මැති සබයේදී මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයකුට ෆයිට් එකකට කතා කරයි | සිළුමිණ

මැති සබයේදී මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයකුට ෆයිට් එකකට කතා කරයි

පාර්ලිමේන්තුව පසුගිය සතියේදී රැස්වූ අතර උණුසුම්කාරී සිදුවීම් කිහිපයක්ම සිදුවිය.

ජනපති රනිල් යාලට

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ සෙනසුරාදා යාලට ගියේ නව අායෝජනයක් වූ තරු පන්තියේ හෝටලයක් විවෘත කිරීමටය. එහිදි නියඟයෙන් පීඩාවට පත් යාල වනෝද්‍යානයේ වන සතුන් වෙනුවෙන් කෘත්‍රිම පොකුණු සාදන අවස්ථාවක් නිරීක්ෂණය කිරීමට හැකිවිය. සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මෙන්ම අ‍ෙමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද මේ අවස්ථාවට එක්විය.

යාල දී ඇමැතිවරයෙකුට සජිත් මතක් වෙයි

නිතර යාලට යන විපක්ෂ නායක ගැන කියූ කතාවක් නිසා හරීන්ට සිනහව නතර කර ගත නොහැකි විය. අසල සිටියවුන් ඒ ගැන විමසද්දී හරීන් කීවේ අපි විපක්ෂ නායක කාර්යාලය යාල ඉදිකිරීමට සැලසුම් කරන බවය.

තරු පන්තියේ හෝටලය විවෘත කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා ගැන සිහිපත් කළ ජනපති එය අවසන් කොට පැමිණියේ සිය සිංගප්පූරු සංචාරය සඳහා සූදානම් වීමටය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජනපති අමතා විමසුවේ එල්.පී.එල් අවසන් මහා තරගය ඛෙත්තාරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බැවින් එහි යාමට වේලාවක් තිබේද යන්නයි.

ජනපති රනිල්ට ක්‍රිකට් ලෝලීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර

ඊට කැමැත්ත පළ කළ ජනපති රනිල් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන තුරු ක්‍රිඩාලෝලීන් කිසිවෙකුත් ඒ ගැන දැන සිටියේ නැත. ජනපති සිටින තැන ක්‍රීඩාංගණයේ කැමරා ශිල්පීන්ට රූපගත කරගත නොහැකි බව දැනගත් ජනපති මාධ්‍ය අංශයේ නිලධාරීන් ඔවුන්ට වහාම එම අවස්ථාව උදා කර දුන්නේය.

ක්‍රීඩාංගණයේ සවිකළ පුළුල් රූපවාහිනි තිරමත ජනපති තරගය නරඹන දර්ශන විකාශය වෙද්දී තරග නිවේදකයන් ද ඒ ගැන ප්‍රකාශ කළ අතර, ඊට ක්‍රීඩාලෝලීන්ගෙන් පළවූයේ වෙනස්ම ප්‍රතිචාරයකි. ඔවුන් සිය ජංගම දුරකතනයන්හි “ෆ්ලෑෂ් ලයිට්” දල්වා තාලයකට දෑත් වනන්නට වූහ.

ක්‍රිඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ක්‍රිඩාංගණයේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිට තරගය නරඹද්දී පකිස්ථානයේ හිටපු ක්‍රීකට් නායක වසීම් අක්‍රම් ද ජනපති අසලට පැමිණ කතාබහ කරන්නට වූහ. පැයකට ආසන්න කාලයක් තරගය නැරඹූ ජනපති රනිල් ඉන් පිටවයද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල අසලට පැමිණි ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් අමුතු කතාවක් කීවේය.

“ජනාධිපතිතුමා එනවා කිව්වම අපි ටිකක් බය වෙලා හිටියේ. මොකද තරග නරඹන්න ආපු ජනාධිපතිවරුන්ට ප්‍රේක්ෂකයෝ හූ කියපු කාලයකුත් තිබුණානේ. නමුත් මේ ජනාධිපතිතුමාට ලැබුණේ හිතාගන්න බැරි චියර් එකක්“

සිංගප්පුරු ගමනේදී රටට වැදගත් තීරණ රැසක්

සඳුදා සිංගප්පූරුවට පැමිණි ජනපති ඇතුළු පිරිසට හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එස්.එච් සමරතුංග, ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ හා පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද ගමනට එක්ව සිටියහ.

කෙටි සංචාරයක් වුවද රටට වැදගත් කාරණා ගණනාවක් ගැන මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. බලශක්ති ක්ෂේත්‍රය, දේශගුණික විපර්යාස පිළිබඳව මෙන්ම අතහැරුණු සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැනද සාකච්ඡා කළෝය. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ආරක්ෂව ගැන මෙන්ම නිපුණතාවය සහිත ශ්‍රමිකයන් සිංගප්පූරුවට යැවීම ගැන ද කතාබහට ලක්විය.

ජනපති රනිල් ඇතුළු පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුවේ එරට විදේශ ඇමැති හා ස්වදේශ කටයුතු සහ කම්කරු අමාත්‍යවරයා විසිනි. වසරක් තුළ ශ්‍රී ලංකාව වෙනස් කළ ආකාරය ගැන ජනපති පැසසුමට ලක්කළ ඔවුන් එය ලෝකයටම ආදර්ශයක් බව කීවෝය.

මෝල්ටාවේ මුදල් ගැන මැති ඇමැතිවරුන් කතා කළේ මොනවාද?

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ත්‍රිකුණාමලය බලා පිටත්වයාමට නියමිතව තිබුණත් ඊට පෙර ඔහු තවත් හමුවීම් කිහිපයකට වේලාව වෙන්කරගෙන තිබුණි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යාමට පෙර ජනාධිපති කාර්යාලයේදී මැති ඇමැතිවරු කිහිපදෙනකු මුණගැසුණේ රටේ දේශපාලන, ආර්ථික තත්ත්වය ගැන කතා කිරීමටය.

“දුමින්ද නාගමුව මෝල්ටාව ගැන කරපු කතාවට අනුර දිසානායකගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. හැබැයි සාගර කාරියවසම්ටයි, තිස්ස කුට්ටිටයි නම් එන්තරවාසි යවලා.” මහාචාර්ය ආශු කීවේ කට කොනකට සිනහවක්ද නඟාගෙනය.

“අපේ ටිරාන් අලස් ඇමැතිතුමා නම් සිද්ධිය ගැන හොයන්න සී.අයි.ඩි එකට දීලා තියෙනවා. හැබැයි අනුර දිසානායක මේ කාරණය ගැන මුකුත්ම කරලා නෑ. අඩුගානේ පාර්ලිමේන්තුවේදීවත් මේ ගැන කතා කළේ නෑනේ.” ඇමැති චාමර සම්පත් ද කතාවට එකතු වූවේය.

“ලෙටර් ඩිමාන්ඩ් යවලා නඩු විභාග කරලා තීන්දුවක් එනකොට අවුරුදු 10 ක් විතර යයි. මෝල­්ටාවේ ගිණුම්වල ඔය සල්ලි විතරක් නොවෙයි රාජපක්ෂලා දුන්නු සල්ලිත් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.” මන්ත්‍රී වජිර අබේවර්ධන කියද්දී සැමට සිනහව නතර කර ගැනීමට නොහැකි විය.

දූෂණ මර්දන කාර්යාලයේ ප්‍රධානියාගේ වතගොත එළියට

“අපි හිනාවුණාට එතනත් ගන්න දෙයක් නැතුවාම නොවෙයිනේ. යහපාලන ආණ්ඩුව කාලේ දාපු දූෂණ මර්දන කාර්යාලයේ ප්‍රධානියා වුණේ ආනන්ද විජේපාල කියලා කෙනෙක්. එතුමා පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධානියෙක් විදියට එළියට ආවා. දූෂණ මර්දන කාර්යාලය තිබුණේ එයා යටතේ.” මධුර විතානගේ මන්ත්‍රීවරයා ද කතාවට සම්බන්ධ වූවේ එලෙසිනි.

“ඔව් දුෂණ මර්දන කාර්යාලයේ හිටපු වැලිඅමුණ රටින් පිටවෙලා ගියා.. ජයම්පති වික්‍රමරත්නත් රටේ නෑ. දුෂණ මර්දන කාර්යාලය කියපු නිසා පැමිණිලි විභාග කළ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු වැටුණා. නමුත් ආනන්ද විජේපාල එළියේ ඉන්න එක හිතන්න ඕන කාරණයක්.” ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් මතු කළේය.

“ දැන් මේ සිද්ධිය හොයන්න කියලා ටිරාන් අලස් ඇමැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීලා තියෙන නිසා ඔබතුමන්ලට තියෙන්නේ ඔය කියන කාරණය ගැනත් පරීක්ෂා කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන එක.” මහාචාර්ය ආශු කතාව අවසන් කළේ එලෙසිනි.

ජනපති රනිල් එදින ඉන්දියන් අගමැති මෝදිට විශේෂ පණිවුඩයක් යවමින් සඳ මතට ගිය හතරවෙනි රාජ්‍ය වීම ගැන සුබපැතුම් එක් කළේය.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අගමැති දිනේෂ්ගෙන් අස්වැසුමක්

පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අඟහරුවාදා (22) ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පෙ.ව. 8.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා තිබිණි.

පුරා වස්තු ආඥා පනත යටතේ නියෝගවලදී පුරා වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා තෑගි මුදල් දීම සඳහා අනුමැතිය ලබා ගැනීම ද සැලසුම් කර තිබිණි.

" මේ ගැන විසඳා ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා" මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම කියා සිටියහ.

ඒ අනුව ඒ ප්‍රශ්න විසඳා ගැනීමට විෂය භාර ඇමැතිවරයා සමඟ වෙනම රැස්වීමක් කැඳවීමට තීරණය විය.

"මේ නිලධාරීන් ගියාට පස්සේ අපිට කතාකරන්න දේවල් වගයක් තියෙනවා" ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරයෙක් කීය.

ඒ වන විට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය රොෂාන් රණසිංහ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රධාන මේසයේ රැඳී සිටියහ. තිස්ස කුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්, ජයන්ත කැටගොඩ, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ යනාදී මන්ත්‍රීවරු ශාලාවේ ඉදිරියටම පැමිණ සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

"ඇතැම් ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂයේ අපිව නොසලකා හරිමින් කටයුතු කරනවා. මේ විදියට නොසලකා හරින ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂවලට අයවැයේදී ඡන්දය දීමට හැකියාවක් නැහැ, අගමැතිතුමනි" ඔවුහු සිය දුක්ගැනවිලි අගමැති දිනේෂ් වෙත ඉදිරිපත් කළහ..

"ඇතැම් ඇමැතිවරු විදේශ රැකියා දෙන බව කියා, තමන් ඊට අදාළව ලබාදුන් එම ලැයිස්තු නොසලකා හැරලා තියෙනවා" තිස්ස කුට්ටි ආරචිචි කීය.

"අපිට ගම්වලට යන්න බෑ. ප්‍රදේශවාසින් අපිට බනිනවා" සමන්ප්‍රිය හේරත්ද එකතු කළේය.

"සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරුන්ට පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා" සිය මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රශ්න සාවධානව අසා සිටි දිනේෂ් පැවසීය.

"අපිට ඔබතුමාත් ඉන්න, ජනාධිපතිතුමත් ඉන්න රැස්වීමක් ඕනේ" පසු පෙළ මන්ත්‍රීවරු පිරිස කිය.

එහෙත් සාකච්ඡාව දිගින් දිගටම ඇදීගොස්, මන්ත්‍රීවරුන් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම නිසා අගමැතිවරයා පාර්ලිමේන්තුව ආරම්භ වන පෙ.ව. 9.30ට සභා ගර්භයට නොගොස් රැස්වීමේ රැඳී සිටියේය. ඇල්කඩුව වතුයායේ ප්‍රශ්නයක් නිසා සභා ගර්භයේ උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ බව දිනේෂ්ට දැනගන්නට ලැබුණේ එම අවස්ථාවේදීය.

"පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රශ්නයක්. අපි ඔක්කොම එතනට යන්න ඕන. අපේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරමු" එසේ කී දිනේෂ්, රැඳී සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසද සමඟ සභා ගර්භයට ගියහ.

මැතිසබය ඇවිළුණු හැටි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර හා නිදහස ජනතා සභාවට සහය දක්වන වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම නිසා පසුගිය බදාදා, පාර්ලිමේන්තුව දැඩිව උණුසුම් විය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමටත්, අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාට සභාව තහනම් කිරීමටත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පියවර ගත්තේය.

එහෙත් පාර්ලිමේන්තුව නොසන්සුන් වන්නට පටන්ගත්තේ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අසා තිබූ ප්‍රශ්නයක් නිසාවෙනි.

ඒ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රශ්නයකි.

" මෙතුමා මේ ප්‍රශ්නය මීට කලින් වතාවෙත් අහල තිබුණා. මේක නඩු කටයුත්තකට සම්බන්ධයි. ඒක නිසා උත්තර දෙන්න බැහැ" මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කීය.

ඉන් සෑහීමකට පත්නොවුණු විජේසිරි මන්ත්‍රීවරයා දිගටම කතා කරන්න උත්සහ ගත්තේය.

"පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව එකම ප්‍රශ්න දෙපාරක් අහන්න බැහැ. මෙතුමා අහන්නෙ පාර්ලිමේන්තු නිලධාරියෙකු හදල දෙන ප්‍රශ්න" ඩී. වීරසිංහ මන්ත්‍රීවරයාද කතාවට මැදිහත් විය.

නිදහස ජනතා සභාවට සහය දක්වන වසන්ත යාපා බණ්ඩාරට තිබුණේ අලින් පිළිබඳ ප්‍රශ්නයකි. එයට වනජීවි ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පිළිතුරු දුන් අතර, වසන්ත යාපා මන්ත්‍රීවරයා තවත් අතුරු ප්‍රශ්නයක් ඇසීය. ඒ මුතුරාජා හස්තියා සම්බන්ධයෙනි.

" මම මේකට 27/2 යටතේ දීර්ඝ පිළිතුරක් දීල තියෙනවා." ඇමතිනිය කීවාය.

ඉන් සෑහීමකට පත් නොවූ වසන්ත යාපා මන්ත්‍රීවරයා තවත් අතුරු ප්‍රශ්නයක් ඇසීය.

"මේක මට අදාළ නැහැ"කී ඇමතිනිය සභාවෙන් ඉවතට ගියාය.

වසන්ත යාපා මන්ත්‍රීවරයා දිගින් දිගටම කෑ ගසන්නට විය.

"මන්ත්‍රීතුමා නිකං බොරුවට කෑ ගහල කාලය කන්න එපා. අද වැදගත් විවාදයක් තියෙන්නේ" ඇමැති ප්‍රසන්න කී අතර, එයට අවනත නොවුණු යාපා මන්ත්‍රීවරයා දිගටම කෑ ගැසූහ.

ඒ අතරවාරයේදී රාසමානික්කම් මන්ත්‍රීවරයා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත නැඟි සිටියේය.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරට බාධා කරමින් නැඟී සිටි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා බිංගිරිය ප්‍රාදේශීය සභාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇසීය.

ඒ සමඟම සභාව උණුසුම් විය.

කසිප්පුකාරයා,බේබද්දා වැනි දෑ කියවමින් දෙපාර්ශවයේම මැති ඇමැතිවරුන් කෑ කෝගසන්නට පටන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් විය.

ගහගැනීමට කතා කරයි

" වරෙන් ඩෝ ගහගන්න. තෝ දන්නේ නෑ මම කවුද කියල" වසන්ත යාපා රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේට අභියෝග කළේය.

"පුළුවන් දෙයක් කරපන්" කී තේනුකද වසන්ත යාපා අසලට ගියේය.

එහෙත් පාර්ලිමේන්තු වේත්‍රධාරි මැදිහත්වීම මත ගැටුමක් ඇතිවීම වැළකුණි.

" විපක්ෂ නායකතුමා මේ මන්ත්‍රීවරුන් හදාගන්න.මෙහෙම හැසිරෙන්න දෙන්න බෑ" කී නියෝජ්‍ය කථානායකවරයා නලීන් බණ්ඩාර හා වසන්ත යාපා මන්ත්‍රීවරුන්ට සභාවෙන් ඉවතට යන ලෙස දැන්වීය.

" ඔයාල වාඩිවෙන්න" කී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,, ඇමැති ප්‍රසන්න රණතුංගද වහාම ඉදිරියට ගොස් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිස පසුපසට ගත්හ.

ෆේස්බුක් සජීවී විකාශයත් සමඟ මන්ත්‍රීවරු දෙදෙනා පිටව යති

නලීන් බණ්ඩාර හා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනාට සභාවෙන් ඉවත් වන ලෙසට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ නියෝග කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා පිටව ගියේ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම හරහා එම අවස්ථාව සජීවි ලෙස ජංගම දුරකතනයෙන් විකාශනය කරමින්ය.

“මෙන්න අපි දැන් සභා ගර්භයෙන් එළියට දැම්මා. අපි දැන් යන්න යනවා. අපිට කැඳ බොන්නවත් හම්බවුණේ නැහැ කියමින් ඔවුන් දෙදෙනා පිටව යන විට ඔවුන්ට පිටුපසින් පැමිණියේ ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයාය.

ඒ කැඳ කතාව ඇසුණු ගයාශාන් මන්ත්‍රීවරයා සජීවි විකාශයටම කෑ ගසමින් කියා සිටියේ “ඔය බො‍රු කියන්නේ. දෙන්නම උදේ කැඳ බිව්වා.“ යනුවෙනි.

ලාන්සා ඇතුළු පිරිසක් තරු පහේ හෝටලයක

නව සන්ධානයේ සංවිධාන කටයුතු කොට්ඨාස මට්ටමින් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලය සඳහන් කරයි. පක්ෂ කාර්යාලයේ සූදානම එසේ තිබියදී සති දෙකක කාලයක විදෙස් සංචාරය නිමවා දිවයිනට පැමිණි නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් බදාදා පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලයකදී හමුවූහ.

"ඇමැතිතුමා..නව සන්ධානයේ වැඩ හරියටම පටන් ගන්නත් කලින් පොහොට්ටුවේ අය හොඳටම බයවෙලා.දිගට හරහට ගහනවා නේද?"හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලාන්සා දෙස බලමින් කිවේය.

"ඔව් ඔව් පොහොට්ටුව හදනකොට ලොවෙත් හිටපු නැති සාගර ඉතිහාසය දන්නේ නැතිව ගිරවෙක් වගේ කියවනවා"නලින් ප්‍රනාන්දු කිවේය.

නාමල් විපක්ෂයට යනවාද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර හමුවක් පසුගිය 24 වැනිදා රාත්‍රී කොළඹ එක්තරා ස්ථානයකදී පැවැත්විණි.

නාමල් මන්ත්‍රීතුමා විපක්ෂයට යනවාද? මුලින්ම එන්නේ මොන මැතිවරණයද? පොහොට්ටුවේ අනාගතය කුමක්ද? ඇතුළු ප්‍රශ්න රැසක් මාධ්‍යවේදී විසින් නාමල් රාජපක්ෂට යොමු කරන ලදී. දැනට ආණ්ඩුවත් සමඟ සිටින බවත් විපක්ෂයට යාමට අවශ්‍ය වුණොත් එය අවස්ථාව අනුව තීරණය කරන බවත් නාමල් ප්‍රකාශ කළේය.

බොහෝදුරට මුලින්ම ජනාධිපතිවරණය පැමිණීමට ඉඩ තිබෙන බවත් ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව සූදානම් බවත් නාමල් පැවසීය.

දැවැන්ත සන්ධාන‍යක් හදන බව සජිත් කියයි

ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය අවසන් කිරීම උදෙසා දැවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය මේ වන විට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

"රටේ ගන්න දෙයක් නෑ. මුළු රටම ඉවරයි. මේ හිතුවක්කාරී ආණ්ඩුව එළවන්න ඕන “ නලීන් බණ්ඩාර කීවේය.

"මේක බොරු සෝබන ආණ්ඩුවක්. මෙහෙම ගියොත් රටක් කියලා දෙයක් ගන්න ඉතිරි වෙන්නේ නෑ." එහෙම කීවේ ගයන්ත ය.

"මේ ගමන නවත්තන්න නම් අපි වහාම දැවැන්ත සන්ධානයක් හදන්න ඕන." ඒ යෝජනාව ගෙනාවේ රංජිත් මද්දුමබණ්ඩාරය. 

"තවත් කල් දමන්න දෙයක් නැහැ. ප්‍රගතිශීලී කණ්ඩායම් එකතු කරගෙන අපි සන්ධානය හදමු" සජිත් සිය අනුමැතිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දුන්නේය.

රනිල්ගේ අත්දැකීම්වල වටිනාකම වජිර පෙන්වා දෙයි

රනිල් වික්‍රමසිංහයන් පසුගිය වසරේ අගමැති ධූරයත් ඉන් අනතුරුව ජනාධිපති ධූරයත් ලබාගෙන රට වැටී තිබුණු තැනින් ගොඩගෙන මේ දක්වා පැමිණි ගමන්මඟ පිළිබඳව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම සඳහා පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා සවස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.

“රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වයේ සුවිශේෂ ලක්ෂණය තමයි ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීම. එසේම ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද රටේ ජාතික යහපත සඳහා යොදවා ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් විසින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා වර්ෂයක් වැනි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට විශාල අණ පනත් රාශියක් ගෙනැවිත් තිබෙනවා.“

මානසික ත්‍රස්තවාදය ගැන වජිර කට අරී

“ මානසික ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට නීති රීති අත්‍යවශ්‍යයයි. දැන් මෙම ත්‍රස්ත විරෝධී පනත ඉදිරිපත් කළ විට ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මෙය මාධ්‍ය පාලනය කිරීම සඳහා ගෙන එන නීතියක් බවයි. එය සම්පූර්ණ අසත්‍යක්. මාධ්‍යයට වෙනම නීති රීති මාලවක් අවශ්‍යයයි. එය වෙනම සාකච්ඡා කර බැලිය යුතුයි. කෙසේ හෝ එම අවස්ථාවේ ඒ සඳහා නීති රීති ශ්‍රී ලංකාවේ සකස් වී තිබුණා නම් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මනස වෙනස් කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණු කිරීම් සඳහා යොමු කරන්නට තිබුණා. ඔවුන්ගේ මනස වෙනස් කිරීමට නොහැකි නම් ඔවුන් මහජන ආරක්ෂාව සඳහා අත්අඩංගුවේ තබා ගැනීම වැදගත්ය.

උදාහරණ හැටියට ගත්තොත් එවැනි මානසික ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජන ජීවිතයක් ගතකරමින් සිටියත්, ඔහුට ඒ මානසික ත්‍රස්තවාදයෙන් ලැබෙන දුරකතන පණිවුඩයක් හරහා වුවත් යම් ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමට පුළුවන්. එවිට ඔහු පුපුරවා ගන්නා අවස්ථාව දක්වා ගමන් කරන්නේ මානසික ත්‍රස්තවාදීන් ලෙසය. එය පාලනය කිරීම ජාතික අවශ්‍යතාවයකි. එම නිසා ත්‍රස්ත විරෝධී පනත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යය සංවර්ධනය කිරීම සඳහා මාධ්‍යය වඩාත් දියුණු කිරීම සඳහා ද විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා. බොහෝවිට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ප්‍රකාශ කරන ප්‍රධාන කාරණයක් වන්නේ ලංකාව සිංගප්පූරුවක් කළ යුතු බවයි. ලංකාව මැලේසියාවක් කළ යුතු බවයි. ලංකාව යුරෝපයක් කළ යුතු බවයි. නමුත් අපේ මතය ලංකාව සිංගප්පූරුවක්වත්, ලංකාව වෙනත් රටක්වත් නොවෙයි කළ යුත්තේ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවක් ලෙස නැඟිට විය යුතුව තිබේ.”යනුවෙන් ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

Comments