පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප පෙන්වා දුන්නේ මාර්තු මාසයේ 17 වැනිදා මමත් සහභාගිවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දිගින් දිගට අපි පෙන්වා දුන්නේ PCR පරීක්ෂණ වැඩි කරන්න ඕන. දෛනිකව කරන PCR ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒ වගේම ජනතාව සමඟ වැඩි වශයෙන් ම ගැටෙන අංශවල පුද්ගලයන් සඳහා ආරක්ෂක අංශ වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ වෙන්න පුළුවන් ෆුඩ් සිටි ඇතුළු මහජන පොළවල් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඉලක්ක ගත කණ්ඩායම්වල PCR පරීක්ෂණ සිදු කිරීම කළ යුතුව තිබුණා.
නමුත් මහ මැතිවරණය අවසන් වීමත් සමඟ මේ කරුණු සියල්ල අතහැරියා. ඒකෙදි මම ආණ්ඩුවට විතරක් අත දික් කරලා චෝදනා කරන්න සූදානම් නැහැ. සමස්තයක් වශයෙන් ජනතාවට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා. ආණ්ඩුව නීති දාලා මුඛ වාඩම් දාගෙන යන්න කියන්න ඕන නැහැනේ. ජනතාව දැනගන්න ඕනේ ඒ සඳහා සහය දක්වමින් තමන්ගේ ජීවිත වගේම අනෙක් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඊට සහය දක්වන්න.
රජයේ ඇමැතිවරු සිටියාට සියලු අමාත්‍යාංශ රාජපක්ෂ පවුල විසින් පාලනය කරනවා කියලා ඔබලා චෝදනා කරනවා ඇයි ඒ?
ඉතා පැහැදිලිව අය වැය තුළ මුදල් වෙන් වෙලා තිබෙන ආකාරය පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් කාට කාටත් බලාගන්න පුළුවන් කමක් තිබෙනවා. සියලු බලයන් විවිධාකාරයකින් යොදවලා එක කණ්ඩායමක් විසින් මුළු ආණ්ඩුවම මෙහෙයවන්නත් ඒ හරහා සමස්ත රාජ්‍යයම මෙහෙයවන්නත් කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලියි. ගත වුණු වසරක කාලය තුළදී මේ තත්ත්වය ඉදිරියේදී වර්ධනයක් මිසක් බිඳ වැටීමක් බලාපොරොත්තු වන්න එපා. ඒක තමයි යථාර්ථය. එය තමයි අපිට දකින්න තිබෙන තත්ත්වය.
නවක මන්ත්‍රීවරුන් අසූ එක් දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණීම ඔබ දකින්නේ කෙසේද?
පක්ෂ විපක්ෂ මේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ පටු ස්ථානවලට කොටුවෙලා පෞද්ගලික කාරණාවලට අනවශ්‍ය දේටත් අනවශ්‍ය ආකාරයට හරියට වළං කඩේට පැන්න ගවයන් හැසිරෙනවා වාගේ අශීලාචාර හැසිරීම්. ආණ්ඩුවට පක්ෂ විපක්ෂ මේ කණ්ඩායම් දෙකෙන්ම ප්‍රදර්ශනය වෙනවා. මේක මේ පාර්ලිමේන්තුවේත් මීට කලින් පාර්ලිමේන්තුවේත් දක්නට ලැබුණා.
මට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වයන් පිළිබඳව පිළිකුලක් හිරිකිතක් ඇති වෙනවා. ජනතා නියෝජිතයන් පිළිබඳව ඇයි මොවුන් මෙහෙම හැසිරෙන්නේ කියන එක පිළිබඳව. මොවුන් කොහොමද තමන්ගේ ප්‍රදේශයට තමන්ගේ ගමට නායකත්වය දෙන්නේ කියන එක.
ඡයාරූප රුක්මාල් ගමගේ