රනිල් හමු වූ මන්ත්‍රීවරුන් සෙවීමට සජිත්ගෙන් මෙහෙයුමක් | සිළුමිණ

රනිල් හමු වූ මන්ත්‍රීවරුන් සෙවීමට සජිත්ගෙන් මෙහෙයුමක්

නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 23 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩියෙන්ම අවධානයට යොමු වූ සිදුවීමකි.

“ඡන්දය කල්දාලා නෑ. කල් දාන්න ඡන්දයකුත් නැහැ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසීය.

එපමණක් නොව ජනාධිපතිවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙසට මුජිබර් රහුමාන්ට දැනුම් දුන් බවය.

ජනාධිපතිවරයා සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අත දික්කරමින් කියා සිටියේ එම මන්ත්‍රීවරුන් ඡන්දය කෙසේ හෝ කල්දමන ලෙස ඉල්ලීම් සිදු කළ බවයි.

සජිත් කලබල වෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මෙම කතාව සිදුකරන විට විපක්ෂ නායක සිටියේ කොළඹින් පිටය.

ජනාධිපතිවරයාගේ මෙම කතාව දැනගත් සජිත් ප්‍රේමදාස තරමක් කලබල වී මුජිබර්ට දුරකතන ඇමතුමක් දුන්නේය. ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද සජිත් දුරකතන ඇමතුම් ලබාදුන් බව ද වාර්තා වේ.

නුවර ජනතාවගෙන් රනිල්ට තුති

ජනරජ පෙරහර නැරඹීමට මහනුවර පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි - මල්වතු කාරක සංඝ සභාවන් මුණ ගැසීමට ද අමතක නොකළේය. ඒ මහනුවර ජනපති මන්දිරයේදී ය. ජනපති රනිල් ජනරජ පෙරහර නැරඹීමට පැමිණියේ ජනතාව අසලිනි. ජනරජ පෙරහරක් පැවැත්වීම ගැන ඔවුන් ජනපතිට ස්තූති කළේ දැඩි සතුටකිනි.” සර් අපේ මිනිස්සු දළදා මාලිගාවත් එක්ක බැඳිලා ඉන්නේ. මේ වෙලාවේ පෙරහරක් පැවැත්වීම අපට ගෞරවයක්.” අසල සිටි මහනුවර නගරාධිපති කේසර සේනානායක ජනපති රනිල්ට තුති පුද කළේ මහනුවර ජනතාව වෙනුවෙනි.

පෙරහරේ ඉතිහාසය රනිල් විදේශිකයන්ට කියාදෙයි

ජනරජ පෙරහැරේ ඉතිහාසය ගැන ජනපති එහිදි බොහෝ දෙනෙකු හා කතා බහ කළ අතර ජනපතිගේ දැනුම ගැන පැමිණ සිටි දෙස් විදෙස් ආරාධිතයෝ මවිතයට පත්වූහ. ජනපති දෙස් විදෙස් අමුත්තනට රාජ සමයේ සිට මෙරට දළදා පෙරහර මෙන්ම රාජ පෙරහරද පැවැත්වූ ආකාරය ගැන පුළුල් විස්තරයක් කළේ ඔවුන්ගේ දෑස් විසල් කරමිනි.

වෙස් නැට්ටුවෙක්

ජනපති අසලට පැමිණි බන්දුල ගුණවර්ධන ද ජනරජ පෙරහැර අගය කරද්දී ජනපති බන්දුල දෙස බලමින් අමුතු කතාවක් කීවේය. “බන්දුල දන්නව ද ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ වෙස් නැට්ටුවෙක් කියලා.” ජනපති සිනාසෙමින් කියද්දී ජනපති රනිල් කුඩා අවධියේ වෙස් නැටුම් ඉගෙනගත් බව ඇමති බන්දුලට සිහි වූයේ එවිටය.

රනිල් හා චන්ද්‍රිකා වෙස් නැටුම් නටපු හැටි

ජනපති රනිල් හා හිටපු ජනපති චන්ද්‍රිකා වෙස් නැටුම් ඉගෙන ගත්තේ දක්ෂ නැට්ටුවෙකු වූ ශ්‍රී ජයනාගෙනි.

ජනරජ පෙරහර පැවැත්වූ දින හා පසු දින මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට වර්ෂාව පතිත වූ අතර රන්ටැඹේ ශිෂ්‍යභට වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගි වූයේ ද වැසි මැදය. ජනපතිවරයෙකු ශිෂ්‍යභට වර්ණ ප්‍රදානයකට සහභාගී වී තිබුණේ වර්ෂ ගණනාවකට පසුවය.

සදුදා පෙරවරුවේ ඇමති මණ්ඩල හමුව පැවැතියේ ද මහනුවර ජනපති මැදුරේය. සෙංකඩගල පුරවරය විසල් නගරයක් කිරීම වෙනුවෙන් ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව එහිදි සම්මත වූවේ ඒකමතිකවය. ඇමති මණ්ඩල රැස්වීම අවසානයේ ඊට ඉදිරිපත් නොවුණු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එවා තිබු ලියවිල්ලක් ගැන කැබිනට් ලේකම්වරයා විසින් ජනපති රනිල් වෙත කරුණු දැක්වීමක් කරනු ලැබීය. ඔහු ජනපති වෙත ඉදිරිපත් කළ ලිපිය තුළ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ද ඇතුළත්ව තිබුනි. එම ලිපිය දුටු ජනපතිගේ නළල රැලි ගැන්වුණේ ඒවායින් රැසක් ඉටු කළ නොහැකි ඉල්ලීම් වූ බැවිනි.

බන්දුලගේ දෑස් ඉහළ ගියේ ඇයි?

විශේෂ දීමනා රැසක් මෙන්ම බදු ඉවත් කිරීමේ යෝජනාවන්ට අමතරව එහි තිබූ විශේෂිත යෝජනාවක් වූවේ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයා සමඟ විදේශගත වන පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලීමකි. මෙය දුටු බන්දුල ගුණවර්ධනගේ දෑස් ඉහළට එසැවුණු අතර “මොකක්ද සර් මේ ඉල්ලීම” යනුවෙන් විමසා සිටියේය.

“මේක නම් කරන්න බෑ. අනෙක් ඒවා ගැන සලකා බලන්න පුළුවන්” ජනපති සිය ලේකම් සමන් ඒකනායක දෙස බලමින් කීවේය. ඊට ඌණපූරණයක් තබමින් බන්දුල ද කීවේ මෙයාලා රටට එකක් කියනවා අපට වෙනත් එකක් එවනවා.” කියාය.

ජනපති රනිල් ජනපති මැදුරෙන් පිටත් වූවේ මිණිපේ ඇළ මර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණය කිරීමටය. ඉක්මණින් අමුණ පිළිසකර කිරීමට උපදෙස් දුන් ජනපති හන්තාන කුරුළු උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූවේය.

ජනපතිට ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රසාදය

මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන්ගේ හමුවක් එදින සවස පැවැතියේ ජනපති මන්දිරයේදීය. එහිදි ව්‍යාපාරිකයන් බහුතරයක් ජනපති ගෙන යන වැඩපිළිවෙළ අගය කළහ. වත්මන් බදු ප්‍රතිපත්තිය අගය කළ ඔවුන් රැස්වීමෙන් පසුව ජනපති සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී ද කීවේ ජනපති ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රට හමුවේ නැති බවය.

ආරක්ෂක කවුන්සිලයට යන අතරතුර ජනපති පාර්ලිමේන්තුවට ගොඩ වැදුණේ භාෂා දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කළ “සිංහල - දෙමළ අකුරු” යන ග්‍රන්ථය පිළිගැනීමටය. වැඩි කාලයක් එහි ගත නොකළ ජනපති වහාම ඉන් පිටත් වූවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගීවීමට යාමටය.

මන්ත්‍රීවරුන් ජනපති වටකර ගත්තේ ඇයි?

ජනපති රනිල් බ්‍රහස්පතින්දා මැති සබයට ගියේ මුදල් අමාත්‍යංශය ඇතුළු රජයේ නිලධාරීන්ට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු සැපයීමට ය. ඔහු කතාව නිමවා ලොබියට පැමිණෙද්දී ඔහු වට කරගත් මන්ත්‍රීවරු විමසන්නට වූවේ මුජිබර් මන්ත්‍රීවරයාට පණිවුඩ යවපු විදිය හා ඡන්දය කල් දාන්න ඉල්ලු විපක්ෂ මන්ත්‍රීවරුන් ගැනය.

“ඇයි ඔයාලටත් එයාලා කියලා තිබුණා නේදැයි.” ජනපති විමසද්දී ඔවුන්ට සිනහව නතර කරන්නට නොහැකි වූහ.

“ඇත්තටම සර් පාර්ලිමේන්තුවේ දී මැතිවරණ කොමිසම කරපු නීති විරෝධි කටයුතු හෙළි කරපු එක ඉතාම හොදයි.” ප්‍රසන්න රණතුංග කීවේය.

“ජනාධිපති මැතිවරණය කල් දානවා කියලා කිව්වට කල් දාන්න ඡන්දයක් කැඳවලා තියෙන්න එපැයි. මේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ ජනතාව නොමඟ යැව්වට.” චාමර මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය.

හර්ෂගේ හා මයන්තගේ හුටපටේ

මේ අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද එතනට පැමිණ කිවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ වගේම මයන්ත දිසානායකත් විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා යනුවෙනි.

“ඡන්දයෙන්නේ මේක පත්කර ගන්නේ. කමිටුවේ බහුතරයේ කැමැත්ත අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න.” ජනපති කීවේ එවැන්නකි.

“හැබැයි සර් ගිය සැරේ හර්ෂව සභාපති කරද්දී ආණ්ඩු පක්ෂයේ සහාය ඉල්ලුවා. මෙවර නම් දෙන්නගෙන් කිසි කෙනෙක් අපේ සහාය ඉල්ලුවේ නෑ.” මිලාන් ජයතිලක කීවේය.

“කමිටුවට ඉඩ දෙන්නකෝ සුදුසු තීන්දුවක් ගන්න.” ජනපතිගේ ස්ථාවරය එය විය.

අවසානයේ කමිටුව මයන්ත දිසානායක තෝරා ගත් අතර හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා එය විවේචනය කර තිබුණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිට කීවේ දැන් ස.ජ.බ නායකයෝ මයන්තට අයින් වෙන්න කියලා බලපෑම් කරනවා කියාය. ජනපති සිනාසුනා මිස ඊට පිළිතුරක් දුන්නේ නැත.

පාර්ලිමේන්තුව පෝට් සිටියට යයිද?

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගියදා රැස්වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. පසුගිය දා 21 වැනිදා පැවති මෙම රැස්වීම දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ද මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ද සහභාගි වුහ.

"සර්.. චීනෙ කොටසයි, අපේ කොටසයි කියල කොටස් දෙකක් තියෙනව­ා නේද?" ඒ රාජ්‍ය ඇමති අරුන්දිකය.

"නෑ මේකෙ එහෙම එකක් නෑ. මේක අපිට අයිති කොටසක්. ඒක ගැසට් කරල තියෙන්නේ." ජනාධිපතිවරයා ක්ෂණිකව කීය.

මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රියත් බන්දු වික්‍රම ද කැඳවා තිබුණි. ඔහු වරායේ හිටපු සභාපතිවරයායි. ප්‍රියත් බන්දු මෙහිදී ආයෝජකයන් ගැන මෙන්ම තවත් කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළේය.

මෙහි ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ප්‍රියත් බන්දුගෙන් ප්‍රශ්න කළහ.

"මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිති අපිට. කවුරු ආයෝජන ගෙනාවත් අනුමැතිය දෙන්න ඕන අපියි. ඒ වගේම මෙහි සියලුම ගනුදෙනු සිද්ධවෙන්නෙ ඩොලර්වලින්. සල්ලි එන්නෙ විදේශීය ගිණුමක් හරහා. ඒක කෙලින්ම යන්නෙ මහා භාණ්ඩාගාරයටයි." හිටපු සභාපතිවරයා කීය.

" පාර්ලිමේන්තුවත් පොර්ට්සිටියට ගෙනිච්චනම් අපිට ඩොලර්වලින් පඩි ගන්න තිබුණා"

ජනාධිපතිවරයා කී කතාවට පිරිස කොක්හඬ ලෑහ.

ජනපති ව්‍යවස්ථාව කියවයි

⁣" විපක්ෂය දැන් මේව ගැන හොයන්නෙ නෑ. එයාල අපෙන් අහන්නෙ ඡන්දෙ ගැනයි? " මන්ත්‍රී එස්.බී දිසානායක වෙනත් ප්‍රශ්නයක් මතු කළහ. "මැතිවරණය ගැන අපිට ගැටළුවක් නැහැ. ඔයා දන්නවද ඡන්දෙ කල් දැම්ම කියල.මම දන්නෙ නෑ. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මැතිවරණ කොමිසම පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා මැතිවරණ කොමිසම මොනවහරි තීන්දුවක් ගන්නවනම් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කරන්න ඕන. මැතිවරණ කොමිසම ක්‍රියා කළයුතු ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනව " ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

" සර්.. අධිකරණයට මැතිවරණය කල්දාන්න පුළුවන්ද?" මන්ත්‍රීවරයකු ඇසීය.

"ව්‍යවස්ථාවේ කොයි වගන්තියෙ ද එහෙම සඳහන් වෙලා තියෙන්නේ" ජනාධිපතිවරයා පෙරළා ප්‍රශ්න කළේය.

සියල්ලෝම සිනාසුණා මිස කිසිවකු එයට පිළිතුරු දුන්නේ නැත.

ස.ජ.බ මන්ත්‍රීවරු ඇමති ප්‍රසන්න වටකර ගනිති.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේ විරෝධතාවයක නිරත විය.

මේ විරෝධතාව අතරදී ඇමති ප්‍රසන්නට පාර්ලිමේන්තුවේදී ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර, තුෂාර ඉඳුනිල්, නලීන් බණ්ඩාර, විමල් වීරවංශ, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, ජේ.සී අලවතුවල ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවිය.

" ඔයාල ඡන්දය ඉල්ලල මෙතන කෑගැහුවට, ඔයාලගෙම සමහරු අපිට කතා කරල කියනව ඡන්දෙ කල් ගියපු එක හොඳයි කියල." ඇමතිවරයා කීය.

"ඒව ගණං ගන්නෙපා ඇමතිතුමා."

විපක්ෂයේ මන්ත්‍රීවරයකු සිනාසෙමින් කීය.

"ඔයාල මීඩියා ෂෝ කර කර අපේ කාලය ගනවා. මොකක්ද මේ වැඩේ" ඇමතිවරයා යළි කීය.

ලන්සා - නලීන් බණ්ඩාර ගැටෙති

"පිටරටින් බිත්තර ආනයන කරන්න ආණ්ඩුවේ කෙනෙක් රුපියල් මිලියන 75ක් ඉල්ලලා" මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේය.

මන්ත්‍රී නලීන්ගේ මේ කතාවට පොහොට්ටු මන්ත්‍රී නිමල් ලාංසා උත්තර දු⁣න්නේය. පසුව දෙදෙනා පාර්ලිමේන්තු ලොබියේදී හමුවූ විට බිත්තර කතාව යළි ඇදුණේය.

" මන්ත්‍රිතුමා දෙයක් කතාකරනකොට හොයල බලල කතා කරන්න. අපිට මඩ ගහන්නෙපා" ලංසා කීය.

"මචං මම උ⁣ඹේ නම කිව්වේ නෑ. ඕක වැරදීමක්" ඒ මන්ත්‍රී නලීන්ය.

" නැත්තේ මොකද මගේ නම කිව්වා. කැත වැඩ කරන්නේපා" ලංසා යළි කීවේය.

දෙදෙනා අතර මේ කතා බහ දුරදිග යනවිට අසල සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා දෙපසට ක⁣ළේය.

හර්ෂ කළකිරුණේ ඇයි?

රාජ්‍ය ගිණුම් කාරක සභා⁣වට නව සභාපතිවරයකු පත්කළේ පසුගිය බ්‍රහස්පතින්දාය. එම තනතුර හිමිවුයේ සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී මයන්ත දිසානායකටය. අදාළ තනතුරට ආණ්ඩුවේ කෙනෙකු නම් නොකිරීමට ආණ්ඩුව තීන්දු කර තිබුණි.

මෙම තනතුරට පළමුව යොජනාවූයේ ස.ජ.බ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නමය. පසුව ස.ජ.බයෙන් ස්වාධීන වූ මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නම ද යෝජනා විය. ඒ නම් දෙකටම ස.ජ.බයම විරෝධය දැක්වීම විශේෂත්වයකි. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් ඒ අතර ඉදිරියෙන්ම විය. අනතුරුව මයන්තගේ නම යෝජනා විය.

මේ ගැන ආචාර්ය හර්ෂ දැඩි කනස්සල්ලට පත්ව සිටින අයුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ටද දැක ගත හැකි විය.

පුවරු නලීන් බණ්ඩාර, රාජකරුණා හා මරික්කාර්ගෙන් විරෝධතා

පසුගියදා විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැතියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් එම පිරිස එහිදී තීන්දු කරනු ලැබීය.

පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතාවය සංවිධානය කළේ සමගි ජන බලවේගය ය. ඊට ස්වාධීන මන්ත්‍රී කණ්ඩාය‍මේද සහයෝගය ද ලැබුණි. නලින් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා,එස්.එම් මරික්කාර් ඇතුළු පිරිසක් ඊට අවශ්‍ය සටන්පාඨ සහිත පුවරු කඩිමුඩියේ පිළියෙළ කළහ.

පාර්ලිමේන්තුවේ ගෙනයන විරෝධතාවය පිළිබඳව පිරිස මුලින්ම සජිත්ව දැනුම්වත් කළේ සජිත් ඒ වන විට පොලොන්නරුවේ රැලියකට සහභාගී වී සිටි නිසාය.

"උපරිම හොඳින් කරන්න. සියලු දෙනා එකතු කරගන්න"සජිත් උපදෙස් දුන්නේය.

සීල් වෙච්ච ඩීල්කාරයෝ යනුවෙන් නලීන් බණ්ඩාරගෙන් අනුර කුමාරට දොස්

සභාව රැස්වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු පුවරු ඔසවාගෙන ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සිය විරෝධතාවය පළ කරන්නට පටන් ගත්හ.

"ප්‍රජාතන්ත්‍රවාදය රකිනු-මැතිවරණය තියනු, ප්‍රෝඩාව වානා-ඡන්දයයි ඕනා,ඡන්දය එක්ක ගේම් එපා, ඡන්දෙට බය-හොර ආණ්ඩුව, ජනතා පරමාධිපත්‍යය රකිමු! රට ගිනි නොතියනු-ඡන්දයකට ඉඩ දෙනු"වැනි සටන් පාඨවලින් සභාවේ ඝෝෂාකාරීත්වය වැඩි විය.

එහෙත් සභාව තුළ විශේෂ දෙයක් සිදුවෙමින් තිබුණි. ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම විරෝධතාවයට සහභාගී වී සිටියේ නැත. නමුත්, ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ සිටියද ඒ කිසිවෙකුත් සභාවේ නොසිටියේය.

"හාමුට විරුද්ධ වෙන්න එයාලට බැහැ. ඒවා සීල් වෙච්චි ඩීල්"

නලින් බණ්ඩාර කීවේ ය.

"එයාලා හැමදාම කළේ කළේ හැම දෙයක්ම හයිජැක් කරන එක විතරයි. අරගලය හයිජැක් කළා.ගුරු සටන් හයිජැජ් කලා. ගොවි සටන් හයිජැක් කළා. හැබැයි ඔය හැම අරගලයකටම අවංකව උදව් කළේ සමගි ජන බලවේගය කියලා මුළු රටම දන්නවා"

හර්ෂණ රාජකරුණා එහෙම කීවේ ය.

ගයන්ත‍ත් අනුර කුමාරට දොස් නඟයි

"ජනතා විමුක්ති පෙරමුණේ පුද්ගලික ඉඩම් අයිතිය සම්බන්ධව විපක්ෂ නායකතුමා බොහොම සාධනීය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් එළියට අරගෙන ආවා. මෙන්න ඒක අහපු අනුර කුමාර භූමිතෙල් ගෑවිච්ච ගැරඬියෙක් වගේ මරු කියවනවා"

එහෙම කීවේ ගයන්ත කරුණාතිලක ය.

"නායකතුමා කතා කළේ ප්‍රතිපත්ති ගැන තමයි. හැබැයි අනුර කුමාර ස්ටේජ් එකේ ඉඳලා කතා කළේ අමු මඩ. පැනික් වෙලා තියෙන්නෙ අනුරලා"අශෝක් අබේසිංහ කීවේය. ආණ්ඩුවට හෝ ජනාධිපතිට එරෙහිව ගනු ලබන කිසිම සාමූහික වැඩසටහනකට ජනතා විමුක්ති පෙරමුණ එක්වූයේ නැත.

මීට අමතරව විපක්ෂනායක කාර්යාලයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ආරාධනා කර තිබුණ ද ඊට ද කිසිදු ජවිපෙ නියෝජිතයෙක් සහභාගී වී සිටියේ ද නැත.

ජී.එල්.ගේ කතාවට හෙලිකොප්ටරයෙන් විරෝධය

පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ජනාධිපතිවරයාට මැතිසබය විසුරුවා හරින ලෙසත් නිදහස සභාවේ, මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේය. මේ කතාවට හෙලිකොප්ටරයේ කිහිපදෙනෙකුටම යකා නැග තිබුණි. අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලා.

ඒ අස්සේ ප්‍රොෆෙසර් කියනවා. පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අපි සේරටම හොම්බෙන් යන්න වෙන්නේ” යනුවෙන් පාර්ලිමේන්තුවේ දී හෙලිකොප්ටරයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අප්‍රසාදයෙන් කතාබස් කර තිබුණි.

බන්දුලට විමල්ගෙන් කොක්කක්

රදැල්ල ප්‍රදේශයේ සිදු වු බස් අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් සභාගත කරන විට ඊට දැඩි විරෝධය එල්ල වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගෙන්ය.

පාසල් ළමුන් රැගත් බස් රථයක් ඇතුළු තවත් අනතුරු රැසක් සම්බන්ධයෙන් වැදගත් වාර්තාවක් සභාගත කිරීමට අවශ්‍ය බව බන්දුල කියා සිටිය ද විමල් කීවේ එය එතරම් වැදගත් නොවන බවයි.

පාර්ලිමේන්තු ආලින්දයේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කීවේ එතරම් වැදගත් වාර්තාවකට විමල් වීරවංශ විරුද්ධ වුයේ අයිද? කියායි.

නාමල් තංගල්ලේ සිට වැඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී දක්නට නොවිණ.

“මොකද නාමල් මන්ත්‍රීතුමා පේන්නේ නැත්තේ” මන්ත්‍රීවරු කිහිපදෙනෙකු විමසන්නට වුහ.

ඔවුන් කිහිපදෙනෙකු නාමල්ට දුරකතන ඇමතුම් ලබා දුන්හ.

“මං මෙහේ වැඩ. හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම බිම් මට්ටමේ වැඩ කරගෙන යනවා. උදේ පටන් ගත්තම මහ රෑ වෙනකම්ම දිගටම රැස්වීම්. ” නාමල් පැවසීය.

“හොඳයි.හොඳයි අපිත් පුළුවන් හැම රැස්වීමකටම එනවා” එම මන්ත්‍රීවරු නාමල්ට පැවසුහ.

හම්බන්තොට හා රත්නපුරයේදී වජිරට ඉහළ පිළිගැනීමක්

පසුගිය ඉරිදා දිනය පුරා හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හී සංචාරය කළ වජිර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව එම දිස්ත්‍රික්කවල සිටින පාක්ෂිකයින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කළ අතර රත්නපුර දිස්ත්‍රික්කයේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් එළඹෙන මැතිවරණයට අදාළ ඡන්ද පොත් අපේක්ෂක අපෙක්ෂිකාවන් වෙත ලබාදීමද සිදුකළේය.

මෙම සියලු රැස්වීම් සඳහා පක්ෂ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් සහභාගීව සිටි අතර ඔවුන්ගෙන් වජිරට ඉහළ පිළිගැනීමක් ද ලැබිණි. 

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සභාපතිවරයා ලෙස පක්ෂය නඟාසිටුවීමට දැවැන්ත වෙහෙසක් දරමින් එතුමා ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධවත්, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශාල ශක්තියක් වෙමින් රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සවියක් වීම සම්බන්ධවත් වජිරව පාක්ෂිකයින් අගය කළහ.

“ අපි දන්න දේශපාලනය ඊට වැඩිය බොහෝම වෙනස්. අපි කාටවත් පහර ගහන්නේ නැහැ. රට ගොඩගන්න නම් සියලුදෙනාම එකට එකතු විය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන්නෙත් එයයි. දැන් බලන්න අද වනවිට ඩොලර් එක රු.360යි. හෙමින් හෙමින් බඩු මිළ පහළට එමින් තිබෙනවා. දැන් හදනවා ඒකට බාධා කරන්න. මේකට අහුවෙන්න එපා. “

ඝාතනය වු දේශපාලන නායකයන් 125ක ගේ ලැයිස්තුවක් වජිර හෙළි කරයි

දේශපාලන නායකයෝ මැරිලා තියෙනවා 125 ක්. මේ ඔක්කමෙ කුලල් කාගෙන මැරිලා තිබෙන්නේ. ඉතින් මං පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා ලැයිස්තුවේ යටින් නම ලියාගන්නෙ නැතුව ඔක්කොම එකතු වෙන්න කියලා. ඉතින් ඒක වරදක් නෙමේනෙ. ඇතැම් අය පසුගිය දවසක එයත් විවේචනයට ලක් කරනවා මම දැක්කා. ඒ අය වෛර කළාට අපි කාටවත් වෛර කරන්න යන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඈත දැකලා එතුමා කියනවා මේ ඡන්දයට එතුමා නෑ කියලා. එතුමා හරි. මොකද එතුමාට භාර දීපු වගකීම වෙනස්. ගාල්ලෙ පිට්ටනියේ වටේ තියෙන හිස් ගෑස් ටැංකි පුරවන්න බලන්න ඕන. පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් හිඟා කන එක නවත්වන්න බලන්න ඕන. දැන් එතුමා ඒක කරගෙන යනවා. .” යැයි වජිර මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

මෙම රැස්වීම් සඳහා විශාල පාක්ෂිකයින් පිරිසක් සහභාගීව සිටියත් මෙම රැස්වීම් අවසන් වූ පසු මේ සියලුම පාක්ෂිකයන් ළඟට ගොස් ඔවුන් සමඟ කතාබහ කිරීමට ද වජිර අමතක නොකළේය.

සරසවි සිසුන්ගෙන් අජිත් රාජපක්ෂට ඉහළ ප්‍රතිචාරයක්

පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කැඳවා තිබුණේ ඔහුට සිදුකරන ලද අපහාසායකට සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සම්බන්ධයෙනි.

මෙම විභාගයේදී අජිත් රාජපක්ෂට සිදු වු අසාධාරණය ඉතා හොඳින් පෙන්නුම් කෙරිණි. අසත්‍ය ප්‍රවෘත්තියක් අජිත් රාජපක්ෂට එරෙහිව පළකර ඇති බව මෙහිදී හෙළි වු අතර එම වැරදි ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙසට පුවත්පත් කොමසාරිස් විසින් අදාළ පුවත්පත්වලට දැනුම් දෙන ලදී.

මෙම විභාගය නැරඹීම සඳහා පැමිණ සිටි සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය වන හැටි දැක දැඩි කළකිරීමකට පත් වුහ.

ඔබතුමාට ලොකු අසාධාරණයක් වෙන්න ගියේ. කියමින් පැමිණි සරසවි සිසු සිසුවියන් අජිත් රාජපක්ෂ සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද කටයුතු කළහ.

Comments