රට බංකොලොත් බවට මහ බැංකුව ප්‍රකාශ කරනු ලබන්නේ 2022 අප්‍රේල් මාසයේදී ය. ඒ වන විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් රට පුරා පැවැති අතර විදුලිය ද පැය 10කට වැඩි කාලයක් කප්පාදු කෙරිණි. ඒ වන විටත් ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත යුතු බවට ප්‍රකාශ වී තිබුණි.
ඒ අනුව පැවැති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් ඉල්ලා සිටි අතර අයි. එම්. එෆ් ලබා දුන් පිළිතුර වූයේ පළමුව ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලසාර්ඩ් යන ජාත්‍යන්තර විගණන සමාගමේ සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන නීතිඥ සමාගමේ සහාය ලබා ගැනීමට තීන්දු කළේය.
ඊට කැබිනට් අනුමැතිය ලැබුණ ද රටේ ඒ වන විටත් පැන නැඟී තිබුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මහමඟට එක්රොක් වෙමින් තිබුණි. පවතින ආර්ථික ගැටලු විසඳන ලෙස ඉල්ලමින් ජනයා ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර ඉදිරිපස පෙදෙස අරගල භූමියක් බවට පත් කරගෙන සිටියෝය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති ඉල්ලා අස්වන්නේ ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වන ප්‍රහාරයත් සමඟිනි.
අගමැතිවරයකු, ඇමැති මණ්ඩලයක් නොමැතිව රට අරාජික වෙද්දී ජනාධිපති ගෝඨාභය අගමැති ධුරය භාර ගන්නා ලෙස විපක්ෂයේ පක්ෂ නායකයන්ට ඇරයුම් කරන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධූරය භාර ගැනීමට කොන්දේසි ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද කොන්දේසි ඉදිරිපත් කළේය.
ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළ කොන්දේසිවල ප්‍රධාන කොන්දේසියක් වූවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉවත් විය යුතුය යන්නය. අවසානයේ කිසිදු කොන්දේසියක් නොමැතිව අගමැතිධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ අලුත් වටයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.
ඔහු මුලින්ම ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් වෙත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය. එසේම ණය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය. ඉන් පසු ණය හිමියන් හා සාකච්ඡා කිරීමට පටන් ගත්තේය.
එහි පූර්ණ වගකීම සියලු පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත පැටවෙන්නේ සාගල රත්නායක කාර්ය මණ්ඩල ප්‍රධානිගේ කර මතය. රනිල් වික්‍රමසිංහ අගමැති වී මාස දෙකක් තුළ ජනපති පදවියට පත්වීම නිසා සාගල රත්නායකට මේ කටයුත්ත කරගෙන යාමට වඩාත් පහසු වන්නේය.
ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශයට පත් කොට තිබීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ණය ගෙවන්නේ කෙසේද යන්න ගැනත් සැලසුම් සකස් කිරීමට සාමූහික කාර්යභාරයට උර දෙන්නට සිදු වූවේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හටය. ඔහු විසින් ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති අලි සබ්‍රි ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළේය. ඒ මන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පළමුව සාකච්ඡා ආරම්භ කළේ ඔහු වීම නිසාය.
ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති උපදේශකයන් වන ආර්.එච්.එස් සමරතුංග, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්තිනි දේවරාජන් ඇතුළු පිරිස සම්බන්ධ කර ගනිමින් පළමුව ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන සමඟ සාකච්ඡා කරමින් වැඩපිළිවෙළක් සකස් කරන්නට වූයේය.
ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උපදේශක මණ්ඩලය සමඟ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් බෘවර් සමඟ ද සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ණය සහනයක් ලබා ගැනීම වෙනුවෙන් මූලික සාකච්ජා ආරම්භ කළේ සාගල රත්නායක විසිනි.
ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වූ ඉන්දියාව, චීනය, ජපානය, පැරිස් සමාජය ආදී ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සමාගම් සමඟ සාකච්ඡා කරමින් ණය තිරසරභාවය වෙනුවෙන් කටයුතු කරන්නට වූවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කරන්නේම පියවරක් පසුපස සිටය.
ඒ මන්ද ලංකාව මීට පෙර 16 වතාවක් ණය ගෙන තිබීමත්, ඉන් 06 වතාවක් ණය ගිවිසුම කඩකිරීමත් යන කාරණය පදනම් කරගෙනය. එසේම දේශපාලන අස්ථාවරත්වයත්, ගන්නා ණය නිසි කළමනාකරණයක් කරාවි ද යන සැකයත් ඔවුන් සතු විය. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කරන්නේම අවිශ්වාසය පදනම් කරගෙනය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට සිදු විය.
දිවා රෑ නොබලා කළ මේ වැඩපිළිවෙළට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගෙන් හා අනෙක් කණ්ඩායම්වලින් උපරිම සහායක් ඔහු වෙත නිරතුරුව ලැබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ද සම්බන්ධ වෙමින් ඔහු සාකච්ඡා කරන්නට වූවේය.
කිසිවකුටත් දොස් පවරන්නේ නැතුව කණ්ඩායම එක මිටට ගෙන ඉදිරියට යාමට සමත්වීම තුළ අද වන විට ණය වාරිකය අනුමත වී තිබේ. එහෙත් පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ පළමු කොන්දේසිය වූවේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දී එම ණය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලන ණය ගෙවීමට ශ්‍රී ලංකා රජය ආදායම් උපදවා ගන්නේ කෙසේද යන්නය. ආදායම් උපදවා ගැනීමට නම් ජනතාව මත බදු පැනවිය යුතු බව ඔවුන් දැඩිව කියා සිටියේය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇත්තේ සාමාජික රටවල ජනතාවගෙන් අය කරගත් බදු මුදල් බැවින් ලංකාවේ ජනතාවගෙන් ද බදු මුදල් අය කරගත යුතුයි.” මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී දේය. මේ අතර ප්‍රායෝගික නොවන යෝජනා ද ඉදිරිපත් වූවේය. ඒ අතර සුරා බදු වැඩි කිරීම ප්‍රධාන කාරණයක් විය.
සුරා බදු 40% කින් ඉහළ දැමිය යුතු බවට යෝජනා වූවේය. මත්පැන් හා දුම්වැටි බද්ද 40% සීමාවට ගෙන ආ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජනා ඉදිරිපත් වූවේය. එය ප්‍රායෝගික නොවන බව සාගල රත්නායක පෙන්වා දුන්නේය. අවසානයේ එය 20% බැගින් කොටස් දෙකකට අය කිරීමට තීන්දු වූවේ සාගල රත්නායකගේ දැඩි කැපවීම මතය.
මෙෙලස සුරා බදු වැඩි කිරීම තුළ නීත්‍යනුකූල නොවන මත්පැන් අලෙවිය ඉහළ යා හැකි බව ඔහු දිගින් දිගටම පෙන්වා දුන්නේය. ඔවුනට ගැනීමට අපහසුම තීන්දුව වූවේ ඉන්ධන මිල හා විදුලි මිල සංශෝධනය ය. ඒ මන්ද වියදමට සාපේක්ෂව තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ආදායම් ඉහළ දමාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා තිබුණි.
දේශපාලන මැදිහත් වීම මත තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්ව තිබුණි. වැරැදි දේශපාලන තීන්දු හේතුවෙන් එකවර වැඩි ගණනකින් ඉන්ධන මිල හා විදුලි බිල ඉහළ දැමීමට වූ තීන්දුව ගැනීමට මේ පිරිසට සිදු විය. බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විදුලි බල හා තෙල් සංස්ථා නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් අවසානයේ වියදමට සාපේක්ෂව මිල සූත්‍රයක් සකස් කිරීමට කටයුතු කරන ලදි. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළ ද විදුලි මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පැන නැඟුණේ මහජන උපයෝගිතා කොමිසම සමඟ මතු වූ ගැටලුව හේතු කර ගනිමිනි. අවසානයේ ජනපති රනිල්ගේ ද සහායෙන් එම ගැටලුව අවසන් කිරීමට හැකියාව උදා විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තවත් කාරණයක් වූවේ ආදායම් බදු ප්‍රතිශතය ඉහළ නැංවිය යුතු බවය. එහිදි ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව වූවේ මාසික ආදායම රුපියල් 43,000 සීමාවෙන් ඔබ්බට සියලු දෙනාගෙන් ආදායම් බදු අය කර ගත යුතු බවය. එය දැඩි පීඩාකාරි කොන්දේසියක් බව පෙන්වා දීමටත් පවතින උද්ධමනය හමුවේ ජනතාව මින් දැඩි පීඩාවට පත්විය හැකි බවත් පෙන්වා දෙමින් සාගල රත්නායක කාර්ය මණ්ඩල ප්‍රධානි කළ සටන ජයග්‍රහණය කරමින් අවසානයේ 1,10,000 සීමාවට ගෙන ඒමට හැකියාව උදා වූවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ද්වි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ණය හිමියන් සමඟ කළ සාකච්ඡා සාර්ථක තත්ත්වයට පත් වූවේය. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. එහෙත් චීනයේ එකඟතාව ලබා ගැනීම මඳක් ප්‍රමාද වූවේ ඒ වන විටත් ඔවුන්ගේ වාර්ෂික පක්ෂ සම්මේලනය පැවැත්වෙමින් තිබූ නිසාවෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසි ලෙස ඉටු කරමින් පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය තහවුරු වීම නිසා එහි අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටීනා ජෝර්ජිවා ද මෙරටට උපකාර කිරීමට ඉදිරිපත් වූවාය. ඒ වෙනුවෙන් ඇය චීනය බලා පිටත්ව ගියේ ලංකාව ගැන කතා කිරීමටය. අවසානයේ චීනය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කරමින් ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ ද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයෙන් ලැබී නොතිබිණි.
එහිදි ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද යම් අපහසුතාවකට පත් වූවේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මේ ගැන චීන තානාපති කාර්යාලය සමඟ දිගින් දිගටම සම්බන්ධ වෙමින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ද ඊට මැදිහත් වූවාය. අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් චීන අගමැති සමඟ සාකච්ඡා කිරීමට අයි. එම්. එෆ් ප්‍රධානියා ඉදිරිපත් වූවේය. ඇගේ මැදිහත් වීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයේ ලිපියක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීමට ක්‍රිෂ්ටීනා ජෝර්ජිවා සමත් වූවාය.
ඒ අනුව මාර්තු 20 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මත මෙරටට මෙරටට ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකම ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කළේය. 17 වෙනි වතාවට ලංකාවට හිමිවූ ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නා අවසාන ණය පහසුකම බවට පත් කර ගනිමින් රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය කටයුතු කරනා බව කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මේ ලියුම්කරු සමඟ පැවසුවේය.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නිහඬව සහාය දුන් මෙරට ජනතාව වෙත ද ඔහු කෘතඥතාව පළ කළේය.
ශමල් සෙනරත්, විධායක අධ්‍යක්ෂ - එක්සත් ජාතික පක්ෂය